Print this Article


කඳු පාමුල සිට ලෝකය දකිනවා ද?

කඳු පාමුල සිට ලෝකය දකිනවා ද?

බොහෝ දෙනා කල්පනා කරන පරිදි, වඩාත් ඉහළ ආදායමක් ලබාගත හැකි, උසස් සමාජ තත්ත්වයක් උරුම කරගත හැකි, වෘත්තීය නිපුණතා සහිත අනාගත පරපුරක් බිහි කිරීම පමණක් අධ්‍යාපනයෙහි අරමුණ නොවේ. එය අත්‍යවශ්‍ය අපේක්ෂාවක් විය යුතු බවට විවාදයක් නැත. එහෙත් පුද්ගලයෙකුගේ ජීවිතයේ වඩාත් ඵලදායක, පිරිපුන් හා තිරසර අභිවෘද්ධිය රඳා පවත්නේ හුදෙක් වෘත්තීය නිපුණත්වය මත ම නොවේ.

එවන් නිපුණත්වයකින් නිසිඵල ලබා ගැනීමටත්, ඒ ඔස්සේ ජීවිතයක පෞද්ගලික සන්තුෂ්ටිය මෙන් ම සාමාජික අර්ථ සිද්ධිය සලසාලීමටත් අධ්‍යාපනය තුළින් පුද්ගලයාගේ චින්තනය ද එයට අනුරූප වන චර්යාව ද නිසි පරිදි ගොඩනැගිය යුතු ය. එය බෞද්ධ චින්තනයේ මෙන් ම සංස්කෘතියේ ද අපේක්ෂාව යි. බෞද්ධ අධ්‍යාපනයේ සුවිශේෂත්වය යි.

වෘත්තීය නිපුණතාව, ඉහළ ආදායම කුමක් සඳහා ද? මූලික වශයෙන් ම කා බී ජීවත්වීම සඳහා ය. පහසු දිවි පැවැත්මට ය. එක් බුදු වදනක දැක්වෙන පරිදි හුදෙක් ජීවිතයේ පරමාර්ථය එපමණක් ම නම්, වරදෙහි, පවෙහි, දුසිරිතෙහි ලජ්ජා, බය නැති දක්ෂ කපුටෙකු වීම ය සෑහෙයි. හෙතෙම සාරධර්ම දවන්නෙකි. නො සලකා හරින්නෙකි. හරවත් වූ දැයින් පලායන්නෙකි. කා බී සුවපත් වීමෙහි ම බුහුටි බව, නිපුණත්වය ඇත්තෙකි. අසම්මත පරිදි දුසිරිතෙන් අධර්මයෙන් යැපෙන්නෙකි. ඔහුට ගැඹුරු පුළුල් චින්තනයක් නැත. ජීවිතය සඳහා වූ හරවත් දැක්මක් නැත. වැඩදායක විධිමත් චරණයක්, චර්යාවක් නැත. මෙ වැන්නකු බිහි කිරීම අධ්‍යාපනයෙහි අපේක්ෂා නොවේ. හුදෙක් භෞතිකවාදී වූ ද, මානව දයාවෙන් තොර වූ ද එවැනි දිවි පැවැත්ම පෞද්ගලික සන්තුෂ්ටිය මෙන් ම සමාජගත සංවර්ධනය ද ගිල දමන්නක් බව බුදුදහම පෙන්වා දෙයි. පාසල මෙම අනතුරින් මතු පරපුර බේරාගැන්ම සඳහා ම කැප වූ ආයතනය යි.

