Print this Article


සංඝනායක පදවියෙන් පිදුම් ලබන දේදුගල කාශ්‍යප හිමියෝ

සංඝනායක පදවියෙන් පිදුම් ලබන දේදුගල කාශ්‍යප හිමියෝ

පාදුක්ක ලියන්වල ශ්‍රී සුවිශුද්ධාරාමාධිපති දේදුගල කාශ්‍යප හිමියෝ මාර්තු මස 17වන දා කෝට්ටේ කල්‍යාණි සාමගී‍්‍ර සංඝ සභාවෙන් පිරිනමන සීතාවක පුරයේ සංඝනායක පදවියෙන් පිදුම් ලබන්නේ ය. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.

බුද්ධ පුත්‍රයන් වහන්සේ සසුනඹරේ දිලෙන සුපුන් සඳ සේ ය. එවන් වූ යතිවරයාණන් වහන්සේ නමක් වන දේදුගල කාශ්‍යප හිමියෝ ද සුවිශේෂී ගුණාංගයන්ගෙන් සුපෝෂිත ය. උන් වහන්සේ සුපටිපන්න ය. උජුපටිපන්න ය.

කෑගල්ල දිස්ත්‍රික්කයේ පාත බුලත්ගම උඩුව පළාතේ දේදුගල නම් වූ රමණීය ගම් පියස කාශ්‍යප හිමියන්ගේ ජන්ම භූමිය විය. 1950 ඔක්තෝබර් 27වනදා උපත ලැබූ උන්වහන්සේගේ ගිහි කල නාමය වූයේ නිමල් බණ්ඩාර කරුණාරත්න ය. මේ කුල කුමරුගේ පියාණන් වහන්සේ කීර්තිමත් දේශීය වෛද්‍යවරයකු වූ මුන්ඩිගල මුදියන්සේ පතිරන්නැහැලාගේ විලියම් බණ්ඩාර නිලමෙ තුමා ය. ඩිංගිරි මැණිකේ වන්නිආරච්චි මෑණියන් වහන්සේ වූවා ය.

නිමල් බණ්ඩාර කුමරු ඉතා දක්ෂ ලෙස දේදුගල පාසලෙන් සිප් සතර හැදෑරුවේ ය. සසර පිරූ පාරමී ගුණයක් නිසාදෝ, ඔහුගේ දසුන පින්බර ය. පැවැත්ම සංවර ය.

තම පියාණන්ගේ ලොකු අයියාගේ පුතණුවන් වූ මිනුවන්ගොඩ පලාපද්දර විහාරයේ හැලව ජිනානන් ද හිමියන්ට ද, ඥාති අලවතුරේ ධම්මකිත්ති හිමියන්ට ද නිමල් බණ්ඩාර කුමරුගේ පින්බර දසුන පැවිදි බිමට සුදුසු දරුවකු සේ හැඟෙන්නට ඇත.

ඒ නිසාදෝ, ඔහුගේ ජීවන මං පෙතෙහි සුවිශේෂී පරිච්ඡේදයක් විවර විය. ඔහු පාදුක්ක අරුක්වත්ත මොරගහතැන්නේ ශ්‍රීමා විහාරස්ථ විද්‍යාචන්ද්‍ර විහාරය හා පාදුක්ක ලියන්වල ශ්‍රී සුවිශුද්ධාරාම උභය විහාරාධිපතිව වැඩ විසූ ෂඩ්භාෂා පරමේශ්වර ධර්මධර විනයධර වාගීශ්වර මණ්ඩාවල ශ්‍රී සෝරත හිමියන් වෙතින් “දේදුගල කාශ්‍යප” නමින් 1960 ජනවාරි 11වනදා පැවිදි දිවියට පත් විය. දේදුගල කාශ්‍යප හිමියෝ , මණ්ඩාවල ශ්‍රී සෝරත හිමියන්ගේ ජේ්‍යෂ්ඨතම ශිෂ්‍යා වීමට ද භාග්‍ය ලැබූහ.

ස හැවිරිදි කාශ්‍යප සාමණේර හිමියෝ පාදුක්ක අරුක්වත්ත ශ්‍රීමා විහාරයේ විද්‍යා චන්ද්‍ර පිරිවෙනෙන් උසස් අධ්‍යාපනය දක්වා ම යොමුවූයේ ඉතා දක්ෂ ලෙස ය. උන්වහන්සේ 1972 ජුනි මස 23වන දින කෝට්ටේ රජමහා විහාරස්ථ උපෝෂථාගාරයේ දී සියම් නිකායික මහා සංඝ සභාවේ අනුශාසනා පරිදි අධිශීලයේ පිහිටා උපසම්පදාව ලැබූහ.

ගිහි ජීවිතයකට වඩා දැඩි විනය නීති මාලාවකින් බැඳී පවතින අසීරු වූ පැවිදි දිවිය උන්වහන්සේට සුපුරුදු සේ ගෙවෙන්නට ඇත්තේ පෙර සංසාරගත පුරුද්දකට මෙනි.

