මිරිඟුව පසුපස මිරිඟුව පසුපස යනවා ද?
බලන්ගොඩ ශ්‍රී ධර්මානන්ද විද්‍යායතන පිරිවෙන් විහාරාධිපති
කරගොඩ උයන්ගොඩ
මෛත්‍රී මූර්ති මහා නා හිමි
නිමල් ඉගෙන ගන්නේ පස්වන පන්තියේ. නිමල්ගේ අම්මයි තාත්තයි දෙදෙනා ම රැකියාවට යනවා.
පාන්දර ම ගෙදරින් පිටත්වන ඔවුන් ගෙදර එන්නේ රෑ බෝ වුණා ට පසුව යි. නිමල් පාසලෙන්
පසුව අමතර පන්තිවලටත් සහභාගී වී ගෙදර ඇවිත් නින්දට වැටෙනවා. මේ තුන් දෙනා ම කතා බහට
එක් වෙන්නේ රාත්‍රී කෑම වෙලාවට යි.
මේ අය මොනවද කතා කරන්නේ? ගෙදර අඩුපාඩු ගැන, පවුලේ දියුණුව ගැන, නිමල්ගේ අධ්‍යාපන
කටයුතු ගැන ඔහුගේ යහළු යෙහෙළියන්ගේ විස්තර ආදී තමන්ට අදාළ ප්‍රශ්න ද? නෑ. කිසිදා
එවැනි දෙයක් ගැන ඔවුන් සිතුවේවත් නෑ. අහල පහළ අයගේ ගේ දොර, ඉඩකඩම්, යාන වාහන,
අනුන්ගේ ඇඳුම් පැළඳුම්, අසල්වාසි දරුවන් ඉගෙන ගන්නා සැටි මේ ආදී දේ ගැන ම යි ඔවුන්
කතාබහ කළේ.
මේ අයගේ නිවස අසල ම ඉඩමක් මිල දී ගත් අය අලුතෙන් නිවසක් ඉදිකරන්නට පටන් අරගෙන,
නිමල්ගෙ අම්මට හරිම ගැටලුවක්. අල්ලපු ගෙදර අයටත් මේ ගැන කියනවා.
“බලන්නකෝ අර ඉඩමේ හදන්නට යන්නේ තට්ටු තුනේ ගෙයක් ලු. ඔය තරම් විශාල ම ගෙවල් මොනවටද?
මම හිතුවේ මේ පළාතෙ තියෙන විශාලම ගෙදර අපේ කියල යි. දැන් ඉතින් ඒ අයගේ ආඩම්බර බලන්න
තමයි අපට සිදුවන්නේ.”
ඇය ඊර්ෂ්‍යා සහගත සිතින් කියවනවා. මේ ප්‍රකාශ දෙස බලන්න. තමන්ගේ නිවසට වඩා විශාල
ගෙයක් අහල පහළ අය හදනවට සමහරු අකැමැති යි. ගෙයක් පමණක් නොවෙයි. ළඟපාත කෙනෙක් තමන්ගේ
වාහනයට වඩා වටිනා වාහනයක් ගන්නවා නම්, එයට අකැමැති යි. වටිනා ඇඳුම් පැළඳුම් පරිහරණය
කරනවා නම් එයත් ප්‍රශ්නයක්. අසල්වැසි නිවෙසේ ළමයා තමන්ගේ දරුවා යන පාසලට වඩා උසස්
පාසලකට යනවා නම් තරහ සිත් ඇති කරගන්නවා. හොඳින් ඉගෙන ගන්නවා නම්, වපර ඇහින් බලනවා.
මොනවා හෝ ඇදක් පළුද්දක් හොයනවා.
මේ ලෙස අනුන් දෙස බලා ඊර්ෂ්‍යා කිරීම, ක්‍රෝධ කිරීම, දොස් කීම අඩුපාඩු සෙවීම යහපත්
දෙයක් ද? එහි ප්‍රතිඵලය කුමක්වේ ද? එවැනි පුද්ගලයා කායික හා මානසික රෝගියකු වීම හැර
අසහනයට හා වේදනාවට පත්වීම හැර වෙනත් ප්‍රතිඵලයක් නොවේ. තමන්ගේ විවේචනයට, ඊර්ෂ්‍යාවට
ලක්වෙන පුද්ගලයාට කිසිදු ප්‍රශ්නයක් ද නොවෙයි. ඔහු තම කටයුතු හොඳින් කරගෙන යනු ඇත.
කොපමණ ඊර්ෂ්‍යා කළත් අසල්වැසි නිවෙසේ ළමයා ඉගෙන ගනියි. ඒ හැකියාව අඩු වන්නේ නෑ.