පාසලේ කාර්යය

පාසල එහි අරමුණ හා කාර්යභාරය ද නිසි ලෙස වටහාගෙන ක්‍රියාකරන්නේ නම් එ තුළින් බිහිවන්නේ පෞද්ගලික වූ ජීවිත අභියෝගවලට මෙන් ම සමාජගත අභියෝගවලට ද නො සැලී මුහුණ දිය හැකි පුද්ගලයෙකි. හෙතෙම සමබර ව සිතන්නෙකි. උපේක්ෂා සහගත ව, මැදිහත් ව ජීවිතය දෙසත්, ලෝකය දෙසත් බලන්නෙකි. ඒ අනුව හැසිරෙන්නෙකි. සංවර්ධිත පෞරුෂයක්, වැඩුණු චින්තනයක් ඇති හෙතෙම ජීවිත අභියෝගවලට ද, සමාජ ගැටලුවලට ද නො සැලී මුහුණ දෙයි. බුදුදහම අනුව ජීවිතයේ ඇති තතු දකියි. ඉපදීම, ලෙඩවීම, මහලුවීම, මරණය ආදී පුද්ගලබද්ධ වූ ජීවිත අභියෝග සංසාරික ව තමාට උරුම බව දනී. එසේ ම සමාජය ලෝකය වූ කලී වෙනස් වන, පෙරළෙන, ගලා යන බව ද දනී. එනිසා ම නොගැටෙයි. අසහනයට පත් නොවේ. හෙතෙම දහමින් ලද පෝෂණය ඇත්තෙකි. එනිසා ම උපශාන්ත ය. දැහැමි ය. දුසිරිත පිටුදකියි. එයට යොමු නොවේ. සුසිරිත අගය යි. අනුගමනය කරයි. මෙබඳු පෞරුෂයක් ඇත්තවුන් නිසා සාමය ද, සමෘද්ධිය ද ළඟා කරගත හැකි ය. අධ්‍යාපනය තුළින් ලබා ගන්නා වෘත්තීය නිපුණතාව වුව ද නිසි පරිදි කළමනාකරණය කරගත හැක්කක්.

නිහඬව ගලන ගඟ

කුඩා දිය පහර – ගලා යයි හඬ නඟමින්

එහෙත් මහ ගඟ නම් – ගලන්නේ නිහඬවම ය.

ඉහළින් ඇද හැලෙන කුඩා දිය පහර, දියඇල්ල වූ කලී හඬ නගන්නකි. එහෙත් ඒ කුඩා දිය පහර නම් සැබවින් ම අවම හැකියාව ඇත්තේ ය. හඬ තරමට වැඩ බැරි ය. ඉලක්කයට මුහුදට යාම, ගංවතුරක් ඇති කරලීම, බලශක්තිය නිපදවීම, රට ම සරුසාර කිරීම් ආදී මහ වැඩ කරන්නට කුඩා දිය පහර අසමත් ය. නො පැසුණු නො වැඩුණු පුද්ගලයා ද එවැන්නෙකි. හෙතෙම මහ හඬ නගයි. එහෙත් මහ වැඩ කරන්නට සමතෙකු නොවේ. මහ ගඟ වූ කලී නිහඬ ව මැ ගලා යන්නේ ය. එහෙත් බොහෝ හැකියාවන් ඇත්තේ ය. නිබඳ ව මුහුදට ගලායාමට ද, බලශක්තිය නිපදවීමට ද, කෙත්වතු සරුකරලීමට ද මහ ගඟ සැබවින් ම සමත් වෙයි. එහි හඬ අවම ය. වැඩ උපරිම ය.

පැසුණු, වැඩුණු, සමබර, උපේක්ෂා සහගත සිත් ඇත්තා ද එවැන්නෙකි. මහ ගඟ ගලන්නේ දුර සිට ය. වැටෙමින්, නැගිටිමින්, ගැටෙමින්, නො ගැටෙමින් විටෙක මහ නගරය ද, විටෙක පිටිසර ගම ද, විටෙක ජනාවාසයන් ද, විටෙක මහ වනය ද පිසගෙන ගලන මහ ගඟට බොහෝ අත්දැකීම් ඇත. එබැවින් ම හඬින් අවම ය. වැඩ උපරිමය. මේ උපේක්ෂා සහගත පුළුල් චින්තනයෙන් හෙබි පැසුණු පුද්ගලයාගේ ස්වභාවය යි. මහ ගඟක්වන් හෙතෙම පිරිපුන් එහෙත් නිහඬ කාර්යක්ෂම වූ තැනැත්තෙකි. නිසි අධ්‍යාපනයෙන් බිහි විය යුත්තේ එබන්දෙකි.

