Print this Article


ශ්‍රී දළදා පුරාණය - 14 : ගෞරවනීයවූත් පූජනීයවූත් දළදා තේවාව හා බැඳුනු ගිහි පින්වතුන්

ශ්‍රී දළදා පුරාණය - 14 :

ගෞරවනීයවූත් පූජනීයවූත් දළදා තේවාව හා බැඳුනු ගිහි පින්වතුන්

අතීතයේ සිටම දළදා හාමුදුරුවන් වහන්සේ උදෙසා පවත්වන්නට යෙදුන තේවා කටයුතු සම්ප්‍රදායකට අනුව සිදු කෙරිණි. ඒ ඒ කාල වකවානුවල දී වර්තමානයෙහි තේවාව පවත්වන ආකාරයටම තේවා කටයුතු සිදුවූවා යැයි නිශ්චිත වශයෙන් ම නිගමනය කිරීමට කරුණු නැතත්,පාරම්පරිකව උරුම වූ තේවා ක්‍රමය අතීත පිය සටහන් මත ගමන් කරන බවට සැකයක් නැත. වර්තමානයෙහි තේවා කටයුතු සිදුකරන මල්වතු අස්ගිරි උභය මහා විහාරීය භික්ෂු පරම්පරාවෙන් උරුම වූ සම්ප්‍රදායන් බිඳීමට සූදානම් නොවීම එයට හේතු වේ.

අතීතයේ සිටම දළදා හාමුදුරුවන් වහන්සේ උදෙසා පවත්වන්නට යෙදුන තේවා කටයුතු සම්ප්‍රදායකට අනුව සිදු කෙරිණි. ඒ ඒ කාල වකවානුවල දී වර්තමානයෙහි තේවාව පවත්වන ආකාරයටම තේවා කටයුතු සිදුවූවා යැයි නිශ්චිත වශයෙන්ම නිගමනය කිරීමට කරුණු නැතත්,පාරම්පරිකව උරුම වූ තේවා ක්‍රමය අතීත පිය සටහන් මත ගමන් කරන බවට සැකයක් නැත. වර්තමානයෙහි තේවා කටයුතු සිදුකරන මල්වතු අස්ගිරි උභය මහා විහාරීය භික්ෂු පරම්පරාවෙන් උරුම වූ සම්ප්‍රදායන් බිඳීමට සූදානම් නොවීම එයට හේතු වේ. ඒ අනුව බුදුරජාණන් වහන්සේ උදෙසා වෙනත් ස්ථානයන්හි පවත්වනු ලබන පුද පූජා ක්‍රමයට වඩා වෙනස් වූ ක්‍රමවේදයක් දළදා තේවාවේ දී සිදුකරනු ලැබේ. මේ සඳහා තේවා කටයුතු සිදුකරන භික්ෂූන් වහන්සේලා ට අමතරව ගිහි පිරිසක් ද සහභාගි වේ.

ඔවුන් ඇතුලේ කට්ටලය සහ පිට කට්ටලය වශයෙන් පාරිභාෂික වචනවලින් හඳුන්වා ඇත. මහනුවර රාජධානි සමයේ මැති ඇමැතිවරුන් සහ අදාළ රාජකාරි නිලධාරීන් විසින් සිදු කළ සේවාවන් සමූහයම වර්තමානයෙහි දී ද මේ පිරිස විසින් සිදු කරනු ලැබේ. ඒ අතරින් ඇතුළු කට්ටලය පිරිසගෙන් සිදුකරන තේවා කටයුතුවල සහාය පිළිබඳ මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුතු ය. ඇතුළු කට්ටලයට අයත් පිරිස හඳුන්වන විශේෂ නාමයන් පවතී. වට්ටෝරු රාළ, පල්ලෙ මාල රාළ, ගෙප රාළ, හග්ගෙඩි රාළ, කත්තියන රාළ , දොරේ ආරච්චි යන පිරිස මෙයින් ප්‍රධාන තැනක් ගනී.

