හෙළ දැයට
ජීවය දුන් වාරියපොල ශ්‍රී සුමංගල අනු නා හිමි
අස්ගිරි මහා සංඝ සභාවේ
මහෝපාධ්‍යාය ශාස්ත්‍රවේදී
රාජකීය පණ්ඩිත
අමුණුපුර පියරතන නා හිමි
සිරිබර සිරිලක ශ්‍රී සම්බුද්ධ ශාසනයත්, සිංහල ජාතියත් සමාන්තරව වසර දෙදහස් පන්සිය
ගණනක් ඉදිරියට මින් පැමිණියේ මහා සංඝරත්නයේ ආශීර්වාදයෙන් හා පුරෝගාමීත්වයෙන් බව
ප්‍රත්‍යක්ෂ වී ඇත.
ක්‍රි.පූ. 06 වැනි සියවසේ පටන් භාරතයෙන් පැමිණි ආර්යයන් ලක්දිව ගංගාධරව ජනවාස
පිහිටුවීමත් ක්‍රි.පූ. 03 වැනි සියවස උත්තර භාරතයෙන් මෙහි වැඩම කළ මිහිඳු මහරහතන්
වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය උතුම් බුදුදහම ප්‍රචාරය කිරීමත් නිසා ලෝකයේ ශ්‍රේෂ්ඨතම
බෞද්ධ ශිෂ්ටාචාරය ලක්දිව පුරා ප්‍රචලිතව තහවුරු විය.
අනුරාධපුර රාජධානියේ අසිරිමත් ශ්‍රී විභූතිය වර්ණනා විෂයය අතික්‍රාන්තව පෙරදිග
ලෝකයේ අග්‍රස්ථානයට පත්වූයේ මහා සංඝරත්නයේ පැවති බුද්ධිමත් ක්‍රියාශීලී මාර්ග
උපදේශකත්වය නිසාම ය.
අටවැනි වීර පරාක්‍රමබාහු රජු දවස (ක්‍රි.ව) 1505 දී පෘතුගීසීන් ලංකාවට පැමිණීමෙන්
බෞද්ධ ශිෂ්ටාචාරය විශාල පරිහානියකට පත්වන්නට හේතුවිය. රාජ්‍ය පාලනයට සිදුවූ විපත
නිසා සිංහල ජාතියත්, බුද්ධාගමත් ක්‍රමයෙන් පිරිහීමට පත්වූයේ අරාජිකත්වය නිසා ය.
ක්‍රි.ව. 1602 දී ලන්දේසීන් පැමිණ මුහුදුකරයේ පාලන බලය අයත් කර ගැනීමෙන්
ලාංකිකයන්ගේ ජන ජීවිතය අසරණ විය.
සිංහල ජාතියත්, බුද්ධාගමත්, රාජ්‍ය පාලනයත් ආරක්ෂා කරගෙන ආත්මීය ප්‍රෞඪත්වය නිසා
කන්ද උඩරට සෙංකඩගල පුරවරයේ ස්වාධීන්තය ශ්‍රී දළදා වහන්සේ කේන්ද්‍ර කරගෙන විරාජමානවූ
නමුත් උඩරට රජපරපුරේ අන්තිමයා වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු 1815 පෙබරවාරි 18 වෙනි
දින ඉංගී‍්‍රසීන්ගේ සිරකරුවෙකු බවට පත්වීමෙන් සිංහල රාජ්‍යය ම පරාධීන විය.
සිංහල රජුගේ කෲර පාලනයෙන් කෝපයට, අසහනයට පත් සිංහල පාලකයන් මෙන්ම ජනතාව ද මෙම
තත්ත්වය නිසා අසහනයෙන් තවත් අසහනයකට පත්වූව ද අතීත උරුමය ආරක්ෂා කරගෙන යාමේ
ගිවිසුමකින් තොරව පාලන බලය ඉංගී‍්‍රසීන්ට බාර කරන්නට තරම් මෙරට ජනතාව හීන දීන
පරාජිතයෝ නො වූහ. මේ නිසා සිංහල දිසාපතිවරුන්, ඉංගී‍්‍රසි නිලධාරීන් සාකච්ඡා කොට
ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ දී එනම් ඓතිහාසික මඟුල් මඩුවේ දී උඩරට ගිවිසුම අත්සන්
කරන්නට නියමිත තිබුණි.
