අපවත් වී වදාළ කටුකුරුන්දේ
ඤාණනන්ද මාහිමියන් වහන්සේ
තිරිකුණාමලේ
ආනන්ද මහා නා හිමි
සිරි වජිරාරාමය බම්බලපිටිය
සම්බුදු සසුනේ සැබෑ බුද්ධපුත්‍රයකු ගේ ප්‍රතිරූපය ප්‍රතිජීවනය කරමින් ධර්ම
ශාස්තී‍්‍රය පර්යේෂකයකු, ධර්ම ග්‍රන්ථ සම්පාදකවරයකු, ධර්මදේශකයකු මෙන් ම උතුම්
අධ්‍යාත්මික මාර්ගෝපදේශකයකු ලෙස විශිෂ්ට ශාසනික සේවාවක් සිදු කළ අතිගරු කටුකුරුන්දේ
ඤාණනන්ද මා හිමියන් වහන්සේ පසුගිය 22 වනදා අලුයම සිහි නුවණින් යෙදී අපවත් වී වදාළහ.
1940 ජූලි 10 දින ගාල්ලේ, හබරාදුව කටුකුරුන්දේ දී ලිසියා වීරසේකර මහත්මිය හා
විදුහල්පතිවරයකු වූ එච්.ජී.නිකුලස් අබේවර්ධන මහත්මා මවුපියන් කොට උපත ලද උන්වහන්සේ
ගාල්ලේ මහින්ද විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා පේරාදෙනිය සරසවියට ඇතුළත්ව 1962 දී
පාලි විෂයයෙන් ප්‍රථම පන්ති සාමර්ථයයක් ලැබ එහි පාලි භාෂා අධ්‍යයන අංශයෙහි ම සහකාර
කථිකාචාර්ය ධුරයක් ලැබූහ. කෙටි කලක් එම ධුරය දැරූ මේ තරුණ කථිකාචාර්යවරයා 1967 දී
සියල්ල අතහැර දොඩම්දූව පොල්ගස්දූව විවේක සේනාසනයෙහි දී උතුම් පැවිද්ද ලැබුවේ
සෙනසුන්පති අතිගරු කඩුගන්නාවේ ඤාණාලෝක මාහිමියන්ගේ ආචාර්යත්වයෙනි.
දිවියෙන් වැඩි කලක් චාරිකාවෙහි යෙදුණු ජර්මන් ජාතික ඤාණවිමල මාහිමියන් වැනි කලණ
මිතුරු උතුමන් කිහිප දෙනකු උන්වහන්සේට හමුව ඇත්තේ එහි දී ය. උන්වහන්සේ ගේ සතිමත්
දින චර්යාව සහ අල්පේච්ඡ සන්සුන් ජීවන රටාව නිදර්ශිත ආදර්ශවත් තපෝගුණ මහිමයත්,
ගැඹුරු ප්‍රඥා මහිමයත්, තම පැවිදි දිවිය සකස්කරගැනීමට මහෝපකාරි වූ බව ඤාණනන්ද
මාහිමියන් පසු කලෙක සඳහන් කැර ඇත. ඤාණවිමල මාහිමියන් ගෙන් ලද "Slowly
–Carefully-Mindfully" (හෙමින්, පරෙස්සමින්, සීරුවෙන්,) යන කමටහන් ඔවදන් තුන සිය
පැවිදි දිවියට අගනා සිහිවටනයක් ලෙස දිවියේ අවසන් අවදියෙහි පවා පිළිරැව් දෙන බව
සටහන් කැර ඇත.