වට්ටෝරු රාළ තේවාව ආරම්භ කිරීමට අවශ්‍ය වෙලාවන්හි දළදා හාමුදුරුවන් වහන්සේ වැඩසිටින කුටියෙහි දොරවල් විවෘත කරදීම හා තේවාවන් සිදුකරන භික්ෂූන් වහන්සේලාට උපකාර කරන ප්‍රධාන පුද්ගලයා වේ. ඔහු තේවාව භාර නා හිමියන්ගේ අවසරය පරිදි උන්වහන්සේගේ කුටියේ සුරක්ෂිතව තැන්පත් කර ඇති යතුරු භාරගෙන නා හිමියන් ඉදිරියේ සියලු දොරටු විවෘත කළ යුතු ය. එසේම තේවාව අවසන් වූ පසු තේවා කටයුතු කරන භික්ෂූන් ඉදිරියේදී ම,සියලු දොරවල් වසනු ලැබේ. ලේන්සුවකින් ඔතා ඇති යතුරු හතකින් පමණ යුත් යතුරු කට්ටලය වට්ටෝරු රාළ විසින් ගෞරවයෙන් කර මතට ගෙන ඔසවාගෙන තේවාව භාර නායක ස්වාමීන් වහන්සේ ඉදිරියෙන් ගමන් කිරීම අනිවාර්ය අංගයක් වේ. අතීතයේ දී එක් වට්ටෝරු රාළ කෙනෙක් පිටුපසින්, පිටුපසින් පැමිණ යතුරු රැගෙන පාලායාමට උත්සාහ කළ බවට මතයක් පැවතීම එසේ සියල්ලන්ටම ඉදිරියෙන් ගමන් කිරීමට හේතු වී ඇත. දොරවල් විවෘත කිරීමෙන් පසු වැඩසිටින කුට්යට පිවිස තේවා කටයුතු සිදුකරන භික්ෂූන් වහන්සේලා විසින් දෙනු ලබන පරමල් ඉවත් කරනු ලබන්නේ මොහුගේ සහාය ඇතිව ය. ඉන්පසු මූලික තේවාව සඳහා අවශ්‍ය සිවුරු කට්ටලය, කපුරු දල්වනය , වටහපත, දැහැටි ආදී පුජා ද්‍රව්‍ය ලබාදීමත් , අතසෝදනය ලබාදීම හා චාරිත්‍රානුකූලව එය සිදු වූ පසු ඉවත් කිරීමත් මොහු විසින් සිදු කෙරේ. තේවා මුරයක් අවසන් වී මල්වතු මහා විහාරයෙන් අස්ගිරිය මහා විහාරයට තේවාව භාරදෙන විට අනෙක් පාර්ශවයට තේවාව භාරදෙන අවස්ථාවෙහි දී දළදා කරඬුවෙහි ඇති මාල වළලු ආදිය මෙන්ම රන් රිදී පාත්‍ර ඇතුළුව වැඩ සිටින කුටියෙහි ඇති සියලු බඩු බාහිරාදිය මල්වතු අස්ගිරි මහා නායක මා හිමිපාණන් වහන්සේලා ගේ හා තේවාව භාර නා හිමියන් හා දියවඩන නිලමේතුමන් ඉදිරියේ දී ගණන් බැලීමෙන් පසු භාරගැනීම මොහුට පැවරෙන අමතර කාර්යයක් ය. උදේ දහවල් මුළුතැන් පූජාව හා සවස ගිලන් පස පූජා පිළියෙළ කිරීම ගෙපරාළට අයත් කාර්යභාරය වේ. එනම් පූජා ව සිදුකරන අවස්ථාවල දී අවශ්‍ය පැන් ලබාදීම, මුළුතැන් ගෙයින් සකස් කළ පුද පුජාවන් වැඩසිටින මාලයට රැගෙන ඒම හා ඒවා නියමිත පාත්‍රවලට දමා පිළියෙළ කිරීමත් හා පිළියෙළ කරන ලද පූජාව ක්‍රමානුකූලව තේවාව කරනු ලබන ස්වාමීන් වහන්සේලාට ලබාදීිම ආදිය වේ. අතීතයේ දී පූජා පැවැත්වූ පාත්‍ර වර්ග හතක් පිළිබඳවත් ඒ ඒ පුද්ගලයන් විසින් එම පාත්‍ර තැන්පත් කළ බවත්, දළදා ඉතිහාසයේ සඳහන් වේ. එහි පළමු මහා රන් පාත්‍රයේ නියම හිමි කරුවා රජතුමා ය. දියවඩන නිලමේතුමා එහි වර්තමාන භාරකරුවා වේ. පළමු කුඩා රන් පාත්‍රයේ හිමි කරුවා බවට පත්වන්නේ කාරියකෝරාල ය. දෙවන කුඩා රන් පාත්‍රය හිමිකරුවා වට්ටෝරු රාළ ය. තුන්වන කුඩා රන් පාත්‍රයේ හිමිකරුවා ගෙපරාළ ය. පළමු රිදී පාත්‍රයේ හිමිකරුවා කත්තියන රාළය. දෙවන රිදී පාත්‍රයේ හිමිකරුවා දොරේ ආරච්චිය. පිත්තල පාත්‍රයේ හිමිකරුවා හග්ගෙඩි රාළය. හග්ගෙඩි රාළගේ කාර්යභාරය ගෙපරාළට උපකාර කිරීමය. තේවාවන් සිදුකරන අවස්ථාවන්හි දී ශබ්ද පූජා කරන පිරිසට හග්ගෙඩි පිඹීමෙන් ඒ ඒ තේවාවන්ට අදාළ ශබ්ද පුජාවන් කළ යුතු නිශ්චිත වෙලාවන් දැක්වීම ඔහුට පැවරී ඇති නිශ්චිත කාර්යභාරය වේ. වර්තමානයෙහි දී හග්ගෙඩි පිඹීමක් සිදුකරනු නොලබන අතර ඒ වෙනුවට ගන්ඨා නාද කොට ෙවිලාවන් දක්වනු ලැබේ. කත්තියන රාළ පුජා භාණ්ඩ කදකින් රැගෙන ඒම සංකේතවත් කෙරේ. ගෙන ඒම සහ ගෙන යාම කත්තියන බරාදය නම්න් හැඳින්වෙන ස්ථානය පිරිසුදුව තබාගැනීමත් මොහුගේ කාර්යයක් බවට පත් වේ. එමගින් දොරේ ආරච්චි හෙවත් දොරේ රාළ දළදා කුට්යට දළදා තේවාව සඳහා ඇතුළුවන ස්ථානයෙහි අරමුදල නම්න් හඳුන්වන ස්ථානයෙහි සිට රාජකාරි කටයුතු කළ යුතු වේ. විශේෂයෙන්ම මල්වතු අස්ගිරි මහා නායක මාහිමිපාණන් වහන්සේලා මෙන්ම අනෙකුත් භික්ෂූන් වහන්සේලා වැඩ සිටින කුටියට ඇතුළුවන්නේ මෙම ස්ථානයෙන් ය. උන්වහන්සේලාට දොර විවෘත කිරීම මෙන්ම වසා තැබීම සිදුකිරීම දොරේ ආරච්ච්ගේ රාජකාරිය බවට පත්වේ.