මොණරා වූ කලි ඉතා ශෝභන වූ පක්ෂියෙකි. ඔහු නිල් ගෙල ඇත්තේ ය. විසිතුරු පියාපත් ඇත්තේ ය. විශාල සිරුරක් ඇත්තේ ය. ශක්තිමත් දෙපය ඇත්තේ ය. හංසයා වූ කලි ඉතා චාම් පෙනුමක් ද, එබඳු ම පැවැත්මක් ද ඇත්තෙකි. කෙටි කුඩා පියාපත් ඇත්තෙකි. කෙටි ගෙල ඇත්තෙකි. කුඩා සිරුරක් හා වකුටු වැ ගිය දෙපා ඇත්තෙකි. එහෙත් හංසයා පරදවන්නට මොණරා අසමත් වෙයි. සිය හැඩ රුවින් මත්වන මොණර තෙමේ රඟයි. හඬ තලයි. කරකැවෙයි. ඒ අතර හංස තෙමේ දිය මතුපිටින් ඇදී යයි. චාම් බව, පවිත්‍ර බව, අහිංසකත්වය, නුවණ මොනවට පිළිබිඹු කරන හංසයා බොරු සෝබනවලින් තොර ය. එසේ ම උගේ ජව වේගය ද වැඩි ය. මෙහි නො වැඩුණු සිත් සතන් ඇති මොණරා, නො පැසුණු පුද්ගලයා ය. හංසයා පැසුණු, සමබර චරිත ඇති පුද්ගලයා වෙයි.

බොහෝ ඇසූ පිරූ තැන් ඇති, අත්දැකීම් බහුල, පැසුණු, සමබර සිත් ඇති තැනැත්තෝ ජීවිතය හා ලෝකය පිළිබඳ ව ඒකංගදස්සි නො වන්නෝ ය. එනම් එක් පැත්තකින් පමණක් නො බලති. කවර කරුණක්, කුමන ගැටලුවක් දෙස වුව ද එක් පැත්තකින් පමණක් බලා පටු තීරණ ගැනීම නො වැඩුණු පෞරුෂය ඇති, අවම අත්දැකීම් ඇති පුද්ගලයාගේ ලක්ෂණයකි. ගැටලුවක විවිධ පැති දකින, එබැවින් ම විවිධාකාරයෙන් එය පිරික්සන විචක්ෂණ බව ඔහු වෙත නැත. මේ පිළිබඳ අපූරු උපමා කතාවක් පෙළ දහමෙහි එයි.

ඇතාගේ හැඩය

උපතින් ම අන්ධ වූවන් පිරිසකට ඇතෙකු පෙන්වන ලෙස රාජ්‍ය නිලධාරියෙකුට නියෝගයක් ලැබිණ. හෙතෙම ඇතා මෙබඳු යැයි ඇතැම් අන්ධයන්ට ඇතුගේ හිස දැක්වී ය. (අතගෑමට සලස්වන ලදී) ඇතැමුනට ඇතුගේ දළ අතගෑමට සැලැස්වී ය. සමහර අන්ධයිනට කණ ද, සමහරුනට සිරුර ද දක්වන ලදී. සමහරු මේ රාජ පුරුෂයාගේ මෙහෙයවීමෙන් ඇතුගේ සිරුර ස්පර්ශ කළහ. මෙලෙසින් මැ ඇතැම් අන්ධයිනට උගේ පාදයන් ද, ඇතමුන්ට වල්ගය ද, ඇතැමුන්ට නගුට ද අතගෑමට සලස්වන ලදී. ඒ ඒ අන්ධයිනට වෙන් වෙන් ව ඒ ඒ අඟපසඟ අත ගා ඇතා හඳුනා ගැනීමට සිදුවිය. සිය කාරිය නිම කළ රාජ පුරුෂ තෙමේ ඒ බව රජුට දැන්වී ය. අන්ධයින් වෙත පැමිණි රජු විසින් ඇතා කෙබඳු දැයි විමසන ලදී.

