Print this Article


සදහම් අරණ

සදහම් අරණ නිර්මාණ තරගයේ ප්‍රතිපල

සදහම් අරණ ළමා සමාජයේ දූ දරුවනි, කාණ්ඩ තුනක් යටතේ ඔබ වෙනුවෙන් පුරා මාස දෙකක් ගද්‍ය, පද්‍ය තරගාවලියක් පැවැත්විණි. බොහෝ දරුවන් අපට හරබර, නිර්මාණාත්මක නිර්මාණ එවා තිබුණි. එම කාණ්ඩ තුන යටතේ තෝරා ගත් දෙවන ජයග්‍රාහක දරුවන්ගේ නම් සහ නිර්මාණ අද දින පළ කෙරේ. ඒ ජයග්‍රාහකයන්ට අදාළ ත්‍යාග ඉදිරියේ දී ලැබීමට සලස්වමු. තෙවැනි ජයග්‍රාහකයන්ගේ නිර්මාණ අමාවක බුදුසරණ කලාපයන්හි පළ කෙරේ. මෙතැන් සිට කැමැති මාතෘකාවක් යටතේ ‘සදහම් අරණට’ ඔබගේ නිර්මාණ එවිය හැකි ය.


1-4 කාණ්ඩයේ දෙවන ස්ථානය

රාහුල පොඩි හාමුදුරුවෝ

රාහුල පොඩි හාමුදුරුවෝ ඉතා කඩිසර ය. ප්‍රබෝධමත් ය. නිහතමානී, ගුණගරුක, රාහුල පොඩි හාමුදුරුවෝ දිනපතා ම හිමිදිරියේ අවදි වී සියලු වතාවත් අවසන් කර මිදුල ඇමදීමට පෙර මිදුලේ ඇති වැලි අහුරක් ගෙන උඩ දමා “මේ වැලි කැට ගණනට අද දින මට අවවාද ලැබේවා” කියා ප්‍රාර්ථනා කරති. පුංචි හාමුදුරුවෝ ධර්මය ඇසීමටත්, භාවනා කිරීමටත් ඉතා කැමැතියි.

තමන්ගේ දින චර්යාව ඉතා සතුටින් කැමැත්තෙන් සිදු කරන නිසා විහාරස්ථානයේ සියල්ලෝ ම පුංචි රාහුල හාමුදුරුවන් අගය කළේ ය. ආදරය කළේ ය. පුංචි හාමුදුරුවෝ සතුටින් සැහැල්ලුවෙන් කිසිවකට නො ඇලී සිටින නිසා කිසිදු දුකක්, කරදරයක් සිත් අමනාපයක් ඇති නොවිණි. උන්වහන්සේ දානය වළඳන්නේ සතුන්ට ආහාර දීමෙන් පසුවයි. එතරම් ම සතුන්ට ආදරය , කරුණාව දැක්වූ සේක. පොඩි හාමුදුරුවෝ භාවනා කිරීමට ඉතා කැමති නිසා භාවනා කිරීමේ දී මිනිසුන්ට මෙන් ම සතුන්ටත් මෙත් සිත පැතිරවී ය.

අද සමාජයේ සමහර දරුවන් මවුපියන්, ගුරුවරුන් අවවදයක් දුන් විට ඒවා නො පිළිපදියි. නමුත් රාහුල පුංචි හාමුදුරුවෝ දෙන සියලු අවවාද පිළිගත්හ. ඒ අවවාද පිළිබඳව සිත සිතා සතුටු වුණ සේක. රාහුල පොඩි හාමුදුරුවන්ගෙන් අපට ගත හැකි ආදර්ශ බොහෝ ය. කිසිවකුට කරදරයක් නොකර ජීවත්වීමට, වැඩිහිටියන්ගේ ආදර්ශයෙන් අපේ ජීවිත ආලෝක කර ගැනීමට රාහුල පොඩි හාමුදුරුවන්ගේ ජීවිතයෙන් අපට ගත හැකි ආදර්ශයන් ය.