වැරැදි චින්තනයේ ප්‍රතිඵලය භුක්ති විඳින්නට සිදු වන්නේ ඒ පුද්ගලයාට ම යි. වර්තමාන
සමාජයේ, අපගේ බොහෝ කාර්යයන් මහා තරගකාරී ස්වභාවයක් ගෙන තිබෙනවා. හරියට යුද්ධයක්
වගෙයි. බොහෝ දෙනා උත්සාහ කරන්නේ අනිත් අයට වඩා ඉහළින් සිටීමට යි. මේ තරගය තුළ
වර්ධනය වන්නේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පළිගැනීම බව ඉතා පැහැදිලියි. තරගයක් නැතිව
අපට අවශ්‍ය දෑ ඉටුකරගත නොහැකි ද? සිතා බලන්න. අනෙක් අයගේ නිවෙස්වලට වඩා පෙනුම ඇති
ගෙයක් හදනවාට වඩා අප කළයුතු වන්නේ, පවුලට ප්‍රමාණවත්, පහසුකම් ඇති, කරදරයක් නැතිව
ජීවත්විය හැකි, පහසුවෙන් නඩත්තු කළහැකි නිවසක් සාදා ගැනීම යි. එය ලස්සන නිර්මාණයක්
වීම වරදක් නොවේ. අනෙක් අය පරදවන්නට රටට ණය වී ගෙදරක් හැදීම නිසා පසුවට මොන තරම්
ප්‍රශ්න, කරදර ගොඩකට මැදිවෙන්නට වනවා දැයි සිතා බලන්න. මේ තරගය නැති කරන්නේ අපගේ
සැනසීම යි.
ජීවිතයේ මූලික ම පරමාර්ථය විය යුත්තේ සතුටින් ජීවත්වීමයි. ඒ සතුටතුළ සාධාරණය,
අවංකබව තිබිය යුතු යි. සමහර අය සතුටින් සිටින බව පෙන්නුම් කළත් හදවතින් හඬා
වැළපෙනවා. අනුන්ට වඩා ඉහළින් ඉන්නට උත්සාහ කළත් ඒ පසුපස ඇත්තේ මහා ණය බරක්.
ප්‍රමාණවත් ආදායමක් නොමැතිව ගත් මේ ණය ගෙවීමේ දී අප මොන තරම් ප්‍රශ්නවලට මුහුණ දිය
යුතු ද? එදිනෙදා අත්‍යවශ්‍ය දෑ සපුරා ගැනීමට නො හැකිව මොනතරම් පීඩනයට පත්වෙනවා ද?
වාහනයක් අවශ්‍ය වන්නට පුළුවන. එය තම අවශ්‍යතා සපුරා ගැනීමට ප්‍රමාණවත් වනු මිස
ප්‍රදර්ශන භාණ්ඩයක් නොවිය යුතු යි.
අප මේ යන්නේ අතෘප්තිකර ගමනකි. බලාපොරොත්තු ඉටුකර ගැනීමෙන් සතුටක් ලැබීම අරමුණයි. එය
ඉටුවුණ ද ටික දවසකින් ඒ සතුට පලා යයි. අනුන් පරයා යන තරගය තුළින් කිසිදාක
බලාපොරොත්තු වන සතුට නොලැබෙයි. එය හරියට ජලය සොයාගෙන මිරිඟුව පසුපස යන මුවාට සිදුවන
ඉරණම හා සමානයි.
අද ලෝකය කටයුතු කරන්නේ අනුසෝතගාමී ක්‍රමයටයි. ගඟ ගලන්නේ පහළට. එය උඩු අතට ගලායන්නේ
නෑ. අප සිතන්නේත්, ලෝකයා කටයුතු කරන්නේත් ස්වභාවිකව පහළට ගලායන වතුර මෙනි. ඒ සිතේ
සාමාන්‍ය ස්වභාවය යි. ලස්සන රූපයක් දුටුවොත්, ඒ දෙස නැවත බලන්නට අප බොහෝ කැමැතියි.
මිහිරි හඬට කැමැතියි. ආකර්ශනීය සුවඳට කැමැතියි. ශරීරයට සුවදෙන වින්දනයට කැමැතියි. ඒ
වගේ ම එකිනෙකාගේ ඕපාදූප අහන්නට පි‍්‍රයයි. මේ සැම දෙයකින් ම අප යම් තෘප්තියක්,
සතුටක් ලබනවා. එය අනුසෝතගාමී ක්‍රමයයි. පටිසෝතගාමී යනු මේ සතුට ලබන ක්‍රමයට
විරුද්ධව ක්‍රියාත්මක වීමයි. අනුසෝතගාමී ක්‍රමයෙන් ආශාව, රාගය, තරහ, ක්‍රෝධය, වෛරය,
ඊර්ෂ්‍යාව වර්ධනය වෙනවා. එනිසා අසහනයට, වේදනාවට, ශෝකයට පත්වෙනවා. පටිසෝතගාමී
පිළිවෙතින්, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, රාගය, තණ්හාව, නැති කරනවා. එය සදා සතුට
ලබාදෙන, සසර දුක නැති කරන උතුම් ප්‍රතිපත්තියි.
|