Print this Article


පුණ්‍ය නිධානය

පුණ්‍ය නිධානය

පින්කම් තුනක් පිළිබඳ ව බුදුදහමේ ඉගැන්වේ. ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා ලෙසින් හැඳින්වෙන ඒවා නම්, දානය, ශීීලය , භාවනාව ය. එහි පළමුවැන්න දානයයි. බෞද්ධයා ට ඉතාම හුරුපුරුදු හා නිතර කරනු ලබන පින්කම ද දානය යි.දානයට බුදුදහමේ සුවිශේෂී තැනක් හිමි වේ. බුද්ධකාරක ධර්ම හෙවත් පාරමිතාවන්හි පළමුවැන්න දානයයි. සතර සංග්‍රහ වස්තුවල ද, දසරාජ ධර්මවල ද, දස පුණ්‍ය ක්‍රියාවන්හි ද පළමුවැන්න දානය යි. ත්‍රිපිටකයේ මෙන් ම එහි අට්ඨ කතා ආදියෙහි ද වෙනත් බෞද්ධ ප්‍රකරණ ග්‍රන්ථවල ද, දානය පිළිබඳ නොයෙක් විස්තර මෙන් ම දානිශංස ද, ඒ හා බැඳුණු කතා ද විසීරී තිබේ. බෞද්ධයන්ගේ පින්කම් අතර දානයට මුල්තැන හිමි වී ඇත්තේ මේ හේතු කොටගෙන ය.

දානය වශයෙන් කුමක් අදහස් කෙරේ ද? සරලම පිළිතුර නම්, දානය නම්, දීම ය යන්න ය. පරිත්‍යාගය , පූජාව, අතහැරීම ආදී තේරුම් ද , දානයට දිය හැකි තේරුම් ලෙස ගත හැකි ය. දක්ෂිණා යන වචනය ත්‍රිපිටකයෙහි නොයෙක් තැන දානය යන්නට සමාන ලෙස යෙදී ඇත. පූජා බුද්ධියෙන් දීම ය , අනුග්‍රහ බුද්ධියෙන් දීම ය යනුවෙන් දන්දීමේ ක්‍රම දෙකකි. තමන්ට වඩා ශීලාදී ගුණයෙන් උසස් පුද්ගලයන්ට යමක් දීම පූජා බුද්ධියෙන් දන්දීමයි. තමන්ට වඩා ගුණයෙන් පහත් අයටත් , දුගී මගී යාචකයන්ටත් , බලු කපුටු ආදී තිරිසන් ගත සත්ත්වයන්ටත් යමක් දීම අනුග්‍රහ බුද්ධියෙන් දීම යි . පූජා බුද්ධියෙන් දන්දීම උසස් ලෙස ද ,දැඩි ආනිශංස දායක පින්කමක් ලෙස ද, සැලකේ. දානය විවිධ කොටස්වලට බෙදා දැක්විය හැකි ය. මුලින්ම දානය කොටස් තුනකට බෙදිය හැකි ය. ආමිස දානය , ධර්ම දානය හා අභය දානය යනු එම කොටස් තුනයි. පූජා බුද්ධියෙන් හෝ අනුග්‍රහ බුද්ධියෙන් ආහාරපාන, වස්ත්‍ර, මල් පහන් ,ගිලන්පස ,සුවඳ දුම් ආදී පූජාවන් අයත් වන්නේ ආමිස පූජා කොටසට යි. ධර්මදේශනා පැවැත්වීම, ධර්ම ශ්‍රවණයට පහසුකම් සලසාදීම, දේශකයන්ට පුජා පැවැත්වීම, දහම් පොත පත ප්‍රචලිත කිරීම, ධර්මශාලා ඉදිකිරීමට දායක වීම ආදිය ධර්ම දාන කොටසට අයත් වේ. ජීවිත දානය හෙවත් මරණයට කැපවූවන්, එයින් නිදහස් කිරීම අභයදානය ලෙස සැලකේ. ත්‍රිවිධ දානය අතරින් ධර්ම දානය උසස්ම දානය බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක . සබ්බ දානං ධම්ම දානං ජිනාති යනු එහි දේශනා පාඨයයි.

කාලයට අනුව දිය හැකි දාන පහක් පිළිබඳව ද බෞද්ධ පොත පතෙහි සඳහන්ව තිබේ. කාල දාන යනු ඒවායි. ආගන්තුක අයට දීම , ගමන් යන්නන්ට දීම ,ගිලන් අයට දීම ,අලුත් ධන ධාන්‍යයෙන් මුලින් දන් දීම, දුර්භික්ෂ කාලයෙහි දීම, කාල දාන පහ ලෙස සඳහන්ව තිබේ. සූත්‍ර දේශනාවන්හි පෞද්ගලික දාන 14 ක් සාංඝික දාන 7 ක් පිළිබඳ ව විස්තර සඳහන්ව තිබේ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේට දෙන දානය , පසේ බුදුරජාණන් වහන්සේට දෙන දානය, රහතන් වහන්සේට දෙන දානය , අරහත් මාර්ගයට පැමිණි අයට දන්දීම, අනාගාමී පුද්ගලයාට දෙන දානය, අනාගාමී මාර්ගයට පැමිණි පුද්ගලයාට දෙන දානය , සකෘදාගාමී ඵලයට පැමිණි පුද්ගලයාට දෙන දානය, සකෘදාගාමී මාර්ගයට පැමිණි පුද්ගලයාට දෙන දානය , සෝවාන් ඵලයට පැමිණි පුද්ගලයාට දෙන දානය , සෝවාන් මාර්ගයට පැමිණි පුද්ගලයාට දෙන දානය, බුදුසසුනෙන් බැහැර කර්මවාගී ධ්‍යානලාභීන්ට දෙන දානය, බුදුසසුනෙන් පිටත පෘතග්ජන සිල්වතුන්ට දෙන දානය, බුදුසසුනෙන් පිටත පෘතග්ජන දුශ්ශීල අයට දෙන දානය, තිරිසන් සතුන්ට දෙන දානය පෞද්ගලික දාන 14 ට අයත් වේ. එක් පසකින් භික්ෂූන් වහන්සේත් , අනෙක් පසෙන් භික්ෂූණීන් හිඳුවා මැද බුදුරජාණන් වහන්සේ වඩා හිඳුවා දෙන දානය, බුද්ධ පරිනිර්වාණයෙන් පසු භික්ෂු භික්ෂුණීන් යන දෙපිරිසට දෙන දානය, සිල් යන දෙපිරිසට දෙන දානය, භික්ෂු සංඝයාට පමණක් දෙන දානය , භික්ෂුණි සංඝයාට පමණක් දෙන දානය , මගේ දානයට මෙපමණ භික්ෂු සංඝයා ද , මෙපමණ භික්ෂූණී සංඝයා ද, වඩිත්වායි ආරාධනා කොට දෙන දානය ,එසේ ආරාධනා කොට භික්ෂු සංඝයාට පමණක් දෙන දානය , එසේ ආරාධනා කොට භික්ෂුණි සංඝයාට පමණක් දෙන දානය යනුවෙන් සාංඝික දාන හතක් පිළිබඳව සඳහන්ව තිබේ.