වසර පහක් පොල්ගස්දූව සේනාසනයෙහි වැඩ විසූ කටුකුරුන්දේ ඤාණනන්ද ස්වාමීන් වහන්සේ 1972
වසරෙහි දී මීතිරිගල නිස්සරණ වන සෙනසුන්පති පණ්ඩිත අතිපූජ්‍ය මාතර ශ්‍රී ඤාණාරාම
මාහිමියන් වහන්සේගේ ශිෂ්‍යයකු ලෙස නැවැත පැවිද්ද ලබාගන්නේ සාංසාරික පරිචයක් නිසා
විය හැකි ය. යෝගාවචර ජීවිතයෙක ආදර්ශනීය ප්‍රතිමූර්තියක් වූ ඤාණාරාම මාහිමියන්
වහන්සේගේ සිහිල් නැණ හෙවණ උන්වහන්සේ ගේ බ්‍රහ්මචරියක ඥාන මණ්ඩලය පුළුල් කැරගැනීමට
සරුසාර තෝතැන්නක් විය. “ගරු බවෙහිත්, සැහැල්ලු බවෙහිත්, ගැඹුරු බවෙහිත්, සරල
බවෙහිත් සමීප සබඳතාවක් වූ, සුහද සංකලනයක් වූ “මහරු නැණරම් මාහිමි”ඇසුර ඤාණනන්ද
ස්වාමින් වහන්සේට දුලබ මහනීය “නිස්සරණ වනයෙක්” ම විය.
පසුකලෙක ‘නිවනේ නිවීම්’ යන මැයෙන් පළ වූ මහරු දහම් පොත් පෙළ වූ කලී සිය ගුරු දේව
මාහිමියන් වහන්සේ ගේ සමාරාධනයෙන් උන්වහන්සේ ඇතුළු නිස්සරණ වනයේ සබ්‍රහ්මචාරීන්
වහන්සේලා අබිමුව පැවැත්වු දේශනා මාලාවෙක එකතුවෙති. ඤාණනන්ද ස්වාමීන් වහන්සේ සම්බුදු
දහමේ ගැඹූරට කිමිදගෙන ගියේ විචාරශීලි විමර්ශනය ද පෙරටු කොට ගෙන ය. “පුරාණ මිත්‍යෙව
න සාධු සර්වම්” යන ආස්තයට අනුව, දහමෙහි වුව ද පැරැණි අටුවා විවරණ තුළ කිසියම් සදොස්
මතයක් දුටුවහොත් එය මූලික පෙළදහමට අනුව සන්සන්දනීය කර බලමින් නිවැරැදි මතය මතු කැර
පෙන්වන්නට උන්වහන්සේ තුළ වු සහජ විචක්ෂණතාව ධර්මධරයන් ගේ ප්‍රසාදයට හේතු විය.
උන්වහන්සේ විසින් සිංහල, ඉංගී‍්‍රසි දෙ බසින් ම නිස්සරණා ධ්‍යාශයෙන් ලියාපල කරවන ලද
ධර්මග්‍රන්ථ සමුදායෙන් ද සිය ගණන් වු දේශන මාලායෙන් ද සම්බුද්ධ භාෂිතය නිවැරැදි ව
වටහා ගනු රිසි එතෙර මෙතෙර ධර්මාභිලාෂීනට ලැබුණු ආලෝකය වචනයෙන් කිව නොහැකි තරම් ය.
ගැඹූරු දහම් කරුණක් වුව ද උපමා රූපක මඟින් සරල ව වටහා දිය හැකි ශක්තියක් උන්වහන්සේට
තිබිණි.
නිවනේ නිවීම, උත්තරීතර හුදෙකලාව, පහන් කනුව , ධර්මදේශනා, හිතක මහිම, පැවැත්ම හා
නැවැත්ම, දිවි කතරේ සැඳෑ අදුර, චලන චිත්‍රය, බුදුසමය, පුද්ගලයා හා සමාජය, භාවනා
මාර්ගය, පටිච්ච සමුප්පාද ධර්මය, මෙත් සිතේ විමුක්තිය, කර්ම චක්‍රයෙන් ධර්ම චක්‍රයට
Concept and Reality in Early Buddhist Thought ,Samyutta Nikaya The Magic of the
mind Towards calm and insight Nibbana.The mind stilled යනු ඒ ග්‍රන්ථ
සමුදායෙන් කිහිපයෙකි.
