දන් වැට වැළැක්වීමේ ආදීනව
කොළඹ විශ්වවිද්‍යාලයේ
බෞද්ධ අධ්‍යයන අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
රාජකීය පණ්ඩිත
ආචාර්ය
උඩුහාවර ආනන්ද හිමි
බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩ වසන සමයෙහි ආත්ම පන්සියයකට පෙර සැරියුත්
මහතෙරුන්ගේ මව වූ ප්‍රේතියක් අරභයා මෙම පේත කථාව දේශනා කළහ. එක් කලෙක සාරිපුත්ත,
මොග්ගලායන, අනුරුද්ධ හා මහා කප්පින යන මහරහතන්වහන්සේලා සිව්නම රජගහ නුවර සමීපයෙහි
වූ ආරණ්‍ය සේනාසනයක වැඩ වාසය කළහ. එ සමයෙහි බරණැස් නුවර මහත් ධන සම්පතින් ආඩ්‍ය වූ
සැදැහැති බ්‍රාහ්මණයෙක් වාසය කළේ ය.
දන් දීමෙහි හා පරිත්‍යාගයෙහි ඇලුණු සිත් ඇති බ්‍රාහ්මණයා නිතිපතා ශ්‍රමණ
බ්‍රාහ්මණයන්ට මෙන් ම දුගී මගී යාචකාදීන්ට ආහාරපානාදියෙන් සංග්‍රහ කළේ ය. එක් දිනෙක
නිවසින් බැහැරව වෙනත් දේශයකට යාමට සූදානම් වී ස්වකීය බිරිඳ අමතා තමා විසින් නිතිපතා
පවත්වාගෙන ආ දන්වැට එසේම නොකඩවා පවත්වාගෙන යන මෙන් අණකොට දේශාන්තරගත විය. ඇය තම
ස්වාමියාට එසේ කරමි යැයි පොරොන්දු වූ නමුත් ඔහු නිවසින් බැහැර වීමත් සමඟ ම ශ්‍රමණ
බ්‍රාහ්මණයන් උදෙසා පවත්වාගෙන ආ දන්වැට නතර කළා ය. තම නිවසේ නවාතැන් ගැනීමට පැමිණි
මගියන්ට නිවස පිටුපස අත්හැර දමන ලද අපිරිසුදු මඩුව පෙන් වූවා ය.
ආහාර පාන සඳහා මගියන් පැමිණි විට “අශූචි කාපියව්, මූත්‍ර බීපියව්, ලේ බීපියව්”
යනුවෙන් ඇසැබි වදනින් බැණ වැදුණා ය. පසු කලෙක ඇය මියගොස් ප්‍රේතියක්ව ඉපදුණා ය.
ආත්ම පන්සියයකට පෙර තමන් සැරියුත් හිමියන්ට මව් වූ බව සිහිකොට උන්වහන්සේ වෙසෙන
විහාරය වෙත පැමිණියා ය. ආරාමික දේවතාවෝ ඇගේ ගමන වැළක් වූහ. ඉක්බිති එම ප්‍රේතිය
තමන් ආත්ම පන්සියයකට පෙර සැරියුත් මහරහතන් වහන්සේගේ මව වූ තැනැත්තියක් යැයි
දේවතාවන්ට දන්වා සිටියා ය. ආරාමික දේවතාවෝ ප්‍රේතියගේ වචනය අසා ඈ කෙරෙහි
අනුකම්පාවෙන් තෙරුන්වහන්සේ බැහැ දැකීමට අවසර ලබා දුන්හ.
ඇය ආරාමයට ගොස් සක්මන් මළුවේ කෙළවර සිට සැරියුත් හිමියන්ට තමා පෙනෙන්නට සැළස් වූවා
ය. සැරියුත් මහා රහතන් වහන්සේ නග්න, දුර්වර්ණ වූ, නහර ඉල්පුණු, අතිශය කෘෂ වූ ඒ
ප්‍රේතිය දැක ඇය කවරෙක්දැයි විමසූහ. ආත්ම පන්සියයකට පෙර තමන් සැරියුත් මහරහතන්
වහන්සේගේ මැණියන් වූ බවත්, දන්වැට වැළක් වීමේ පාප කර්මය හේතුවෙන් ප්‍රේතියක් ව ඉපිද
බඩ සයින් පෙළෙමින් මිනිසුන් විසින් බැහැර කරන ලද සෙම් සොටු ද, වැදුම් ගෙයි ලේ
තැවැරුණු ගැබ්මලද, හිස ගසා දමන තැන වැගිරෙන රුධිරය ද, සතුන්ගේ හා මිනිසුන්ගේ රුධිරය
ද පානය කරමින් දුක්ඛිත ජීවිතයක් ගෙවන තැනැත්තියක් යැයි පැවසුවා ය.