5-8 කාණ්ඩයේ දෙවන ස්ථානය

පන්සිල් රැකීමේ අනුසස්

පන්සිල් ආරක්ෂා කරන්නා අන් අයගේ ජීවිතය සුරකියි. ඔහු අනුන්ට හිංසා නො කරයි. එබැවින් ඝාතකයකු, හිංසකයකු ලෙස සමාජයෙන් අවමන් ලැබෙන්නේ නැත. අන් අයගේ දේපළ, සැප සම්පත් පැහැර නො ගනී. නුදුන් දේ නො ගනියි. එබැවින් ඔහු පන්සිල් ආරක්ෂා කර ගනිමින් සැපවත් ජීවිතයක් ගත කරයි.

පන්සිල් රැකීමේ අනුසස් බොහෝ ය. සිහි මුලා නොවී කලුරිය කිරීම, මරණින් මතු සුගතියෙහි ඉපදීම යන පින් රැස් වේ. පන්සිල් රකින කෙනා විශ්වාසවන්තයෙකු වේ. ඔහු බෞද්ධ ධර්මයට ළැදි පින අත්පත්කරගන්නා තැනැත්තෙකි. සිල්වත් ව, පන්සිල් සුරකින්නා සමාජයට යහපතක් මිස අයහපතක් නො කරන බැවින්, සමාජය ඔහු පි‍්‍රය කරයි. එනිසා ම ඔහුට ඕනෑම පිරිසක් මැදට නිර්බයව පිවිසිය හැකි ය. පන්සිල් සුරකින පුද්ගලයා යමක් කරන්නට පෙර මා මේ කරන දෙයින් මට යහපතක් වේ ද, අයහපතක් වේ ද යනුවෙන් විමසිලිමත් වෙයි. තමා කරන කියන දෙයින් සිය මවුපියන්ට තමා ඉගෙන ගන්නා පාසලට, සමාජයට , සංස්කෘතියට හානියක් වරදක් වනවා ද යන්න සිතා බලයි. පන්සිල් සුරකින්නා සමාජයේ පවතින සිරිත් විරිත්වලට ද, සාර ධර්මයන්ට ද ගරු කරන අතර, ඒවා රැක ගැනීමට උත්සාහ කරයි. නින්දා අපහාසවලට ලක්වන ක්‍රියාවන්ගෙන් වැළකී සිටී. යම් ක්‍රියාවකට නුවණැති අය නින්දා කරත්නම් එබඳු කුඩා වූ වරදක් පවා කිරීමට උත්සාහ නො කරයි. මෙසේ හොඳ නරක තෝරා බේරාගෙන ජීවත් වන විට සමාජයතුළ පන්සිල් රකින්නාගේ කීර්තිය පැතිරෙන්නේ ය.සිල්වත් ජීවිතයක් ගත කරන පුද්ගලයා නිරන්තරයෙන් උද්‍යෝගිමත් ය. ප්‍රමාද නොවී ක්‍රියා කරයි. අප්‍රමාදී ව ප්‍රබෝධවත් මනසින් ධනෝපායනයෙහි යෙදෙන හෙතෙම මහත් වූ ධනයක හිමිකරුවෙකු බවට පත් වේ. දුසිල්වත් ව කටයුතු කරන්නාගේ මරණාසන්න මොහොත අතිශය බියකරු ය. තමා සිදුකළ සියලු වැරැදි ඔහුට මැවී පෙනේ. මරණින් මතු අපායගාමී වන බවට පෙර නිමිති පහළ වේ. ‘චුන්ද සූකර මරණාසන්න මොහොතේ ඌරකු මෙන් කෑ ගසා දැඩි වේදනාවක් ද විඳ මිය පරලොව ගොස් අපා ගත වූ පුවත අප දන්නා කරුණකි.

පන්සිල් ආරක්ෂා කර කටයුතු කරන්නාට මරණයේ බියකරු ඇත්දැකීම් නොමැත. තමා සුගතියේ උපදින බව හෙතෙම හොඳින් දනියි. තම ජීවිතය ගැන පසුතැවිලි නො වන ඔහු මරණයට නො සැලී මුහුණ දෙයි. තමා කළ හොඳ ක්‍රියා ඔහුට සිහිවෙයි. “ධම්මික නම් උපාසකතුමාගේ මරණාසන්න මොහොතේ සුගතිය ම දැක සිහියෙන් යුතුව කලුරිය කර සුගතියෙහි ඉපදුණ ආකාරය ධර්මයේ ඉගැන්වේ. පන්සිල් සුරැකීමේ ආනිසංස පහෙන් මුල් සතර මේ ජීවිතයේ දී ම අපට අත්විඳීමට ඇති අනුසස් වේ.


