Print this Article


අවිද්‍යාවෙන් අන්ධ වූ ලොව අමා දහමින් සැනසීම

ආර්ය පර්යේෂණ සූත්‍රය:

අවිද්‍යාවෙන් අන්ධ වූ ලොව අමා දහමින් සැනසීම

තථාගතයන් වහන්සේට මෙවැනි සිතිවිලි පහළ විය. මම කවරෙකුට පළමුකොට දහම් දෙසම් ද? කවරෙක් මේ ධර්මය වහාම අවබෝධ කරන්නේ ද?

රාමපුත්‍ර උද්දක තෙමේ පණ්ඩිතයි. ව්‍යක්තයි. උත්තම තෙමේ නුවණ ඇති ය. බොහෝ කලක් අල්ප කෙලෙස් සහිත ස්වභාවයක් පැවතුණේ ය. මම රාමපුත්‍ර උද්දකයන්හට පළමුකොට දහම් දෙසන්නෙමි.

හෙතෙම මේ ධර්මය වහා ම දැන ගන්නේය. යන අදහසත් ඇතිවුණි. ඉක්බිති දෙවියෙක් මා වෙත පැමිණ භාග්‍යවතුන් වහන්ස, උද්දකරාමපුත්‍ර තෙමේ ඊයේ මධ්‍යම රාත්‍රියේ කළුරිය කළේ යැයි කී’ ය. උද්දකරාමපුත්‍ර තෙමේ ඊයේ රාත්‍රියේ කළුරිය කළ බව මටත් ඤාණ දර්ශනයෙන් දැන ගන්නට හැකි විය. උද්දකරාමපුත්‍රට සිදු වූයේ මහත් පිරිහීමකි. ඒ කුමක් හෙයින් ද? ඒ උද්දකරාමපුත්‍ර මේ ධර්මය ඇසුවේ නම් වහාම මාර්ගඵලාවබෝධය ලබන්නේ ය යන අදහසයි.

මින් අනතුරුව මම කවරෙකුට පළමුකොට දහම් දෙසන්නේ ද?යි සිතුවෙමි. කවරෙක් මේ ධර්මය වහාම අවබෝධ කරන්නේ ද? යන අදහස ඇති විය. යම් පස්වග මහණ කෙනෙක් ප්‍රධන් වීර්යය මෙහෙය වූ සිත් ඇතිව මට උවැටන් කළාහු ද? ඒ පස්වග මහණුන් මට බොහෝ උපකාර ඇත්තාහ. මම පස්වග මහණුන්ට පළමුව දහම් දෙසන්නෙමි’යි අදහස පහළ විය.

ඒ පස්වග මහණුන් කොහි වෙසෙද්දෝයිි සිත් ඇති විය. මම මිනිස් ඇස ඉක්ම වූ පිරිසුදු දිවැසින් බැලුවෙමි. පස්වග මහණුන් බරණැස මිගදාය නම් ඉසිපතනාරාමයේ වාසය කරන බව දුටුවෙමි. ඉක්බිති උරුවෙල් දනව්වෙහි කැමැති තාක් කල් වාසය කොට බරණැස චාරිකාවේ යෙදුණෙමි.

ගයාවටත්, බෝධීන් වහන්සේත් අතර අද්දහාන මාර්ගය හෙවත් පයින් ගමන් කළ හැකි මාර්ගයේ ගමන් කරන විටෙක උපක නම් ආජීවක හමුවිය. ඔහු මා දැක මෙසේ ඇසුවේ ය. නුඹවහන්සේගේ ඇස ආදී ඉන්ද්‍රියයන් විශේෂයෙන් ම ප්‍රසන්නයි. සමේ වර්ණය ඉතාම පිරිසුදුයි. ප්‍රභාෂ්වරයි. ඇවැත්නි නුඹ වහන්සේ කවරෙකු උදෙසා පැවිදි වූ සේක් ද? නුඹ වහන්සේගේ ශාස්තෘවරයා කවුද? නුඹ වහන්සේ කාගේ ධර්මයට කැමැතිව සිටින්නේ ද? යනුවෙනි. උපක මෙසේ ප්‍රශ්න කළ විට මම මෙසේ පිළිතුරු දුන්නෙමි.

“මම සියල්ල අභිබවා සිටියෙමි.

මම දතයුතු සියල්ල දන්නේ වෙමි.

සියලු ධර්මයන්හි නො ඇලුණෙමි.

සියලු කෙලෙස් හැර සිටියෙමි.

තෘෂ්ණාව නැතිකොට නිවන් අරමුණු කිරීමෙන් කෙලෙසුන්ගෙන් මිදුණෙමි.”

මෙසේ තමන් විසින් ම සියල්ල දැන ගත් මට අන් කවරෙකු නම් ආචාර්යත්වයෙන් සිටින්නේ ද යනුවෙනි.

‘මට ලෝකෝත්තර ධර්මාවබෝධයෙහි ගුරුවරයෙක් නැත. මට සමානයෙක් මේ තුන් ලෝකයේ නැත. දෙවියන් සහිත ලෝකයේ ම මට සමාන යම් පුද්ගලයෙක් නැත. මම රහත්වෙමි. මම ම නිරුත්තර වූ ශාස්තෘ වෙමි. මම එකම සම්මා සම්බුද්ධ වෙමි. සියලු කෙලෙස්ගිනි නිවීමෙන් සිසිල් වූයෙමි. එයින් ම නිවුනේ වෙමි. මම දම්සක් පැවැත්වීමට කසී රට බරණැස් නුවර බලා වඩිමි.’

අවිද්‍යාවෙන් අන්ධ වූ ලෝකයෙහි අමා දහම් බෙරය ගසන්නෙමි. ඇවැත්නි නුඹ වහන්සේ අනන්ත ජින යැයි තිළිණ කරන සේක, යනුවෙන් උපක ආජීවක තෙමේ පැවසී ය.

මෙහි දී උපක ආජීවක බුදුරජාණන් වහන්සේ එක් නමකින් හැඳින්වූ බව පැහැදිලියි. එනම් ඔබ වහන්සේ අනන්ත ජින නම් වන සේක යන අදහසයි. “සියලු කෙලෙසුන් ක්ෂය කළා වූ, නිර්වාණයට පැමිණියා වූ මා වැනියෝ ඒකාන්තයෙන් ම ජින නම් වෙති. උපක ආජීවකය මා විසින් පාප ධර්මයෝ දිනන ලදහ. එහෙයින් මම ජින නම් වෙමි”. බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ කල්හි, උපක ආජීවක තෙමේ ඇවැත්නි, එසේ වන්නේ යැයි හිස වනා ඔහුගේ මඟ අනුව ඉදිරියට ගමන් කළේ ය.