Print this Article


කැඩුණු පිළිමයටත්ගෞරව කරමු

කැඩුණු පිළිමයටත් ගෞරව කරමු

බොදු දනන්ගේ වන්දනාමානයට, ගෞරව පූජනීයත්වයට පාත්‍රවන පූජනීය වස්තූන් තුනක් ශාරීරික ධාතු චෛත්‍යය, පාරිභෝගික චෛත්‍යය හා උද්දේශික චෛත්‍යය ලෙස පිළිගැනේ.

ක්‍රිස්තු වර්ෂ පළමුවන සියවස දක්වාම බොදු ජනතාවගේ වන්දනාමානයට පාත්‍ර වූ උද්දේශික චෛත්‍ය ලෙස භාවිත වුණේ විවිධ කැටයම් රූප, සාංචි, භාරුත් වැනි නටබුන්, ගල්කැටයම් අතර වු නෙළුම්මල්, පුන්කලස, ශ්‍රී පතුල ආදී නිර්මාණයන් ය.

පළමු වරට බුද්ධ රූපයක් නිර්මාණය කරන්නේ ක්‍රි.ව. පළමුවන සියවසේ කණිෂ්ක රජුගේ කාලයේ දී ය. එකල භාවිත වූ තඹ කාසිවල බුද්ධ රූපය නිර්මාණය කෙරුණ අතර පුරා විද්‍යාඥයින්ගේ අදහසට අනුව බුද්ධරූපයේ ආරම්භය එය ලෙස සැලකේ.

බුද්ධරූප නිර්මාණය වේගයෙන් පැතිර ගියේත්, ජනපි‍්‍රය වූයේත් මහායාන සම්ප්‍රදායේ ය. එහි ආභාෂය ලද ථේරවාද සම්ප්‍රදාය තුළ ද බුද්ධ රූපය ප්‍රමුඛ පෙළේ චෛත්‍යස්ථානයක් ලෙස පිළිගැනුණි.

බුද්ධරූප නිර්මාණය කිරීමත්, නිමවූ බුද්ධරූපයන්ට පිරිත් සජ්ඣායනා කොට ආශිර්වාද කිරීමත්, පුදපූජාවන්ට යොමු කිරීමත් මහායාන සම්ප්‍රදාය තුළ මහත් ගෞරවාදරයෙන් සිදු කෙරේ. එය මහා භාරදූර කාර්යයක් ලෙසද සැලකේ. බුද්ධරූප, ප්‍රතිමා වහන්සේ ආරක්ෂා කරගෙන පවත්වාගෙන යාම සම්බන්ධව ද මහායාන බුදුදහමේ නීතිරීති, සම්ප්‍රදායන් රැසක් තිබේ.

යම් හෙයකින් බුද්ධ ප්‍රතිමා වහන්සේ දුර්වර්ණවී, දුබල වී, විරූපී වී, කැඩී බිඳී අබලන් වූයේ නම් එවැනි බුද්ධ ප්‍රතිමා වහන්සේ පිළිබඳව ද අනුගමනය කළ යුතු පිළිගත් සම්ප්‍රදායක් තිබේ. විශේෂයෙන් චීනය, කොරියාව, ජපානය, වැනි රටවල මහායාන සම්ප්‍රදායන්තුළ කැඩුණුූ බුද්ධ ප්‍රතිමාවක් නැවත පුද පූජාවන්ට භාවිත කරන්නේ නැත. ප්‍රතිසංස්කරණය කිරීමක් සිදුකොට පුද පුජා පිණිස ගන්නේ ද නැත. පිළිගැනීම එය අසුබ ලක්ෂණයක් බව ය. එවැනි ප්‍රතිමා වහන්සේ පූජාසනයෙන් ඉවත් කෙරෙන අතර එය ද සිදු කෙරෙන්නේ ගෞරවනීය ලෙස සම්ප්‍රදායානුකූල චාරිත්‍රවලට අනුව ය.