ඉක්බිති තමන් විඳින දුකෙන් මුදවනු පිණිස දනක් පුදා එය ඇය නමින් අනුමෝදන් කරනු
මැනැවයි ඉතා බැගෑපත්ව මහරහතන් වහන්සේ ට ආයාචනා කළා ය. ප්‍රේතියගේ දුක්ඛිත ආයාචනය
කෙරෙහි සානුකම්පිත වූ සැරියුත් මහරහතන් වහන්සේ පසු දින සෙසු රහතන්වහන්සේලා සමඟ
බිම්බිසාර රජුගේ මාලිගය බලා වැඩම කළහ. රහතන් වහන්සේලා මහත් භක්ත්‍යාදරයෙන් පිළිගත්
රජු උන්වහන්සේලා රජ මැදුර බලා වැඩම කිරීමේ අරමුණ කුමක්දැයි විමසී ය.
සැරියුත් මහරහතන් වහන්සේ තමන් පැමිණි කරුණ රජුට දැන් වූහ. සියල්ලට සවන් යොමුකළ රජු
රහතන්වහන්සේලා ආපසු ආරාමයට වැඩම කිරීමට සළස්වා ස්වකීය ඇමැතියන් ලවා නගරයට ආසන්නයෙහි
ගහකොල පිරි ජල පහසුකම් සහිත සුන්දර තැනක කුටි සතරක් නිර්මාණය කරවී ය. අනතුරුව එහි
සියලු උපභෝග පරිභෝග වස්තු පුරවා ඒ සියල්ල සැරියුත් මහරහතන් වහන්සේට පවරා දුන්නහ.
සැරියුත් මහ රහතන් වහන්සේ ද කුටි සතර හා එහි තැන්පත් කළ උපභෝග පරිභෝග වස්තු සමඟ
සියල්ල පිළිගෙන මව් ප්‍රේතිය වෙනුවෙන් බුද්ධප්‍රමුඛ මහා සංඝ රත්නයට කුටි පූජාව සමඟ
මහා සඟ සතු දානයක් පිරිනමා ඉක්බිති එම පුණ්‍යමය දක්‍ෂිණාව ඇයට අනුමෝදන් කළසේක. කුටි
පූජාව සමඟ කළ සඟ සතු මහා දානයෙන් ජනිත පින් අනුමෝදන් වූ ප්‍රේතිය තමා වෙනුවෙන් කළ
පින්කම අනුව සිත් පහදවා ගැනීමෙන් දෙව්ලොව උපන්නා ය.
ආහාරපාන නිවාස වස්ත්‍ර ආදී සියලු සම්පතින් ආඩ්‍ය දිව්‍යමය ආත්මයක් ලද ප්‍රේතිය
මුගලන් මහරහතන් වහන්සේ වෙත පැමිණ නමස්කාරකරමින් තමන් ලද දිව්‍යමය සැප සම්පත් පිළිබඳ
කරුණු සැළ කළා ය. අනතුරුව දෙව්රම් වෙහෙර බලා වැඩම කළ මහරහතන් වහන්සේලා අතරින්
මුගලන් මහරහතන් වහන්සේ සැරියුත් මහාරහතන් වහන්සේගේ මව් ප්‍රේතිය පිළිබඳ පුවත
තථාගතයන් වහන්සේ ට දැන් වූහ. බුදුරජාණන් වහන්සේ එම පුවත පදනම් කරගනිමින් දම්සභා
මණ්ඩපයට රැස් වූ පිරිසට ඉතා අගනා ධර්ම දේශනයක් කළ සේක.
දන්වැට වැළැක්වීමෙන් කරන ලද අකුශල කර්මයේ දරුණු විපාකවල ස්වභාවය මෙම පේත කථාවෙන්
ඉදිරිපත් කෙරේ.
බෞද්ධ විමුක්ති මාර්ගයේ ආරම්භක පියවර දානය යි. බුදුරදුන්ගේ අනුශාසනාව ආරම්භ වන්නේ
දානයෙන් ය (දානකථා). එයින් ආරම්භ කෙරෙන විමුක්ති ප්‍රතිපදාව ශීල සමාධි ප්‍රඥා යන
ත්‍රිවිධ ශික්ෂාව සම්පූර්ණ කිරීමෙන් නිමාවට පත් වේ. දන් දීමෙන් ජනිත කුශලය නිවන් මඟ
පහසු කරන අතර, සසර සැපවත් වීමට ද උපකාරී වේ.