පෞද්ගලික දානය ට වඩා සාංඝික දානයෙහි ආනිශංස වැඩි බව බුදුරජාණන් වහන්සේ වදාරා ඇත්තේ ශීලාදී ගුණයෙන් උසස් පුද්ගලයන් රැසක් එයින් නියෝජනය වන බැවිණි. මහා ප්‍රජාපතී ගෝතමීය තමන් විසින් ම කපු පුළුන් වෙලා නූල් ගොතා එයින් වියන ලද වස්ත්‍ර දෙකක් බුදුරජාණන් වහන්සේට පුජා කළ අවස්ථාෙවි එය සංඝයාට පුදන ලෙස නියම කොට ඇති බව සඳහන් ෙවි. බුදුරජාණන් වහන්සේ එසේ වදාළේ එතුමියගේ පූජාවට වඩා වැඩි ආනිශංස ලබාදීමට අදහස් කළ බැවිණි. උන්වහන්සේට පමණක් තනිකර කරන පූජාව පෞද්ගලික දාන සංඛ්‍යාවට වැටේ. දානමය පින්කමක දී පූජාව කරන තැනැත්තා දායකයා ලෙසත් , පූජාව පිළිගන්නා තැනැත්තා ප්‍රතිග්‍රාහකයා ලෙසත්, සැලකේ. දායක ප්‍රතිග්‍රාහක ගුණ මහන්තත්ත්වය නිසා කරන පූජාෙවි ආනිසංශ අඩු වැඩි වන ආකාරය බුද්ධ දේශනාවේ සඳහන් වේ. සිල්වත් දායකයෙකු විසින් දුසිල්වත් ප්‍රතිග්‍රාහකයෙකුට දෙන දානය ආනිශංස සහිත එකක් වන්නේ දායකයාගේ සිල්වත් බව නිසයි. දුසිල්වත් දායකයෙකු විසින් සිල්වත් ප්‍රතිග්‍රාහකයෙකුට දෙන දානය ආනිශංස සහිත දානයක් වන්නේ ප්‍රතිග්‍රාහකයාගේ හෙවත් පිළිගත් තැනැත්තාගේ සිල්වත් බව නිසා ය. දුසිල්වත් දායකයෙකු විසින් දුසිල්වත් ප්‍රතිග්‍රාහකයෙකුට දෙන දානය දෙදෙනාගේ ම දුසිල්වත් බව නිසා ආනිශංස රහිත එකක් වේ. සිල්වත් දායකයෙකු විසින් සිල්වත් ප්‍රතිග්‍රාහකයෙකුට දෙන දානය මහත් ඵල වේ. දෙදෙනාගේ ම සිල්වත් බව එයට හේතු වන හෙයිනි.

දන්දීම කුඹුරක වී වැපිරීමට සමාන කොට බෞද්ධ පොත පතේ සඳහන් වේ. කුඹුරකින් සරුසාර අස්වැන්නක් ලබාගත හැක්කේ ගොවියා ගේ මහන්සියත් වපුරන බීජ හොඳ වීමත්, කුඹුරක තණකොළ ආදිය නැති යහපත් කෙතක් සහිත වීමෙන්ය. දානයක් මහත්ඵල වීමට ගොවියා හා සමාන දායාකයා ද සිල්වත් අයෙකුගේ කුඹුරෙහි වපුරන බිජ හෙවත් දෙන දානය දැහැමෙන් සෙමෙන් උපයාගත් වස්තුවක් විය යුතු යි. එම කුඹුර නම්, ප්‍රතිග්‍රාහකයා හෙවත්, දානය පිළිගන්නා පුද්ගලයායි. එම ගොවියා කෙතෙක් මහන්සි වුවත්, බීජ කෙතරම් හොඳ වුවත්, වපුරන කුඹුර යහපත් නොවුණහොත් අස්වැන්න නිසරු වන්නා සේ දායකයා හොඳ වුවද, පුදන වස්තුව ධාර්මික වුවද, පිළිගන්නා තැනැත්තා දුසිල්වත් වුවහොත් දානානිශංස අඩු විමට එය හේතුවක් වේ. එබැවින් යහපත් සිල්වත් ගුණවත්, ප්‍රතිග්‍රාහකයෙකු සොයාම දන් දිය යුතු ය.

- හේමමාලා රන්දුනු