Print this Article


ධර්මාවබෝධය ලබන්නෝ

ධර්මාවබෝධය ලබන්නෝ

ආර්ය පර්යේෂණ සූත්‍රය

බුදුරජාණන් වහන්සේ විසින්, තමන් වහන්සේ සත්ත්වයන් පිළිබඳව දුටු ආකාරය පිළිබඳව උපමාවකින් දේශනා කරනු ලැබූහ. ‘නෙළුම් විලක බොහෝ පියුම් වෙති. සමහර විට ජලයෙහි ගිලී දියෙන් උඩට නො නැගී පවතී. තවත් සමහර විට මඩෙහි නො තැවරී පිපී ජලයෙන් උඩට නැඟී බබළති.

ඒ ආකාරයෙන් මේ ධර්මය පහසුවෙන් අවබෝධ කළ නොහැකි අය වෙති. පහසුවෙන් අවබෝධ කළ හැකි සත්ත්වයන් ද වෙති’යි උන්වහන්සේ දේශනා කළ සේක.

ඉන් අදහස් වන්නේ ලෝකයේ කෙලෙස් වැඩි පුද්ගලයන් ඇති බව ය. තියුණු ඉන්ද්‍රියන් නැති, පරලොව පිළිබඳව විශ්වාසයක් නැති අය ඇති බව ය. පව් පින් පිළිබඳව විශ්වාසයක් නැති, පුද්ගලයන් ඇති බව ය. පරලොව පිළිබඳව අවබෝධයක් ඇති, කෙලෙස් බිය ඇති. ධර්මය පහසුවෙන් අවබෝධ කරගත හැකි අය ද සිටිති.

බුදුරජාණන් වහන්සේ විසින් සහම්පතී බ්‍රහ්මයාට

‘අපාරුතා තේසං අමතස්ස ද්වාරා

යෙ සෝතවන්තෝ පමුඤ්චන්ත්‍ර සද්ධං’ යන ගාථාවෙන් මේ ආකාරයෙන් පිළිතුරු දුන් බව මෙසේ දේශනා කළ සේක.

“යම් කෙනෙකු ට කන් ඇත්තේ නම්, ඔවුහු දැන් ශ්‍රද්ධාව මුදාහරිත්වා. ඔවුුන් ට නිවන් දොර මා විසින් විවෘත කරන ලද්දේ ය”. බ්‍රහ්මය මට වෙහෙසකි යන කල්පනා ඇත්තෙමි. ප්‍රගුණ වූ උතුම් ධර්මය මිනිසුන් කෙරෙහි නො දේශිතය.

මෙහි පළමු දහම් පෙළ ඉතා වැදගත් ආරාධනාවකි. එනම් යම් කෙනෙකුට කන් ඇත්තේ නම්, ඔහු දැන් සිටම තම ශ්‍රද්ධාව මුදා හැර මා විසින් විවෘත කරන ලද මේ නිවන් දොරින් ඇතුළුව කෙලෙසුන්ගෙන් නිදහස්ව ලබන සසර දුකින් නිදහස්වන අමා නිවනින් සැනසේවා යන ආරාධනාවයි.

එනම් අනන්ත සසරේ අපමණ වූ දුක්විඳ අපහසුවෙන් ලද මේ උතුම් වූ මනුෂ්‍ය ජීවිතයෙහි අපට බුදු උතුමෙක් හමු වී ඇත. මෙවැනි දුර්ලභ වූ මනුෂ්‍ය ජීවිතයක් ලබා තිබෙද්දීත්, ඇස්, කන්, ආදී ඉන්ද්‍රියන් මනාකෙට පිහිටා තිබියදී ත්, ධර්මය අවබෝධ කරගන්න තරම් සිතක් සකස් වී ඇති නමුත්, ධර්මය අවබෝධ නො කරගන්නේ නම් එය ලැබූ මනුෂ්‍ය ජීවිතයට කරන අවමානයකි. අභාග්‍යයකි. ඒ නිසා කන් ඇත්තෝ මේ දහම අසත්වා යන අදහසින් දුර්ලබව ලබාගත් මනුෂ්‍ය ජීවිතයෙන් ප්‍රයෝජන ගන්නට නම් විවෘත කරන ලද නිවන් දොරින් ඇතුළුව ඒ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයට ඉදිරිපත් වෙන්න යන අදහස යි. ඒ ආරාධනාව බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පා අවුරුදු දෙදහස් පන්සිය හැටක් ඉකුත්වූව ද ඔබටත්, අපටත් නොවේදැයි නුවණින් යුක්තව සිහිපත් කරමු.

