මෝහය හා සහජීවනය:
වේගයෙන් විකිණෙන දුක
කොළඹ මහානාම විද්‍යාලයේ
ආචාර්ය
කොලොන්නාව
පුරාණ විහාරවාසී
සියඹලාගොඩ
ධම්මින්ද හිමි
"එකිනෙකා සමඟ ගැටෙමින් සම්මුතික දෑ මගේ යන හැඟීමෙන් අල්ලා ගැනීමේ බරපතලම අලාභය
අනන්ත සසර කෙළවරක් නැති ගමන යි. එසේම උප උපන් භවයන් තුළ අනෙකාට අසහනය, පීඩනය අපහසුව
ඇති කරමින් කටයුතු කරයි. සසර ගමන දිගුවීමට ද බලපානු ලබන්නේ මෙම අවිද්‍යා මූල ධර්මය
යි. ඒ බව අංග දොළහකින් යුතු පටිච්චසමුප්පාද චක්‍රයෙන් මනාව
පැහැදිලි වේ.
"
මෝහය නම් නො දැනීමය. එය බොහෝ ගැටුම් ප්‍රශ්න සඳහා මූලය වන්නේ ය. ධර්මානුකූලව
අවිද්‍යාව ලෙස මෙය ගැඹුරින් විස්තර වේ. සාමූහිකව යහපත් ව පැවතීමට ඇති ප්‍රධානතම
බාධාව මිනිසුන්තුළ පවතින මෝහය යි. මෝහය මෝඩකම ඉහවහාගිය තැන කෙන්ද කන්ද වී කන්ද
කෙන්ද වේ. මේ නිසා ම අනවශ්‍ය ගැටුම් කල කෝලාහල සිත් බිඳීම් අනන්තවත් ව සිදු වේ.
සම්මුතික දෑ පරමාර්ථ ලෙස ගැනීම දහමට අනුව, අවිද්‍යාව හෙවත් නොදැනීම යි. බුදුදහම
අත්ත ශබ්දය පාවිච්චි කරනු ලබනුයේ සදාකාලික අර්ථයෙන් නොවේ. තමන්ගෙකම් අනුන්ගෙකම්
තාවකාලික ය. මෝහයෙන් මුලා වූවන් මේ තත්ත්වය තේරුම් ගන්නේ නැත. පංචස්කන්ධය ආත්ම
වශයෙන් ගැනීම මත බොහෝ ගැටුම් ඇතිවී සමාජ සාමය බිඳ වැටේ. මගේ දරුවන්, බිරිඳ, දේපළ,
ඥාති පාට පක්ෂ ලෙස යමක් මගේ, මගේ ලෙස ගැනීම තුළ අනෙකා පිළිබඳ අනෙක් වස්තූන් පිළිබඳ
ලෙන්ගතුකම් නැතිවී යයි. එහිදී තමා සතු දේ රැක ගැනීමට, දියුණුකර ගැනීමට ප්‍රාණඝාතය,
බොරුව, කේළම, පරුෂ වචනය වැනි බුදුදහම බැහැර කරන ලද ක්‍රියාවන්ට පෙළඹීම සිදුවේ. එසේ
සිදුවනුයේ මෝහය නිසාවෙනි.
අවිද්‍යාව ඇතිවීම සඳහා උගත් නූගත්, ජාති ආගම් ගිහි පැවිදි භේදයක් අදාළ නොවේ. එසේ ම
ඇති වී ඇති අවිද්‍යාව නැතිකර ගැනීම සඳහා ද ඉහත ස්වභාවයන් එකහා සමාන ය. කාට කොතනක
මෙම මෝහය ඇති වී දියුණු වුව ද එයින් සිදුවන හානිය සමස්ත සමාජයටම මහත් බලපෑමක් සිදු
කරනු ලබයි.
එකිනෙකා සමඟ ගැටෙමින් සම්මුතික දෑ මගේ යන හැඟීමෙන් අල්ලා ගැනීමේ බරපතලම අලාභය අනන්ත
සසර කෙළවරක් නැති ගමන යි. එසේම උප උපන් භවයන් තුළ අනෙකාට අසහනය, පීඩනය අපහසුව ඇති
කරමින් කටයුතු කරයි. සසර ගමන දිගුවීමට ද බලපානු ලබන්නේ මෙම අවිද්‍යා මූල ධර්මය යි.
ඒ බව අංග දොළහකින් යුතු පටිච්චසමුප්පාද චක්‍රයෙන් මනාව පැහැදිලි වේ.
අවිද්‍යාව නිසාවෙන් සංස්කාරයන් හට ගනී. සංස්කාර හේතුවීම තුළ විඥානයත් ඒ තුළ නාම රූප
ඇතිවීම සිදු වේ. නාමරූප තුළින් ආයතන හය ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස නිර්මාණය වේ.
ආයතන තුළින් ස්පර්ෂය ඇති වේ. ඇසට රූප කනට ශබ්ද වශයෙනි. ස්පර්ශය තුළින් සැප, දුක හෝ
අතරමැද වේදනාවන් හට ගැනීම සාමාන්‍යය වේ. මෙහිදී සැපවේදනා නැවත නැවත ලැබීම පිළිබඳ
ආශාව කැමැත්ත හෙවත් තෘෂ්ණාව ඇතිවේ. එය තදින් වැළඳ ගැනීමට යා නොදී මමත්වයෙන් රැක
ගැනීම උපාදානය වේ. මේ නිසා භවය ජාතිය හටගැනීම සිදුවේ. එහි නියත ඵලය ලෙස ඉපදුන
සත්වයාට උරුම වූ ජරාව, මරණය, ශෝකය, දුක් දොම්නස් උපාදාන වැනි දුක්ඛයන් පහළ වේ. මේ
සියල්ලටම මූලය මෝහය හෙවත් අවිද්‍යාව යි.