බෞද්ධ පිළිවෙත් යටතේ දානය නන් අයුරින් වාර්ණනාවට ලක්වෙන අතර එය ක්‍රියාවට නැංවීමද
විවිධ ය. දානය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම අනුව එය තිරිසන් සතුන්ට ආහාර පානාදී යමක්
දීමෙන් ආරම්භකොට බුදුරජාණන් වහන්සේ ට දන් පිරිනැමීම දක්වා ක්‍රියාවට නැංවිය හැකි
අයුරු දක්ඛිණා විභංග සුත්‍රයෙන් පැහැදිලි වේ. මෙම කථාවෙහි එන සැදැහැති බ්‍රාහ්මණයා
භික්ෂු සංඝයාට පමණක් නොව දුගී මගී යාචකාදීන්ට ද ආහාරපානාදියෙන් සංග්‍රහ කළේ ය.
මෙම බණකථා ඇසූ පැරැණි බෞද්ධයෝ භික්ෂූන්ට පමණක් නොව දුගී මගී යාචකාදීන්ගේ පහසුව
පිණිස මඟ දෙපස අම්බලම්, පැන් පොකුණු ඉදිකිරීමෙන් ද පින් තාලි තැබීමෙන් ද, ආහාරපාන
ලබා දීමෙන් ද අනුග්‍රහ කර ඇති අයුරු ඓතිහාසික සාධක මගින් සනාථ වේ. පැරැණි බෞද්ධයෝ
තම මුතුන් මිත්තන් පවත්වාගෙන ආ දන්වැට ඉදිරියටත් ගෙන ගියහ. වසරකට වරක් මිය ගිය මව්
දෙමවුපියන් සිහිකොට දන් පැන් පුදා ඔවුන් ට පින් අනුමෝදන් කළ හ. පේත කථාවෙහි එන
පරිද්දෙන් සැදැහැති බමුණා පවත්වාගෙන ආ දන්වැට බැමිණිය විසින් වැළැක් වූවා ය.
දන් නොදීම පමණක් නොව ප්‍රතිග්‍රාහකයා ට ද පරුෂ වචනයෙන් නින්දා කළා ය. එම අකුශල
කර්මයට අනුරූප විපාක වශයෙන් ප්‍රේතියක් ව අපමණ දුක් වින්දා ය. සම ශ්‍රද්ධා, ශීල,
සුත, චාග, පඤ්ඤා යන පංචවිධ අධ්‍යාත්මික ගුණයන්ගෙන් හෙබි යුවතිපතීන්ගේ එකතුව සාර්ථක
පවුල් දිවියක් ගෙවීමට හේතුවන බව ධර්මයේ දැක්වේ. කථාවෙහි එන බමුණාතුළ උක්ත සත් ගුණ
පිහිටියේ මුත් බැමිණිය එම ගුණයන්ගෙන් හීන තැනැත්තියක් වූවා ය. එනිසා ඇය තම
ස්වාමියාගේ දන් වැට වැළක් වීමට කටයුතු කළා ය.
ස්වාමියා දානයට හා පරිත්‍යාගයට ලැදි අයෙකු වුව බිරිඳ එවැනි තැනැත්තියක් නොවන පවුල්
මෙන් ම බිරිඳ දනට පිනට ලැදි කෙනෙකු වුවත් ස්වාමියා එයට රුචි නොකරන පවුල් ද දක්නට
ලැබේ. මෙම නොගැලපීම එක් අතකින් පවුල් අර්බුද ඇතිවීමට ද හේතුවක් වී තිබේ. අඹු
සැමියන් එක්ව කතිකාකොට ඔවුනොවුන්ට උපකාර වෙමින් පින් දහම්හී නිරත වීම මතු සසරෙත්
එකිනෙකා හමුවීමට හේතුවක් වන බව නකුල මාතා හා නකුල පිතා යන දෙදෙනා අමතා කළ
දේශනාවකින් සනාථ වේ. ගිහියන් පමණක් නොව පැවිද්දන් විසින් ද තම මියගිය ඤාතීන්
වෙනුවෙන් දන් පැන් පිදිය යුතු බව මෙම කථාවෙන් ප්‍රකට වේ.
ආත්ම පන්සියයකට පෙර සැරියුත් මහරහතන් වහන්සේට මව් වී සිටි ප්‍රේතිය එම ඤාතිත්වය
අනුව උන්වහන්සේ අභියස පෙනී සිටියා ය. අනන්ත සංසාරයේ එැවැනි දෑ කොතෙකුත් සිදුවිය
හැකි ය. එබැවින් ගිහි වුව ද පැවිදි වුව ද ඤාති ප්‍රේතයන්ට පින් අනුමෝදන් කෙරෙන
දන්වැට හැකි පමණින් අඛණ්ඩ ව පැවැත්විය යුතුවේ. එය තමාගේ ද අන්‍යයන්ගේ ද දෙලොව
සුගතිය පිණිස හේතුවේ. |