ගුරු නා හිමියන්ගේ අභාවයෙන් පසුව දේදුගල කාශ්‍යප හිමියෝ පාදුක්ක ලියන්වල ශ්‍රී සුවිශුද්ධාරාමයේ විහාරාධිපති වූහ.

කොළඹ දිස්ත්‍රික්කයේ හේවාගම් කෝරළයෙහි පිහිටා ඇති ශ්‍රී සුවිශුද්ධාරාමය, ලියන්වල ගම්මානයට සැනසිල්ලත්, සැදැහැති බවත් නිබඳව ම තිළිණ කළ පුද බිමක් විය. එහි විහාරාධිපති වූ දේදුගල කාශ්‍යප හිමියෝ අඳුර ඉරා දමන පහන් සිලක් සේ ගමත් පන්සලත් එකලු කළහ.

උන්වහන්සේගේ නොමද වීර්යයත් කැපවීමත් නිසා ම ඉපැරැණි ධර්ම ශාලාව අංග සම්පූර්ණ ලෙස නවීකරණය කිරීම ද , පැරැණි හැඩතල සුරැකෙනා ලෙසින් දෙමහල් සංඝාවාසය සහ දාන ශාලාව කුටි රැසකින් ඉදි කිරීම ද, වෙහෙර වහන්සේ, සාංචි තොරණ, වට තාප්ප, ඝණ්ඨා කුළුණු, රන්වැට සහිත බෝධි ප්‍රාකාරය, පොහෝ දින ශීල ව්‍යාපාරය, දහම් පාසල, කුලඟන සමිතිය, විහාරස්ථ දායක සභාව ආදියෙන් විහාරස්ථානය පරිපූර්ණ කිරීම ද ප්‍රදේශවාසී බෞද්ධයන්ගේ ගෞරව බහුමානයට ලක් විය. උන් වහන්සේගේ ක්‍රියා කලාපය නිසා ගමේ බෞද්ධ , අන්‍ය ආගමිකයන් අතර පවා සාමය , සමඟිය නිබඳව ම තහවුරු විය. ගමේ පොදු වැඩකටයුතුවලට නොබියව මුහුණ දෙන්නට කාශ්‍යප හිමියෝ එඩිතර වූහ. උන් වහන්සේට උරුම වූ ක්‍රියාශීලී භාවයත්, මධුර මනෝහර කාව්‍ය කුශලතාවත් විවිධ අභියෝග හමුවේ ජය කණුවක් ම විය.

ගුප්ත විද්‍යාව පිළිබඳ හසළ දැනුමැති උන්වහන්සේ, තමන් සොයා එන අසරණ ගැමියන්ට බෝධි පූජාවකින් හෝ පිහිට වෙමින් මහත් අස්වැසිල්ලක් වූහ. ගමට පමණක් නොව ඈත එපිට පින්වත් ප්‍රභූවරුන්ගේ ද සිත් සතන් දිනා ගනිමින් ධර්ම දේශනාවෙන්, වාග් කෞෂල්‍යයෙන් කාශ්‍යප හිමියන් කළ මෙහෙවර අපමණ ය.

මෙලෙස ශාසනයේ උන්නතියට මෙන්ම ගිහි පින්වතුන්ගේ දුක් අඳෙීනා දුරලන්නට තම දිවිය ම කැප කළ පාදුක්ක ලියන්වල ශ්‍රී සුවිශුද්ධාරාමාධිපති දේදුගල කාශ්‍යප හිමියන්ගේ සේවය සදා අමරණීය වෙයි. 2004 වසරේ දී උන්වහන්සේගේ සේවා කාලය අගයමින් ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට් අනුස්මරණ සහතිකය ද, 2006 දෙසැම්බර් 25 වනදා ශ්‍රී සද්ධර්ම වාගීස්වර සරභඤ්ක විශාරද විචිත්‍ර භාණි ගෞරව නාම උපහාරයෙන් ද පිදුම් ලැබූහ.

තවද, මෙම වර්ෂයේ මාර්තු මස 17වන දා කෝට්ටේ කල්‍යාණ සාම ග්‍රී සංඝ සභාවෙන් පිරිනමන සීතාවක පුරයේ සංඝනායක පදවියෙන් ද පිදුම් ලබති. දේදුගල කාශ්‍යප හිමියෝ බොදුනුවන්ට සුවිශේෂී සඟ රුවනකි. උන්වහන්සේට ශාසනික උන්නතිය උදෙසා මෙහෙවර රැසක් කිරීමට ශක්තිය ධෛර්ය ලැබී, සසුනඹරෙහි දිලෙන මිණි පහනක් සේ චිරාත් කාලයක් බැබළේවා’යි ප්‍රාර්ථනා කරමු.