UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පින් වැඩෙන බෝධි වන්දනාව 02

පින් වැඩෙන බෝධි වන්දනාව 02

බෝධින් වහන්සේ අපගේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදීත්, පිරිනිවීමෙන් පසුවත් එකසේ ම පූජනීයත්වයට පත් වූ මහා වෘක්ෂරාජයාණෝ ය. අපිට ඇතිවන බොහෝ කායික, මානසික පීඩාවලදී බෝ සෙවණේ සිට දුක කියන්නෙමු. සුවය පතා ප්‍රාර්ථනා කරන්නෙමු. එනිසා ම පින වැඩෙන ආකාරයට බෝධි වන්දනාවක් කරන ආකාරය ඉකුත් පසළොස්වක දා සිට බුදුසරණ සතර පෝදාම පළ කරමු. ශ්‍රී මහා බෝධින් වහන්සේගේ තේජානුභාවයෙන් ඔබට සෙත් වේවා.

බුදු ගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේ පුදමු

ස්වාමිනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේ සියලු ලෝ වැසියන්ගේ ආමිස පූජා, ප්‍රතිපත්ති පූජා සත්කාරයන් පිළි ගැනීමට අතිශයින් ම සුදුසු වන හෙයින් අරහත් නම් වන සේක.

ස්වාමිනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්ස,ඔබ වහන්සේ චතුරාර්ය සත්‍ය ඇතුළු සියලු ධර්මයන් පරෝපදේශ රහිතව ම ඔබ වහන්සේගේ විශිෂ්ට ඤාණයෙන් ම මනා කොට දැනගත් හෙයින්, සම්මා සම්බුද්ධ නම් වන සේක.

ස්වාමිනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේ සියලු ආර්ය විද්‍යාවන්ගෙන් සහ පසළොස්චරණ ධර්මයන්ගෙන් සමන්විත වූ හෙයින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

ස්වාමිනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේ හිතකර දෙසුම් හා යහපත් ගති ඇතිව මැදුම් පිළිවෙතින් පරම සුන්දර වූ නිවනට සපැමිණි හෙයින් සුගත නම් වන සේක.

ස්වාමිනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේ සම්මුති හා පරමාර්ථ වශයෙන් සියලු ලෝක ධාතුව ම නිරවශේෂයෙන් ම දැන වදාළ හෙයින් ලෝකවිදූ නම් වන සේක.

ස්වාමිනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේ දමනය කළ නොහැකි වූවන් දමනය කර සුමගට යොමු කිරීමෙහි අන් හැමට වඩා අග්‍ර වූ හෙයින් අනුත්තර පුරිසදම්ම සාරථි නම් වන සේක.

ස්වාමිනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේ දෙව් මිනිසුනට මෙලොව පරලොව යහපතටත්, නිර්වාණ ශාන්තිය උදෙසාත් අනුශාසනා කළ හෙයින් සත්ථා දේවමනුස්සානං වන සේක.

ස්වාමිනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේ ඒ චතුරාර්ය සත්‍ය ධර්මය සෙසු දෙවි මිනිසුනට ද අවබෝධ කරවා බොහෝ සත්ත්වයන් දුකෙන් මුදවාලූ හෙයින්ද, නිවනට පැමිණ වූ හෙයින් ද බුද්ධ නම් වන සේක.

ස්වාමිනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේ මනුෂ්‍ය, දේව, බ්‍රහ්ම යන ලෝකත්‍රයෙහි සැම දෙනා අතර උත්තම වන හෙයින්ද, ඒ සැමගේ අප්‍රමාණ ගෞරවයට සුදුසු හෙයින් ද, භගවා නම් වන සේක.

මෙසේ අනන්ත වූ, අප්‍රමාණ ගුණ ඇත්තා වූ තෛ‍්‍රලෝක තිලක වූ, දෙවියනට දෙවි වූ, මොහඳුරට ළහිරු මඬලක් වූ, කෙලෙස් ගින්නට මහා මේඝයක් වූ, ගමනින් ශාන්ත වූ, පැවැත්මෙන් සංවර වූ, අනාථ නාථ වූ, අසරණ සරණ වූ, කරුණා නිධාන වූ මට ම ස්වාමි වූ, මගේ ම බුදු මෑණියන් වූ, මගේ ම බුදුපියාණන් වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේ මා ඉදිරියේ ජීවමානව ම වැඩ හිඳිනා සේ සිතා ඔබ වහන්සේ උදෙසා ඉතා ශ්‍රද්ධා ගෞරව සහිතව මා විසින් පිරිසුදුව පිළියෙල කරන ලද

මෙම පහන් ආලෝක පූජා කරමි – පුජා වේවා

මෙම සුවඳ දුම් පූජා කරමි – පුජා වේවා

මෙම සුවඳ මල් පූජා කරමි – පුජා වේවා

මෙම සිසිල් පැන් පූජා කරමි – පුජා වේවා

මෙම කිරි ආහාර දානය පූජා කරමි – පුජා වේවා

මෙම දැහැත් පූජා කරමි – පුජා වේවා

මෙම බෙහෙත් පූජා කරමි – පුජා වේවා

මෙම ගිලන්පස පූජා කරමි – පුජා වේවා

මෙම සියලු ම පූජාවෝ ගෞරවාදරයෙන්, අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් පූජා කරමි. පූජාවේවා, පූජා වේවා, පූජා ම වේවා!

අප කෙරෙහි අනුකම්පාවෙන් ම මේ සියලු ම පූජාවන් පිළිගන්නා සේක්වා! පිළිගන්නා සේක්වා!! පිළිගන්නා සේක්වා!!!

අතීතයේ බුදු ව වැඩ සිටි, මෙකල බුදු බව ලැබූ, මතු බුදු බව ලබන සියලු බුදුරජාණන් වහන්සේලා මම හැම කල්හි ම වන්දනා කරන්නෙමි.

මට බුදුරජාණන් වහන්සේ හැර අන් පිහිටක් නැත. බුදුරජාණන් වහන්සේ මගේ උතුම් පිහිට වේ. ඒ සත්‍ය වචනයේ බලයෙන් මට ජය මංගලයක් ම වේවා! ඒ උතුම් වූ බුදුරජාණන් වහන්සේගේ සිරිපා දූවිල්ලට ද මාගේ හිස නමා වඳිමි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි මා අතින් සිදු වූ වරදක් වී නම්, එයට මට සමාව දෙන සේක්වා! ඒකාන්තයෙන් ම බුදුගුණ අනන්ත යි. බුදු ගුණ විද්‍යාමන යි. බුදුගුණ සත්‍යයි/// සංසාර දුකින් අත මිදී නිර්වාණ ශාන්තිය උදෙසා ම ඒ උතුම් වූ බුදු රුවන සරණ යමි///

 

 නවම් අව අටවක පෝය


 නවම් අව අටවක පෝය පෙබරවාරි 7 වනදා බදාදා පූර්ව භාග 8.48 ට ලබයි. 8 වනදා බ්‍රහස්පතින්දා පූර්වභාග 10.16 දක්වා පෝය පවතී සිල් සමාදන්වීම පෙබරවාරි 7 වනදා බදාදාය.

 

මීළඟ පෝය පෙබරවාරි 15 වන දා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 07

Full Moonඅමාවක

පෙබරවාරි 15

First Quarterපුර අටවක

පෙබරවාරි 23

Full Moonපසෙලාස්වක

මාර්තු 01


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]