9-13 කාණ්ඩයේ දෙවන ස්ථානය

බුදු දහමයි පරිසරයයි

අප අවට ඇති වටපිටාව පරිසරය ලෙස හැඳින්වේ. එය දෙආකාර වේ. එනම් ජීවි පරිසරය හා අජීවි පරිසරයයි. ජීවි පරිසරයට අයත් වන්නේ සත්ත්ව සමූහයා සහ තුරුලතා ය. අජීවි පරිසරයට අයත් වන්නේ ජලය වාතය, පස, හිරුඑළිය කඳුහෙල් , පර්වත ආදියයි.

ලොව පළමු පරිසර විද්‍යාඥයා වන්නේ අප ශාන්තිනායක කුළුණුබර බුදුහිමියන් ය. සිදුහත් බෝසත් චරිතයෙනුත් , බුද්ධ චරිතයෙනුත්, ශ්‍රී ධර්ම දේශනාවලිනුත් ජීව, අජීව පරිසරය කෙරෙහි තිබූ ස්නේහය කොතෙක්ද යන්න අපට වටහා ගත හැකි ය. උපතේ සිට බුද්ධ පරිනිර්වාණය තෙක් ශ්‍රී බුද්ධ චරිතය අධ්‍යයනය කරන්නෙකුට උන්වහන්සේ පරිසරයට දැක්වූ හිතානුකම්පාව කැපී පෙනෙයි. ඊට නිදසුන් ලෙස තෙමඟුල, සිදුහත් කුමරු ළමා කල වප් මඟුල් දින බවුන් වැඩීම, කුමරු ගිහි ගෙය හැරගොස් “කිං කුසලගවේසී’ව කටයුතු කිරීම, පිළිවෙත් වැඩීම, පළමු ධර්ම දේශනය පැවැත්වීම ආදි කථා ප්‍රවෘත්තින් නිදර්ශනය කළ හැක.

බුදුහිමි පරිසරයේ සුන්දරත්වය අගය කරමින් “අරියපරියේසන සූත්‍රය ආදි සූත්‍ර දේශනාවන් සිදු කළ සේක. සුජාතාවගේ කිරිපිඬු දානය පිළිගත් අජපල් නුගරුකමුල පිහිටා තිබුනේ සුන්දර වටපිටාවක යි. බුදු හිමි බුදුවීමට පෙර දින දිවා විහරණය කළේ ද භද්‍ර වනයේ ය. බුද්ධත්වයට පත්ව බුදුහිමි පරිසරයේ ම සත් සතියක් වැඩිසිටිබව අප දන්නා කරුණකි. ලෝක සත්ත්වයා කෘතගුණ සැලකිය යුත්තේ සත්ත්වයාට පමණක් ම නොවන්නේය. පණිවිඩය ලබා දෙමින් බුදුහිමි ඇස්පිය නොහෙලා තමාට සම්බුද්ධත්වයට උපකාරි වූ ඇසතු බෝධි වෘක්ෂයට කෘතවේදීත්වය පුද කළ සේක. පරිසරය පූජනීයත්වයෙන් සැලකූ බුදු හිමිගේ පළමු, දෙවන,තෙවන, පස්වන, හයවන, අටවන , දහවන,දහතුන්වන, දහ අටවන, දහනව වන වස් කාලයන් ගතකළේ ද කඳු හෙල්, පර්වත ආදි ස්වභාවික පරිසරය තුළයි. බුදුහිමි පරිසරයේ සුන්දරත්වය විරාගී ව වර්ණනා කළ අවස්ථා ද රැසකි. උන්වහන්සේ පිරිනිවන් පානා තෙක් ම පරිසරයේ දිවි ගෙවමින් මිනිසාට බොහෝ ආදර්ශ සැපයූ සේක. එසේ ම පරිසර සුරක්ෂිතතාවය, එය දූෂණයෙන් වළක්වා ගැනීමට ලබා දුන් ආදර්ශයෙන් ඇසුරු කොට ගෙන අප ද පරිසර මාතාව රක්ෂා කළ යුතු ය.


අපේ පන්සල