ඤාණනන්ද ස්වාමින් වහන්සේ නිවැරැදි බස් වහරට දැක්වු අභිරුචිය මේ සියලු ග්‍රන්ථවලින්
නිරූපණය වන කරුණෙකි. ඇතැම් දහම් ලිපියකට එකතු කළ දහම් පැදි කිනිතිවලින් පවා ප්‍රකට
වන්නේ හෙළ බස පිළිබඳ ව උන්වහන්සේ තුළ වූ ලැදියාව යි. ගැඹුරු අරුත් සහිත පාළි
ගාථාවක් වුව ද පැදියෙන් හෙළ බසට නැගීමේ අපූරු හැකියාව සැබැවින් ම සිත් ගන්නා සුළු
ය. මේ එක් උදාහරණයෙකි.
“ගිය කල ලුහුබැඳ නොයන්න
මතු කල නො පතා සිටින්න
ගිය දේ ගිය සේ මැ ගන්න
මතුව නොපත් සේ දකින්න
එළැඹුණ දේ දැන් එන එන
විදසුන් නුවණට දමමින
නොසැලෙන නොකිපෙන විදසුන
නැණැතියෙ වඩනේ මෙලෙසින
කළ යුතු කිස කරව අද ම
මරනය විය හැකි නො හෙට ම
නැහැ නො වැ කළ හැකි ගිවිසුම
මහසෙන් ඇති මරු සහ එම
දිව රෑ නොමැළි වැ මෙලෙසින
කෙලෙසුන් තවමින් මැ වෙසෙන
මහණ හුදෙකලාවෙ පරම
ඇලුණැ යි පවසයි මුනි තෙම”
ථේරගාථාවේ සඳහන් පරිදි ධර්ම විඥානය කැමැත්තහු විසින් බහුශැත වූ ධර්මධර වූ සප්‍රාඥ
වූ බුද්ධ ශ්‍රාවකයකු ඇසුරු කරන්නැයි කළ අවවාදය අනුව ඤාණනන්ද ස්වාමීන් වහන්සේගේ
පතපොත පවා ඇසුරු කළවුනට දහම් විනැණ තියුණු කැර ගැන්මට ලැබුණු මහ සවිය වචන පථය ද
ඉක්මවා යන්නකි. “අණුමත්තේසු වජ්ජේසු භය දස්සාවී” යි වදාළ පරිදි සුළු වරදෙහි පවා බිය
දක්නා සුලු ව විනයේ ප්‍රතිමූර්තියක් සේ සිටිමින් සොහොයුරු සබ්‍රම්සරුනට ඔබ පෑ
ආදර්ශයත්, ශාසන පෞරුෂයත් සැබැවින් ම විස්මයාවන ය.පශ්චාත්තන භික්ෂු සමාජයට පවා එයින්
මතු කැරගත හැකි එළිදහර සුළු පටු නො වේ.
දහමේ උතුම් සංකල්පයනට නිවැරැදි අර්ථ කථන දෙමින් ධර්මය විකෘති කරමින් ස්වකීය මති
විප්‍රකාරයන්ගෙන් කීර්ති ,ප්‍රශංසා ,ලාභ, ලෝභ ලබන්නට දඟලන , දහම් ළැදියවුන් මුළාවේ
හෙළා අතරමං කරවන ධර්ම ප්‍රතිරූපකයන්ගේ හඬ පැළැඹී පෙනෙන මෙකල ඤාණනන්ද මාහිමියන් වැනි
ධර්මධර උතුමන්ගේ නික්ම යෑම සසුනට කිව නොහකි තරමේ පාඩුවෙකි. ඒ මහ හිස් තැන පිරැවීම
සඳහා තුරුණු පැවිදි පෙළ බල ගැන්වීම සැබැවින් ම උන්වහන්සේට කරන පූජෝපහාරයෙකි.
අතිගරු කටුකුරුන්දේ ඤාණනන්ද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිවන් සුව අත්වේවා! |