Print this Article


මහර විහාරාධිපති සංගමයෙන් යතිවර ප්‍රණාම

මහර විහාරාධිපති සංගමයෙන් යතිවර ප්‍රණාම

පූජා අභිනන්දන ප්‍රසාදනී උළෙලක්

මහර විහාරාධිපති සංගමය මගින් කඩවත සූරිගම ශ්‍රී නාගාර්ජුන පිරිවෙන් විහාරස්ථානයේ දී පසුගියදා ‘යතිවර ප්‍රණාම පූජා අභිනන්දන ප්‍රසාදනී” වාර්ෂික උපහාර උළෙලක් පැවැත්විණි.

එම උපහාර උළෙල මහර විහාරාධිපති සංගමයේ සභාපති රන්මුතුගල මහා විහාරාධිපති සීලගම විමල නා හිමියන්ගේ මූලාසනයෙන් පැවැත්විණි.

ලෝක ශාසනික හා ආගමික කටයුතු සඳහා දිවා රාත්‍රී කටයුතු කරන ප්‍රදේශයේ මහ සඟරුවනටත්, ගිහි විද්වත් පිරිසකටත් යතිවර ප්‍රණාම පූජා පුදකිරීම හා රෝද පුටු පරිත්‍යාග කිරිමේ අරමුණින් එම උත්සවය සංවිධානය කර තිබිණි.

මහර විහාරාධිපති සංගමය පසුගිය වසරේ දී යතිවර ප්‍රණාම පූජා අභිනන්දන ප්‍රසාදනී උපහාර උළෙල ආරම්භ කළහ.

මේ වසරේ දී තෝරාගත් එක් ස්වාමීන් වහන්සේ නමකට යතිවර ප්‍රණාම පූජා පුද කළ අතර ප්‍රථම වරට මේ වසරේ ගිහි සම්මාන ප්‍රදානය ද සිදුකෙරිණි. තෝරාගත් ගිහි පින්වතුන් 19 ක් උපහාර ලැබූහ.

සූරිගම ශ්‍රී නාගාර්ජුන පිරිවෙන් විහාරාධිපති හා පිරිවෙන් අධ්‍යක්ෂ සියනෑ අලුත්කුරු දෙකෝරළයේ උපප්‍රධාන සංඝනායක මහර විහාරාධිපති සංගමයේ නියෝජ්‍ය සභාපති පරකන්දෙණියේ ආර්ය ශ්‍රී මනෝරථ නාහිමියන් සහ සීලගම විමල නාහිමියෝ ද එහිදී අනුශාසනා පැවැත්වූහ.

මෙවර යතිවර ප්‍රණාම පූජා අභිනන්දන ප්‍රසාදනී උපහාර ලබන ලද්දේ රන්මුතුගල පුණ්‍යාලංකාර පුරාණ විහාරය, වෑත්තෑව ගල්ලෙන් විහාරය යන උභය විහාරාධිපති, සූරිගම නාගාර්ජුන පිරිවෙනේ සම්මාන පරිවේණාධිපති, සියනෑ අලුත්කූරු දෙ කෝරළයේ ප්‍රධාන සංඝනායක, මහර විහාරාධිපති සංගමයේ අනුශාසක සහ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි ගිරාකඩුවේ ශ්‍රී සද්ධාතිස්ස නාහිමිපාණන් වහන්සේ ය. ඊට අමතරව ඒ ඒ ප්‍රදේශවල විහාරාධිපති ස්වාමීන්වහන්සේගේ අනුදැනුම පරිදි ගිහි පින්වතුන් පිරිසක් ද නම් කරන්නට යෙදිණි. වෛද්‍ය හර්ෂ ධර්ම විජයරත්න , වෛද්‍ය බුද්ධික දේදල්ගොඩ , විල්බට් ජයකොඩි, ඩී.ඒ. ලෝරන්ස් අප්පුහාමි, ලෝකුගේ නිහාල්, ගලබඩ ගාමිණී විමල් ජයරත්න, ටී.බී. අබේකෝන්, මංජුල අබේසිංහ , ජේ,වැලිවිට, ඩැනී සිරිවර්ධන, වීරප්පෙරුමගේ ගුණපාල, ටී.ඒ,ඩී, රණතුංග යන මහත්වරුන් සහ පී‍්‍රති සමරකෝන් පෙරේරා, එරින් විජේතුංග , සුමනාවතී කුලතිලක, කුසුම් සෙනෙවිරත්න, දයාවතී කැකුලාවල, ඩාර්ලින් නෝනා යන මහත්මීහු උපහාර ලැබූහ.