හිස අත ගෑ අන්ධයෝ ඇතා කළගෙඩියක් බඳු යැයි ද, එය ම සත්‍ය යැයි ද අන් අදහස් අසත්‍ය යැයි ද දැඩි ලෙස කීවෝ ය. කණ අතගෑවෝ ඇතා කුල්ලක් වැනි යැයි අවධාරණය කළහ. දළ අතගෑවුවන්ගේ දැඩි මතය වූයේ ඇතා හී වැලකට සමාන වන බවයි. සොඬ අතගෑවෝ ඌ නගුලිසකට සම කළහ. සිරුර අතගෑවෝ ඇතා කොටු ගෙයක් (බිස්සක්) වැනි යැයි තදින් ම කීවෝ ය. පා අතගෑවෝ ඌ කණුවක් මෙනැයි මුරගෑහ. නගුට අතගෑවවුන්ගේ දැඩි අදහස වූයේ ඇතා කෙවිටකට සමාන බවයි. වල්ගය අතගෑවෝ ඌ මුස්නක් වැනි යැයි කීවෝ ය. එකිනෙකාගේ අදහස් ප්‍රතික්ෂේප කළෝ ය. ඔවුහු කලහ කළහ. තම තමන්ගේ මතය ම නිවැරැදි යැයි තම තමන්ගේ පටු අත්දැකීම් අනුව එක් පැත්තකින් පමණක් දැක මුරගෑම, අන්තගාමී ව හඬ නැගූහ. විවාදාපන්න වූ ඔවුහු අවසානයේ එකිනෙකාට මිටින් ඇනගත්තෝ ය.

පටු නිගමන

දෙඇස් ඇත්තාට ඇතා මුළුමනින් ම පෙනේ. හෙතෙම එක් පැත්තක් පමණක් මතුපිටින් අතගාන්නේ නැත. එබැවින් ඉහත කී පටු ඒකංගදස්සී නිගමන ඉදිරිපත් නො කරයි. බොහෝ ඇසූ පිරූ තැන් ඇති, පිරිපුන් කල්පනා ඇති, සමබර තැනැත්තා ද එසේ ය. ඔහුට පුළුල් දැක්මක් ඇති බැවින් ම කලහ කිරීමට හේතුවක් නැත. එහෙත් එක් පැත්තක් පමණක් දකින නො පැසුණු, අවිචාරවත් තැනැත්තේ කලහ කරයි. ඒ පටු නිගමන හේතුවෙනි. බුදුදහම කිසි විටෙකත් අන්තගාමී ව, අන්තවාදී ව මතවාද, දෘෂ්ටිවාද කරපින්නා ගන්නෝ ඉහත කී පරිදි එක් පැත්තක් පමණක් දකින්නෝ ය. ලෝකය හා සත්වයා ශාස්වත ය. සදාකාලික ය. ආත්මය නිත්‍ය ය. ලෝකය හා සත්වයා ආශාස්වත ය. තාවකාලික ය. සියල්ල මරණයෙන් කෙළවර වෙයි. නිත්‍ය වූ ආත්මයන් කැල ම ඇත නැත යනාදී බුදුරදුන් දවස පැවැති අන්තවාදී දෘෂ්ටි වූ කලි ඒකංගදස්සී වීමේ ප්‍රතිඵල වන්නේ යැයි බුදුදහම පැහැදිලිව ම පෙන්වා දෙයි. ඒ පටු චින්තනයේ ස්වභාවය වේ.

බුදුරදුන් පෙන්වා දෙන පරිදි ඒකාන්ත සත්‍ය වශයෙන් හෝ ඒකාන්ත අසත්‍ය වශයෙන් හෝ යම් මතවාදයක එල්බ ගැන්ම ඒ පිළිබඳ ව විචක්ෂණ පුළුල් අවදිකමක් ඇතිකර ගැන්ම නොවේ. පූර්ව විනිශ්චයන්හි පිහිටා දෘෂ්ටිවාදී වූ කල්හි, අන්තවාදී වූ කල්හි ඉන් මිදී නිදහස් ව, නිවහල් ව කල්පනා කළ නොහැකි ය. හෙතෙම තමා විසින් ම දැඩි ව ගත් සංකල්පයේ, මතවාදයේ වහලෙකු වන්නේ ය. එයට යමෙකු එරෙහි වූ විට හේ කිපෙයි. තම මතය ම තහවුරු කරන්නට පෙළඹෙන හෙතෙම ඒ සඳහා කළ හැකි හැම දෙය ම කරයි. ඔහුට නිදහස් චින්තනයක්, විචාර පූර්වක අවදිකමක් නැත. එබැවින් කවර මතවාදයක හෝ වහලෙකු, සිරකරුවෙකු, අන්තවාදියෙකු නොවී නිදහස් ව, නිවහල් ව සිතීමට ම, විමසීමට ම බුදු දහම මග පෙන්වයි. එක් අන්තවාදී දෘෂ්ටියක, මතවාදයක එල්බ ගැනීම සෙසු සියලු අදහස්, මතවාදයන් තදින් මැ පිටුදැකීම අවම අත්දැකීම් ඇති සමබර ව නො සිතන පුද්ගලයාගේ ස්වභාවය යි. නිදහස් ව සිතන විචක්ෂණ නුවණැත්තේ දෘෂ්ටිවාද කරගසා නො ගනියි. නිදහස් ව, නිවහල් ව, ඉවසිල්මත් ව සිතයි.

