Print this Article


සිත අපිරිසුදු කරන දස ආකාර ක්‍රෝධය

සිත අපිරිසුදු කරන දස ආකාර ක්‍රෝධය

"ක්‍රෝධය දුරු කළ, මානය පහ කළ සංයෝජන ඉක්මවූ කෙලෙස් කරදර නැත්තාවූ , තැනැත්තාට දුක් කරදර නැත"

බුද්ධ ශාසනයේ දිවැස් ලාභීන් අතර අග තනතුර ලබා සිටියේ අනුරුද්ධ මහ රහතන් වහන්සේ ය. දිනක් අනුරුද්ධ තෙරුන්වහන්සේ පන්සියයක් භික්ෂූන් පිරිවරා කිඹුල්වත් නුවර නුග අරමට වැඩම කළහ. එනුවර ඥාති පිරිස අනුරුද්ධ තෙරුන්ගේ දුක සැප බැලීමට නිග්‍රෝධාරාමයට පැමිණෙති. නමුත් උන් වහන්සේගේ නැගණිය වන ‘රෝහිණී’ කුමරිය නො පැමිණියා ය. රෝහිණී කුමරියගේ ශරීරය පුරා දරුණු දද රෝගයක් හටගෙන තිබුණ හෙයින් පිරිසක් අතරට ඒමට ලජ්ජාවෙන් පසුවන හෙයිනි. මෙම අසනීපය පිළිබඳ අනුරුද්ධ තෙරුන්ට ඥාතීන්ගෙන් දැන ගන්නට ලැබුණි. අනුරුද්ධ තෙරුන් තම නැගණිය පිළිබඳ අනුකම්පාව උපදවා වැළඳී ඇති රෝගය සුවපත් කර ගැනීමට යා යුතු මඟ පහදා දුන්හ.

“ නැගණියනි, ඔබගේ මුදල් යොදා ආසන ශාලාවක් සකස්කර මහා සංඝයාට පූජා කරන්න’ මෙම උපදේශය පිළිගත් රෝහිණිය තම වටිනා කණකර ආයිත්තම් විකුණාගත් මුදල් ද යොදා ගනිමින් ආසන ශාලාවක් සකස් කොට දානමය පින්කමක් එහි සංවිධානය කරවූ අතර බුද්ධ ප්‍රමුඛ සංඝරත්නයට දන් දී ආසන ශාලාව පූජා කළා ය. දානමය පින්කම අවසානයේ දී බුදුරදුන් රෝහිණී කුමරියට දහම් දේශනා කළ සේක. පෙර කරන ලද කර්මයක් හේතුවෙන් මෙම දද රෝගය ඇතිවූ බව රෝහිණියට පෙන්වා දුන්හ.

පෙර ආත්මයක බරණැස් රජුගේ අග මෙහෙසිය වශයෙන් කටයුතු කරද්දී , මහ රජුගේ අන්තඞපුර කාන්තාවකට වෛර බැඳ දැවෙන කෝපයෙන් යුතුව ඇය නිදන ඇඳෙහි කහඹිළියා දැමීම හේතුවෙන් ඇගේ ශරීරය පුරා කැසීම හටගෙන ගඩු නඟින්නට විය. එමඟින් ශරීරයේ ප්‍රසන්න භාවය නැති විය. අළුයම නැඟිට බලන විට පිරිස ඉදිරියට යාමට නො හැකිව ලජ්ජා ඇති විය. එදා වෛර සිතින් සිදු කළ මෙම වැරැදි ක්‍රිියාව හේතුවෙන් අද ‘දද රෝගයෙන්’ ශරීරය පුරා කැසීම් හා අවලක්ෂණවීම සිදුව ඇති බව වදාළහ. ක්‍රෝධය දුරුකර මානය පහකර සියලු සංයෝජනයන් ඉක්මවූ නාම , රූප දෙකෙහි ඇලීම් නොකරන කෙලෙස් නැති කරන අය දුක් කරදරවලින් මිදෙන බව පැහැදිලි කරමින් ධර්ම දේශනා කළහ. ආවාස දානයෙන් සහ සඟ සතු දානමය පින්කමෙන් අසීමිත චිත්ත ප්‍රීතියට පත් රෝහිණියගේ සිත පිරිසුදු භාවයට පත් වුණි. සිතේ පිරිසුදුකම හේතුවෙන් ලේ ධාතුව පිරිසුදු විය. ලේ නරක්වීමෙන් ඇඟ පුරා හැදී තිබුණු චර්ම රෝගය සුවපත් වී සහනය ලැබුණි. ඇය ආර්ය මාර්ගයට යොමුවී ධර්ම ශ්‍රවණයෙන් උතුම් සෝවාන් ඵලයට පත් වූවා ය.