ගිහි නිවෙසක තිබී බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් අබලන් වූයේ නම්, කැඩී බිඳී ගියේ නම් ක්‍රමානුකූලව ඉවත් කොට රතු පැහැති රෙදි කැබැල්ලක ඔතා විහාරස්ථානයට බාරදීම සිදු කෙරේ. විහාරස්ථානයේ දී ද මේ පිළිම වහන්සේ තැන්පත් කරන පිළිවෙළක් තිබේ. ඉන්පසු සංඝයා වහන්සේලාගේ උපදෙස් පරිදි අලුත් පිළිම වහන්සේ නමක් ලබා ගනී. වෙළෙද සැලකින් මිල දී ගත්ත ද එය හාමුදුරුවන් වහන්සේ වෙතින් ආශිර්වාද ගන්වා චාරිත්‍රානුකූලව නිවෙසේ තැන්පත් කොට ක්‍රමවත්ව පුද පුජා කටයුතු සිදු කෙරේ.

මහායාන සම්ප්‍රදාය තුළ බුදු පිළිම වහන්සේට මෙවැනි ගෞරවයක් දැක්වුවද ථේරවාදී බෞද්ධ සම්ප්‍රදාය ඇති ලංකාවේ විවිධ ස්ථානයක්හි බුදු පිළිම වහන්සේට නිසි ගෞරවනීය බවක් ලැබෙන බව නොපෙනේ.

අපේ සමහර බෞද්ධයන් බොහෝවිට බුද්ධ ප්‍රතිමා වහන්සේ නිවෙස්වල තැන්පත් කරන්නේ පිරිතෙන් ආශිර්වාද ගැන්වීමකින් තොරව ය. සමහර නිවෙස්වල බුද්ධ ප්‍රතිමා වහන්සේ, බුද්ධරූප සැරසිල්ලක් ලෙස තබනවා විනා නිසි පුද පූජාවන් පැවැත්වීමක් සිදුකරනු නොපෙනේ.

සමහරවිට බුද්ධ ප්‍රතිමා නිර්මාණය කෙරෙන්නේද ක්‍රමවත් අමුද්‍රව්‍ය භාවිතයෙන් නොවන නිසා පිළිම වහන්සේ කෙටි කාලයක දී අබලන් තත්ත්වයට, විකෘති තත්ත්වයට පත් වේ. මෙසේ කැඩී බිඳී ගිය ප්‍රතිමා වහන්සේ නිවෙසේ තබා ගැනීම අසීරු හෙයින් බොහෝ පිරිස් සිදුකරන්නේ ගමේ පන්සලේ විහාරස්ථානයේ , මහමඟ බුදු කුටියක් අභියස, බෝ සෙවනක් යට හෝ වෙනත් කොතැනක හෝ ඒවා ගෙන ගොස් දැමීම ය. එහෙත් මේ නම්, සැදැහැවත් බෞද්ධයකුට හද කකියවන දර්ශනයකි. සිත දුකින් පිරී යන දසුනකි. ඇතැම් බෞද්ධයින්ගේ මේ නොසැලකිලිමත් වැඩ අන්‍ය ආගමිකයින්ගේ පවා උපහාසයට, සිනහවට ලක්වන අවස්ථා ඇත.

මෙයින් පැහැදිලි වන්නේ කුමක් ද? සමහර බෞද්ධ ජනතාව තුළ තමන්ගේ ජීවිතයේ අසමසම ශාස්තෘන් වහන්සේගේ උත්තරීතරම සංකේතය වන බුද්ධ රූපය සම්බන්ධයෙන් වන නොසැලකිලිමත්කම ය.