මෙතෙක් මහනුවර මඟුල් මඩුව පරිහරණය කළේ මංගල අවස්ථාවක පමණක් වුවද, සිංහල බෞද්ධයන්ට
මෙම සිද්ධිය ශෝකාන්තයකට හේතුවිය. මඟුල් මඩුව අබියස මහමළුවේ සිංහල නිලමේවරු පිරිවරා
සිටි සෙන්පතිවරු ද, ඉංගී‍්‍රසි සේනාපතිවරු ද, රැස්වී සිද්ධවන දේ ගැන අවධානයෙන්
නිශ්ශබ්ද ඉරියව් ලීලාවෙන් සිටියහ. උඩරට ගිවිසුම අත්සන් කිරීමට සියල්ල සූදානම්ව
තිබිය දී ජයග්‍රාහී උද්දාමයෙන් මත් වූ ඉංගී‍්‍රසි යුද සෙබලෙක් ඉංගී‍්‍රසි කොඩිය
එසවීය.
නීතියට, සදාචාරයට ප්‍රතිවිරුද්ධව ක්‍රියාකළ බල කාමයෙන් උමතු වූ සෙබලාගේ මෙම
සංසිද්ධිය ජාතියට, ආගමට කළ නිගාවක් වුවද අවස්ථානු කූලව මෙයට විරුද්ධවීමට තරම් ආත්ම
ශක්තියක් එහි කිසිම කෙනෙකුට නො වීය.
ගිවිසුම අත්සන් තැබීමට පෙර ඉංගී‍්‍රසි කොඩිය අහසේ ලෙලදෙන ආකාරය දුටු වාරියපොල ශ්‍රී
සුමංගල හිමිපාණන් වහන්සේ මහත් අභිමානයෙන් එඩිතරව දෙපස පිරිස අතරින් පැමිණියහ.
මේ සිංහල රට තවම අයිතිය අපට යි. ගිවිසුම අත්සන් කොට රට බාරදීමට පෙර ඉංගී‍්‍රසි
කොඩිය එසවීම නීති විරෝධී බව දැන ගනිල්ලා යයි අභීත සිංහනාද පවත්වා ඉංගී‍්‍රසි කොඩිය
පහත හෙළා පාගා සිංහල කොඩිය එසවූහ.
මෙම සිද්ධියෙන් පසු දෙපාර්ශවයේ ම පාලකයන් කරුණු වටහාගෙන ගිවිසුම අත්සන් කොට සිංහල
රාජවංශය ඉංගී‍්‍රසීන්ට බාරදෙන ලදී.
කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් වාරියපොල ගමේ උපන් බමුණුකොටුවේ රාළගේ කිරිහාමි නම් වූ
මේ පින්වත් කුමරා මහනුවර අස්ගිරි මහාවිහාරේ ඉදවලුගොඩ ධම්මපාල මහ නායක
ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍යයෙකු ලෙස පැවිදිව බණ දහම් ඉගෙන ගෙන උපසපන්වී ශාසනික
වශයෙන් උතුම් වගකීම් රාශියක් උසුලමින් සුවිශේෂයෙන් අස්ගිරි මහා සංඝ සභාවේ අනු නායක
පදවියට ද පත්වූ සේක.
වාරියපොල ශ්‍රී සුමංගල අනු නා හිමියන්ගෙන් සිංහල ජාතියට බුද්ධ ශාසනයට සිදුවූ අමිල
සේවාවන් මෙසේ දක්වන්නේ එවන් අසහාය බුද්ධ පුත්‍රයාණන් වහන්සේ කෙනෙකු සිහිපත් කිරීම
මහා කුසලයක් මෙන්ම අනාගත පරපුරට පරමාදර්ශයක් වන බැවිනි.
- උඩරට ගිවිසුම අත්සන් කරවීමට මූලික වීම,
- ශ්‍රී දළදා වහන්සේ ආරක්ෂා කිරීම.
- සිංහල ජාතිය වෙනුවෙන් ක්‍රියා කිරීම.
- ධීර වීර ක්‍රියාවලියකින් ලංකා ලෝක මානව ඉතිහාසයේ අභීත වීර නාමාවලියට අංක එකට
ඇතුළත් වීම.
යුග යුග වන්දිත සුගත තථාගත ශාසන ශෝභන, ධීර වීර ගුණ සුගන්ධ මාසිත ලෝක සමාජ පූජිත
වාරියපොල ශ්‍රී සුමංගල නා හිමියන් වහන්සේට සඟ මොක් සුව ලැබේවා. |