මධ්‍යම ප්‍රතිපදාව

මැදිහත් ව සීතීමත්, මැදිහත් ව හැසිරීමත් විචක්ෂණ පුද්ගලයාගේ ස්වභාවය යි. මැදිහත් වූ හෙතෙම හැම පැත්තම දකියි. ඇති තතු වටහා ගනියි. බුදුන් වදාළ පටිච්ච සමුප්පාදය මධ්‍යම දේශනාවකි. හේතුඵල න්‍යාය අනුව සියල්ල මැදිහත් ව දකින්නකි. ආර්ය මාර්ගය එනම් නිවන් මග වූ කලී මධ්‍යස්ථ පිළිවෙතකි. මධ්‍යම ප්‍රතිපදාවකි. මැදිහත් ව සිතන, මැදිහත් ව හැසිරෙන තැනැත්තේ ඉවසිලිමත් ය. අන්තගාමී නොවේ. හෙතෙම මැදිහත් බව ද අන්තයක් කර නො ගනී. එහි වුව ද එල්බ ගැන්මෙන් තොර වෙයි. විමසුම්ශීලි වෙයි. විචක්ෂණ වෙයි. අනුන්ට සවන් දෙයි. සැහැල්ලුවෙන් හා ගැඹුරින් සිතයි. අසහනයෙන් නෙ පෙළෙයි. විරුද්ධ මත ඉවසයි. නො ගැටෙයි. ඔහුගෙන් ප්‍රකට වන්නේ ඉහත කී මහා ගංගාවෙහි චරිතය ම ය. හංසායාගේ පැවැත්ම ය. එබඳු සමබර චින්තනය ඇති ප්‍රබුද්ධ තැනැත්තා බුදුදහම විටෙක හඳුන්වන්නේ කඳු මුදුනකට නැගි අයෙකුට ය. සමබර සිත් සතන් නැති සමබර අදහස් නැති ඒකංගදස්සී පුද්ගලයා කඳු පාමුල සිටින්නෙකු. වැනි ය. උස් කඳු මුදුනකට නැග ගත් තැනැත්තාට ලැබෙන අත්දැකීම් වූ කලි අපූර්ව ය.

ඔහුට මහ වටයක් පෙනේ. ළඟ මෙන් ම දුර ද පෙනේ. ඒ කඳු මුදුන හා සම වූ ද එයට උසින් සම නොවූ ද සියලු කඳු ශිලර ඔහුට පෙනේ. ඔහුගේ දැක්ම පුලුල් ය. හෙතෙම සැබවින් ම ප්‍රබුද්ධ ය.

පී‍්‍රතිමත් ය. එහෙත් කඳු පාමල සිටින්නාට දැකගත හැක්කේ සමීප දර්ශන පමණි. ඔහුට දිගු පුළුල් මහ වටයක් නො පෙනේ. එය පී‍්‍රතිජනක අපූර්ව අත්දැකීමක් නොවේ. ඔහුගේ දැක්ම පටු ය. හෙතෙම සැබවින් ම අප්‍රබුද්ධ ය. කඳු මුදුනකට නැග ලෝකය දකින්නෙකු මෙන් හැම පැත්තකින් ම ජීවිතය දෙසත්, සමාජය දෙසත් සමබර ව පැසුණු බැල්මෙන් දැක්මට හෙතෙම සමත් ය. එබඳු ප්‍රබුද්ධයකු බිහි කරලීමට බුදුදහම නිබඳව ම යොමු වී සිටියි.