අපි මෙසේ කල්පනා කරමු. අම්මගේ තාත්තාගේ ඡායාරූපයක් කැඩී බිඳී ගියෙන් නම් අප එය විසි කරනවා ද? අඩක් පිළිස්සී ගියේනම් වුව ඉතිරි කැබැල්ල හෝ සඟවා තබා ගනිමු. ඒ අම්මට, තාත්තට ඇති අසීමිත ආදරය නිසා ය.මේ ගෞරවය, ආදරය තමන්ගේ ජීවිතයට මඟපෙන්වන ශාස්තෘන් වහන්සේ වෙත ද තිබිය යුතු ය. මේ නිසා බුදුපිළිම වහන්සේට ගෞරවය කිරීමේ ක්‍රමවේදයකට යාම පිළිබඳ සෑම බෞද්ධයකුගේ ම අවධානය යොමු විය යුතුවේ. කැඩුණු බිඳුණු බුදුපිළිම වහන්සේ කවර තැනෙක හෝ තබා සිතේ බරින් නිදහස් වීම සුදුසු නැත.

මේ හද කකියවන දසුන දකිමින් ඉවසා සිටීම ද බරපතල වරදකි. එම නිසා එළඹෙන වෙසක් පුන් පොහොය දිනයදා සිට බුදුපිළිම වහන්සේට නිසි ගෞරවයක් සහිතව කැඩුණූ බිඳුණු පිළිමයටත් ගෞරවය කිරීමේ වැඩපිළිවෙලකට යා යුතුව තිබේ. එය මෙසේ වීම සුදුසු යැයි අපි යෝජනා කරමු.

ගිහි පින්වතුන්, බෞද්ධ සංවිධාන විසින් ගමේ පන්සලේ හාමුදුරුවන් වහන්සේ සමඟ සාකච්ඡා කොට තැනින් තැන විසිරී තිබෙන කැඩුණු බුදුපිළිම වහන්සේ ගෞරවනීය ලෙස එක් රැස් කළ යුතු වේ. එය විහාරස්ථානයේ තෝරාගත් තැනක්වීම සුදුසුවේ. වෙසක් පොහෝ දිනට පසුදින මේ සියලු පිළිම ක්‍රමානුකූල ලෙස තැන්පත් කර, අදාහනය කොට ගෞරවනීය අවසානයකට යොමු කළ යුතු වේ. මේ පිළිබඳව තවදුරටත් කල්පනා කොට එය උත්සවාකාරයෙන් සිදු කිරීම වඩාත් සුදුසු ය. වෙසක් පොහොය දිනය අප තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණය සංකේතවත් කරන දිනය ද වන බැවිනි.

මේ වැඩපිළිවෙළ ප්‍රසිද්ධ කොට මහජනතාව දැනුම්වත්කොට අප්‍රමාණ ගෞරවයකින් ධර්ම සංවේගය පහළවන වැඩ පිළිවෙළක් ලෙස සංවිධානය කර ගැනීම වැදගත්වේ. එවිට ගස්ගල් යට, විහාරස්ථානයන්හි බෝධින්වහන්සේගේ සෙවනෙහි දමාගොස් ඇති කැඩුණූ බිඳුණු පිළිම වහන්සේගේ දර්ශනය නැවත දැකගත නොහැකිවනු ඇත.

මා දන්නා එක් භික්ෂූන් වහන්සේ නමක් මේ කරුණ සම්බන්ධව කොතරම් සංවේදී ද යත් මහ මඟ දී දකින සෑම කැඩුණු බුදු පිළිම වහන්සේ නමක් ම තමන් වහන්සේ පරිහරණය කරන වාහනයේ දමාගෙන ගොස් එක්රැස් කොට ආදාහනය කරති. මෙවැනි දසුන් ද අපි දකිමු.

(ඔබගේ පහසුව පිණිස කැඩුණු බුදුපිළිම වහන්සේ ගෙනැවිත් භාරදිය හැකි ස්ථාන කිහිපයක් පිළිබඳව එළඹෙන අව අටවක පෝදා පත්‍රයෙහි පළ කෙරේ.)