ජාති, ආගම්, කුල පරම්පරා පක්ෂ, පාට මේ සියල්ල උපතින් පසු තමන් නියෝජනය කරන සමාජ පසු
තළයත් සමඟ ඇති වූ කාරණාවන් ය. බොහෝ මිනිසුන්ට මේ තත්ත්වය තේරුම් ගැනීමට නොහැකිව මං
මුළා වීම්වලට ලක්ව පටු මිනිසුන්ගේ ඇතැම් බසකට රැවටී දෙලොව මහත් ව්‍යසනයන් ඇති කර
ගනී. මේ තුළ ආගමික, සංස්කෘතික දේශපාලනික මහත් කෝලාහලයන් නිර්මාණය වේ. ලේ රත්වන දෑ
පවසමින් බුද්ධිය වෙහෙස කිරීමෙන් තොරව ඇතමුන් කටයුතු කරනුයේ අවිද්‍යාව නිසාවෙනි.
අවිද්‍යාව තුළ තම අභිමතයන්ට අනුව අනෙකාට යහපත් ජීවිත ගත කිරීමට මග ඇහිරී යනු ඇත.
සාමකාමී නිදහස් යහපත් ජීවිතයක් අවශ්‍ය වන්නේ රටක එක් ජාතියකට එක් වර්ගයකට පමණක්
නොවේ. ඉතාම කෙටියෙන් පැවසුවහොත් තිරිසන් සතුන්ට ද මේ අවස්ථාව හිමිවීම වැදගත් ය. එසේ
නොවන්නේ නම් එය මහත් අභාග්‍ය සම්පන්න තත්ත්වයකි. අවිද්‍යාව මෝහය නිසා මිනිසාගේ
පමණක් නොව තිරිසනාගේ නිදහස් පැවැත්මට මහත් තර්ජනයක් එල්ලවී ඇත. වාලම්පුරි ඇත්දළ,
ගජමුතු, සෙමර, වලිග, කස්තුරි, මොණර පිහාටු, සුදු කැස්බෑවන් වැනි සතුන් සහ සත්ව
සිහිපත් කිරීමේ දී මේ තත්ත්වය හඳුනාගැනීම ඉතා පහසු ය. ගිහි, පැවිදි භේදයකින් තොරව
දැනුවත්ව හෝ, නොදැනුවත්ව ඇතැම් ගිහියන් හා පැවිද්දන් මේ සඳහා සමාජය පොළඹවන ආකාරය අද
අපට ඇසීමට දැකීමට හැකියාව ඇත. එය ඉතා ශෝචනීය තත්ත්වයකි.
යමෙකු විසින්, කරනු ලබන ක්‍රියාවක් තවකෙනකුට හානි පිණිස පවතින්නේ නම් එය පවකි.
අවිද්‍යාව මෝහය තුළ සිදුවනයේ පව් රැස්කර ගැනීමකි. පින් නිසා සසර සැප ලැබෙන්නේ නම්
පව් නිසා සසර දුක් ලැබේ.
අවිද්‍යාව මෝහය තුළ විවිධ මිථ්‍යා විශ්වාසයන් මත පිහිටා සමගිය සාමය මිනිස් සබඳතා
පළුදුවන ආකාරයට හැසිරේ. හදි හූනියම්, අවලාද, වස්කවි, සාප කිරීම් එහි ප්‍රතිඵලයන් ය.
ඇතැම් අඥාන මිනිසුන් වංචනික මිනිසුන්ගේ බසට රැවටී තම ඥාති හිතවතුන් සමඟ අනවශ්‍ය
ගැටුම් නිර්මාණය කර ගනී. එබඳු දෑ ගී තිබිය දී සිදුකරන පිරිස්වලට තම තමන්ගේ ගැටලු
පවා විසඳා ගත නොහැකිව පීඩා විඳිති. එවන් පසුබිමක් අන්‍ය ගැටලු විසඳාලීමට කතාබහ මහ
ඉහළින් සිදුකරනු ලබයි.
මේ ලෝකයෙහි ඉතා ඉක්මනින් ම විකිණිය හැක්කේ දුකයි. එහෙයින් ඇතමුන් ඉතා පහසුවෙන් ඒ
සඳහා විවිධ උපක්‍රම භාවිත කරනු ලබයි. කලදී එය ‘ලාපින් බුද්ධ’ ලෙස ද තව කලකදී ‘හක්
ගෙඩි, සංඛ, වාලම්පුරි’ ලෙස ද සමාජගත වෙයි. මිනිසුන්ගේ ශක්තිය හීන කොට දුර්වල සිත්
සහිත මිනිසුන් තවත් දුර්වලකොට පවුල් ප්‍රශ්න පවා නිර්මාණය වීම සඳහා මෙය මහත් සේ
බලපෑම් සිදුකරනු ලබයි. මේ නිසා නැති වී යනුයේ සමාජ සංවර්ධනය සාමය සමගිය නිදහසයි.
එසේ වනුයේ මිනිස් මනසේ ඇති මෝහය හෙවත් අවිද්‍යාව නිසාවෙනි. මෙයින් අත් මිදෙන්නේ නම්
සාමකාමී සංවර්ධිත සමාජයක් නිර්මාණය කරගත හැකි ය. |