‘කෝධං ජහේ’ යනු ක්‍රෝධය දුරු කිරීම යි. ක්‍රෝධය ආකාර දහයකි. චිත්තාභ්‍යන්තරයේ උපදින දස ආකාර ක්‍රෝධය සිත අපිරිසුදු කරයි. අඳුරු බවට පත් කරවයි. අසවලා මට අවැඩක් කළේ ය. දැනුත් එසේම කරයි, අනාගතයේ ද එසේම කරන්නේ ය. යනුවෙන් තමන් ගැන ම ඇති කරගන්නා ක්‍රෝධ තුනකි. මගේ මිත්‍රයාට අවැඩක් කළේය, දැනුත් එසේම කරයි, අනාගතයේ ද එසේම කරන්නේ ය . යනුවෙන් ක්‍රෝධය උපදවා ගනියි. මගේ සතුරාට අභිවෘද්ධියක් කළේ ය. දැනුත් එසේ ම කරයි, අනාගතයේ ද එසේම කරන්නේ ය, යනුවෙන් සතුරා ගැන ද ක්‍රෝධය උපදවා ගනියි. තව ද ගල්මුල්වල පය පැකිලීමෙන්, අත් පා තුවාල වීම හේතුවෙන් ක්‍රෝධය උපදවා ගනියි. මේ අයුරින් දස විධ ක්‍රෝධය ඇතිවී සිතේ කිළිටි බව වැඩි කරවයි. ‘මානං’ මානය යි. නව වැදෑරුම් ආකාරයක් ධර්මයේ උගන්වයි. තමා මිම්මක් කොට සමාජය දෙස බලා මැනීමක් කර ගන්නා ආකාරයත් එමඟින් සිතේ අපිරිසුදු බව ඇතිවීමත් පෙන්වා දෙයි. මම ශ්‍රේෂ්ඨයාට ශ්‍රේෂ්ඨ වෙමි. ශ්‍රේෂ්ඨයාට සමාන වෙමි. ශ්‍රේෂ්ඨයාට ශ්‍රේෂ්ඨ වෙමි. ශ්‍රේෂ්ඨයාට හීන වෙමි. සමානයාට හීන වෙමි, හීනයාට ශ්‍රේෂ්ඨ වෙමි. හීනයාට සමාන වෙමි. හීනයාට හීන වෙමි. යැ’යි මානය සිත තුළ උපදී .

‘සබ්බං සංයෝජනං’ සියලු සංයෝජන පිළිබඳ විස්තර කරයි. සංයෝජන දස වැදෑරුම් වේ. ඕරම්භාගිය සංයෝජන හා උද්ධම්භාගිය සංයෝජන වශයෙන් විග්‍රහ කරයි. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග,පටිඝ යන පංචවිධ සංයෝජන ඕරම්භාගිය කොටසට ගැනෙයි. රූප රාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා යන කොටස් උද්ධම්භාගිය වෙයි. සිතේ පිරිසුදු බව ක්‍රමයෙන් ඇති කරවන්නේ දස සංයෝජන එකින් එක බිඳ දැමීමෙනි.

නාම රූප දෙකින් යුක්ත සත්ත්වයා අතර මිනිසා උතුම් ය. නාමය යනු වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන අංග සතර යි. මනස තුළ ජනිත වන චේතනාවන් කර්ම බීජ බවට පත්වේ. අකුසල් කර්ම බීජ සිතේ පළවන වාර ගණන අනුව කර්ම බීජයන් ද වර්ධනය වෙයි. අනන්ත අප්‍රමාණ දුක් දොම්නස්වලට ගෝචරවන්නේ එය යි. ඉහත කථා ප්‍රවෘත්තියෙන් ඒ බව මනාව පැහැදිලි කර දෙයි. පිරිසුදු සිත තුළ පිරිසුදු චේතනා උපදී. ඒවා පුණ්‍යකර්මයෝ ය. වහා සැප ගෙන දීමට එම ශක්තිය බලපායි. සසර කෙටිකර ගැනීමට එය ද බලපායි. සිතේ උපදින අකුසල් සිතිවිලි අඩුකර ගෙන කුසල් සිත් උපදවා සිත පිරිසුදු කර අමාදොර විවර කර ගැනීමට උත්සාහ වන්න.