එහිදී ගිරාකඩුවේ සද්ධාතිස්ස නාහිමියන් වෙත ගෞරව ප්‍රණාම සන්නස් පත්‍රය පිළිගැන්වූයේ මහර විහාරාධිපති සංගමයේ ප්‍රධාන සභාපති රන්මුතුගල මහා විහාරාධිපති නෙළුම්වැස්ස පදනමේ විධායක අධ්‍යක්ෂ සීලගම විමල නා හිමියන් විසිනි. උන්වහන්සේට විශේෂ තිළිණ ප්‍රදානය සිදු කරනු ලැබුවේ විහාරාධිපති සංගමයේ ලේඛකාධිකාරි කැන්දලියැද්දපාළුවේ සිරිනන්ද හිමියන් විසිනි. සම්මානලාභී ගිහි පින්වතුන් වැඩමකර සිටි මහා සංඝරත්නය අතින් යතිවර ප්‍රණාම පූජා සහතිකපත් , බුදු පිළිම සහ පිරිත් නූල් ලබාගන්නා ලදී. ගිහි පින්වතුන් දහනව දෙනා සඳහා බුදු පිළිම පරිත්‍යාග කරන ලද්දේ සූරිගම ශ්‍රී නාගාර්ජුන පිරිවෙන් විහාරාධිපති පරකන්දෙණියේ මනෝරථ නා හිමියන් විසිනි.

වාර්ෂිකව සිදු කෙරෙන එම පින්කමේදී ඒ ඒ විහාරස්ථාන සඳහා රෝද පුටු පරිත්‍යාග කෙරේ. මෙවර රෝදපුටු පරිත්‍යාග කරන ලද්දේ නෙළුම්වැස්ස සමාජ සංවර්ධන පදනම් මගිනි. සීලගම විමල නා හිමියන් විසින් තලාකොලවැවේ ධම්මරතන නා හිමියන්ට සංකේතාත්මකව රෝදපුටු පිරිනැමිණි.

අනතුරුව විහාරාධිපති සංගමයේ සාමාජිකත්වය දරන විහාරස්ථාන 25 ක් සඳහා රෝද පුටු දෙක බැගින් ලබාදීමට කටයුතු සූදානම් කර ඇත.

එම උත්සව සභාව මෙහෙයවනු ලැබුවේ ගල්කිස්සේ ධම්මිස්සර සහ මහර විහාරාධිපති සංගමයේ ලේඛකාධිකාරි කැන්දලියැද්දපාළුවේ සිරිනන්ද හිමියන් විසිනි. පුණ්‍යාමෝදනාව සිදුකරන ලද්දේ කැන්දලියැද්දපාළුවේ සිරිනන්ද හිමියන් විසිනි. එම අවස්ථාවට බටේපොළ නාගෙන්ද්‍රරාමාධිපති තලාකොලවැවේ ධම්මරතන මාහිමි , නැලිගම ශී‍්‍ර ශෛලාසන්නාරාමාධිපති මාකුරේ පියනන්ද , නුගවෙල ශී‍්‍ර ධර්මනේද්‍ර රාමාධිපති වයඹ පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක මහර විහාරාධිපති සංගමයේ ප්‍රධාන ලේඛකාධිකාරි කැන්දලියැද්දපාළුවේ සිරිනන්ද නාහිමි,ගල්වල හන්දියේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති වාදුරුප්පුවේ නාගිත හිමි, කිරිල්ලවල ශ්‍රී පුෂ්පාරාමාධිපති , ඕනැල්ගම නන්දරතන හිමි,රදාවෙල මහින්ද හිමි ප්‍රධාන මහා සංඝ රත්නය ඇතුළු ගිහිපැවිදි විශාල පිරිසක් සහභාගි වූහ.