Print this Article


සීහළවත්ථු කතා: උතුම් සරණ

සීහළවත්ථු කතා:

උතුම් සරණ

ඈත අතීතයේ රුහුණු දනව්වේ දීඝායු (දීඝවාපි මහා සෑය) නමින් මහා සෑයක් විය. ඒ සෑය මුදුනේ නංවා තිබු කොඩියක් සුළඟින් ගසාගෙන ගොස් එක්තරා ගොවියෙකුගේ ගොයම් කෙතකට වැටුණි.

දිනක් මේ කුඹුරු හිමියා අස්වැන්න බැලීමට කුඹුරේ ඇවිදින කල්හි ඒ කොඩිය දැක එහි ලියා තිබූ අකුරුවලින් දීඝවාපී මහා සෑයේ කොඩියක් බව දැන දැනම එය වෙන්කොට නො තබා එයට ගෞරව නො කොට ලෝභ සිතක් ඇතිව ශරීරය වටා කොඩිය ඔතාගෙන ගියේ ය.

ඔහුගේ ආයුෂ ගෙවුණි. මරණයට පත් හෙතෙම යකඩ තහඩු දහසකින් වෙළුණු පේ‍්‍රතයෙක් ව උපන්නේ ය. දැවෙන ශරීර ඇති පේ‍්‍රතයා බෝපිටිය නම් ගමට ආයේ ය. පිණ්ඩපාතිකව ජීවත්වන එක්තරා භික්ෂුන් වහන්සේ නමක් සමීපයට ගොස් වැඳ ඇඟිලි බැඳගෙන දුරින් සිටියේ ය. ඔහු දුටු තෙරණුවෝ

”නුඹගේ මුලු සිරුර ලෝහ තහඩුවකින් වෙලා ඇති පරිදි වැසී ඇත. ගිනි පැහැයෙන් යුතු ය. මෙහි සිටින නුඹ කවරෙක් ද?”

”ස්වාමිනි, මම යකඩ තහඩු දහසකින් ආවරණය වූ ශරීරයකින් හැමවිටම දැවෙමින් සිටින පේ‍්‍රතයෙකි”

”නුඹ විසින් කයින්, වචනයෙන්, සිතින් කිනම් පවක් කරන ලද්දේ ද? කවර කර්ම විපාකයක් නිසා යකඩ තහඩුවලින් දැවෙන්නේ ද?”

”ස්වාමිනි, මම ධනවත් මිනිසෙක් ව ඉපදී සිටියෙමි. කුඹුරු වපුරා ඒවා බලමින් සිටිය දී දිනක් දීඝවාපී මහා සෑයට පුජා කළ කොඩියක් සුළඟින් ගව්වක් පමණ ගසාගෙන විත් මාගේ කුඹුරට වැටී තිබෙනු දුටුවෙමි. සෑයට අයත් කොඩියක් බව දැන දැනත් මම ලෝභ සිතින් ඒ කොඩිය රැගෙන පොරවා ගෙන ගෙදර ගියෙමි.

පින්වත් ස්වාමිනි, මම මිනිස් ලොව ආයුෂ ගෙවා අවසන් වනවාත් සමඟ දික් කළ අතක් හකුළන වේගයෙන් පේ‍්‍රතලෝකයේ උපත ලැබුවෙමි. මාගේ වස්ත්‍ර යකඩ තහඩුවෙන් නිම වී ඇත. තහඩු දහසකින් වස්ත්‍රය නිම වී ඇත. ඒ තහඩු මගේ ශරීරය දවයි. බොහෝ සේ දුක් උපදවයි. මට කිසිදු අස්වැසිල්ලක් නො මැත. ස්වාමිනි, මට හිඳ ගැනීමක්, නිදා ගැනීමක්, ආහාර පානයක් නැත. බොහෝ දුකට පත් වූ මට මරණය ද නැත.

පේ‍්‍රතය, නුඹ ගැන මම බොහෝ සංවේගයට පත් වූයෙමි. ඔබ වෙනුවෙන් මම කුමක් කරන්නෙම් ද? කවරාකාරයක පිනක් කිරීමෙන් නුඹගේ දුක පහව යන්නේ ද?”

”පින්වත් ස්වාමිනි, ඔබ වහන්සේ කොඩි දහසක් ගෙනවුත් මේ දීඝායු සෑයට පුදන්නේනම් මේ දුකින් මම නිදහස් වෙමි”

ස්වාමින් වහන්සේ රැය පහන් වූ පසු වහ වහා කොඩි සොයා පණහක් පමන ලැබුණ පසු ඒ කොඩි දීඝායු සෑයට පිදූහ. ඒ පින් පේ‍්‍රතයාට අනුමෝදන් කළහ. එදින ම රාත්‍රියේ පේ‍්‍රතයා තෙරුන් වෙත පෙනී සිට

”ස්වාමිනි, මගේ හිසෙන් අටඟුලක් (අඟල් අටක්) පමණ තැනක් විවෘත විය. පසුදින ද හිමියෝ තව කොඩි පනහක් සොයා සෑයට පූජා කළහ. එදින පේ‍්‍රතයාගේ යකඩ ඇඳුමෙන් තවත් අඟල් අටක් ඉවත්විණි. මේ ආකාරයට ක්‍රමක්‍රමයෙන් කොඩි දහසක් පූජා කොට ඒ පින පේ‍්‍රතයාට අනුමෝදන් කළ කල්හි පේ‍්‍රතයාගේ යකඩ ඇඳුම ඉවත් වී මුළු සිරුර රන්වන්පාට විය. දිනක් සියලු අභරණින් සැරසී මැදියම් රැයෙහි තෙරුන් වෙත පැමිණ උන්වහන්සේගේ පා වැඳ ප්‍රදක්ෂිණා කොට ඇඳිලි බැඳගෙන හිමියන් අසළ සිට ගත්තේ ය. ඔහු දුටු තෙරණුවෝ

”වර්ණවත්, මනා රූ ඇති, අභරණින් සැරසුණු, පිරිසුදු වස්ත්‍ර ඇති සුවඳ තැවරූ අලංකාර ඔබ කවුරුන් ද?”

”පින්වත් හිමියනි, පෙර දිනක රත් වූ ලෝහ තහඩුවලින් සැරසුණු මම භයානක රූප ඇත්තෙක් වුයෙමි. වෙහෙසට පත් මා ඔබ වහන්සේ විසින් ඒ දුකෙන් මුදවනු ලැබිණ. ස්වාමිනි, ඒ පිනෙන් ඔබවහන්සේ අග්‍ර සැපයට පැමිණෙත්වා. මම ප්‍රමාද නමැති මඩෙහි එරුණේ වෙයි. සෑයට පිදු ධජයක් පරිහරණය කළ හෙයින් මම රත් වූ යකඩ දරන්නෙක් වූයෙමි. ත්‍රිවිධ රත්නය කෙරෙහි අකුසල් සිතින් අල්ප වූ දෙයක් කළ ද දරුණු විපාක ඇත්තේ ය. තුණුරුවනට කුසල් සිතින් අල්ප වූ දෙයක් කළේ ද මහත්ඵල ඇත්තේ ය. එයින් සුගති රැකවරණය ලැබෙයි. එනිසා සැප කැමැත්තෝ ත්‍රිවිධ රත්නයට ගර්හා නො කළ යුතු ය. ගෞරවය කළ යුතුය, යැයි පවසා තෙරණුවන්ගේ පාද වන්දනා කොට ඔහු නො පෙනී ගියේ ය.