තථාගත බුදුරජාණන් වහන්සේ වර්තමානයේ ජීවමානව වැඩ නොසිටියත් ඇස් පෙනෙන අපට චක්ඛු ප්‍රසාදය මුදාහැර දහම් ඇස පහළ කරගත හැකි වන්නේ ය. කන් ඇසෙන අපට ශෝත ප්‍රසාදය මුදාහැර ඒ උතුම් ශ්‍රී සද්ධර්මය අසා සිතේ ධාරණය කොට නුවණින් විමසා බලා එහි ගුණය සිතට ඇතුලුකොට ධර්මයෙන් සැනසිය හැකි වන්නේ ය. නාසයත්, දිවත්, ශරීරයත්, සිතත් ඇති අප ප්‍රසාද ධර්ම දියුණුකොටගෙන ම මේ සම්බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජන ගත යුතු බව මේ දහම් කතාවෙන් නො පවසන්නේ ද?

ඉක්බිති සහම්පතී මහා බ්‍රහ්මයා භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්ම දේශනාවට කරන ලද අවකාශ ඇත්තෙක් වෙමියි මා වැඳ ප්‍රදක්ෂිණා කොට එහි අතුරුදහන් විය.

භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්ම දේශනා කරන්නට තීරණය කළා යැයි, සිතා ගත් සහම්පතී මහා බ්‍රහ්මයා එතැනින් බැහැර වූ බව ඉන් අදහස් වේ.

මහණෙනි, මට මෙවැනි අදහසක් ඇති විය. ඒ කුමක් ද? මම පළමුකොට කවරෙකුට දහම් දෙසන්නෙම් ද? කවරෙක් වහා මේ ධර්මය අවබෝධ කරන්නෙහි ද? එවැනි සිතිවිල්ලක් මා සිතේ ඇතිවිය. මට මේ සිත් විය. මේ ආලාරකාලාම තෙමේ පණ්ඩිතයි. ව්‍යක්තයි. නුවණැතියි. බොහෝ කලක් අල්ප කෙලෙස් ස්වභාව ඇතිව සිටින්නේ ය. මම ආලාරකාලාම තවුසාට පළමු කොට දහම් දෙසන්නේ නම් මැනවි.

හෙතෙම මේ ධර්ම වහා ම දැන ගන්නේ යැයි කියා මට සිතිවිලි පහළ විය. අනතුරුව දෙවියෙක් මා වෙත පැමිණ මෙසේ සඳහන් කළේ ය. භාග්‍යවතුන් වහන්ස, ආලාරකාලාම තෙමේ මින් දින හතකට පෙරාතුව කළුරිය කළේ ය. ආලාරකාලාම තෙමේ මින් සත්දිනකට පෙර කාල ක්‍රියා කළේය යන ඤාණ දර්ශනය මට ද පහළ විය. එනම් භාග්‍යවතුන් වහන්සේත් ඒ නුවණින් දුටු බවයි.

ආලාරකාලාම තෙමේ මහත් පිරිහීම් ඇත්තෙක් විය. ඔහු මේ ධර්මය ඇසුවේ නම් වහාම දැන ගන්නේ ය. එනම් මාර්ගඵල ලබාගන්නේ ය යන අදහසයි.