පල්ලේමාලයේ රාළ පල්ලේමාලයේ තේවාව සිදුකරන වේලාවන් හිදී තේවාව සිදුකරන භික්ෂූන් වහන්සේට සහාය දක්වන පුද්ගලයා ය. ඔහු අරමුදලේ දොරටු ව අභියස දී වට්ටෝරු රාළගෙන් පල්ලෙ මාලයේ යතුරු රැගෙන ගෞරවයෙන් යුක්තව රැගෙන ගොස් පල්ලේමාලය විවෘත කිරීම වගේම උඩ මාලයේ තේවාව සිදුකරන වේලාවටම නියමිත පරිදි පුද පුජා පැවැත්විම සඳහා අවශ්‍ය පුජා ද්‍රව්‍ය සකස් කළ යුතු ය. ඉහළ මාලයේ මෙන්ම තේවා කටයුතු මාරුවන අවස්ථාවන්හි දී පල්ලේ මාලයේ ඇති සියලු භාණ්ඩ ඉහතින් සඳහන් කළ සියලු දෙනා ඉදිරියේදිම පල්ලේමාලයේ තේවාව කරන භික්ෂූන් වහන්සේ ඉදිරියේ දී බාරගැනීම පල්ලේමාලයේ රාළ නමින් හඳුන්වනු ලබන තැනැත්තාට අයිති රාජකාරියක් වේ.

අතිපූජනීයවූත්, වන්දනීයවූත්, ගෞරවනීයවූත් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ උදෙසා පල්ලෙ මාලය හා උඩ මාලය තුළ දී තේවාව සිදුකරන ගිහි පින්වතුන් ලෙස ඉහත සඳහන් කළ පුද්ගලයන් හඳුන්වා දිය හැකි ය.


ශ්‍රී දළදා පුරාණය - 13 : වන්දනීය පූජනීය දළදා වහන්සේ