Print this Article


නිහඬබවෙහි සැබෑ අරුත

නිහඬබවෙහි සැබෑ අරුත

උයන ඇතුළට ගොස් වට පිට බලන විට එක්දහස් දෙසිය පණහක් භික්ෂූහු තැන් තැන්වල ගස් මුල් ඇසුරු කරගනිමින් භාවනායෝගීව වැඩ සිටින බව දුටු රජු කීවේ හරිම සිත්කළු ශාන්ත දාන්ත නිහඬ දැක්මක් බවයි. “අනේ මගේ පුතණුවන් ද මෙබඳු ශාන්ත දාන්ත නිහඬ තැනැත්තෙකු බවට පත්වේවා” කියා එතුමා ප්‍රාර්ථනා කළා.

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ සිටින සමයෙහි එක් දිනෙක පාසිවුරු ගෙන උදෑසනින් ම පිඬු පිණිස වැඩිය හ. පිණ්ඩපාතය සඳහා තවත් කල්වේලා ඇති හෙයින් පොට්ඨපාද පරිබ්‍රාජකයා සිටින මල්ලිකාරාමය දෙසට ගොස් ඔහුගේ ගෝල පිරිසක් සමඟ කතා බස් කළොත් ප්‍රයෝජනවත් වේ යැයි සිතා මල්ලිකාරාමය දෙසට වැඩම කළහ.

බුදුරදුහු තමන්ගේ ආරාමය දෙසට වඩින බව දුටු පොට්ඨපාද පරිබ්‍රාජකයා දෙතිස් කතාවෙන් ඝෝෂාකාරිව හැසුරුණූ තම පිරිස නිහඬ කරලීම සඳහා තම ගෝලයින් අමතා “භවත්නි, ඔබලා නිශ්ශබ්ද වන්න. භවත්නි, කිසිම ශබ්දයක් කරන්නට එපා. අන්න ශ්‍රමණ භවත් ගෞතමයන් එනවා. උන්වහන්සේ නිහඬතාවයට කැමැති කෙනෙක් යැයි කියා සිටියා. පොට්ඨපාද කියන්නේ එකල සිටි පරිබ්‍රාජකයන් අතර ඉතා කීර්තිමත් පරිබ්‍රාජකයෙක්. බුදුරජාණන් වහන්සේ තම ආරාමය දෙසට වඩින බව දැක පොට්ඨපාද පරිබ්‍රාජකයා තම ගෝල පිරිසගෙන් නිහඬවන ලෙස ඉල්ලා සිටියා.

බුදුහාමුදුරුවෝ තම ආරාමය දෙසට වඩින විට පොට්ඨපාද පරිබ්‍රාජක ඉතා ඕනෑකමින් හා කැමැත්තකින් උන්වහන්සේ පිළි ගත්තා. බුදුරජාණන් වහන්සේ අන්‍ය ආගමිකයන් සමඟ මොනතරම් සුහද ශීලිව හා පි‍්‍රයශීලිව කටයුතු කර ඇත්ද යන්න මෙවැනි ගමන් බිමන් වලින් පෙන්නුම් කරයි.

“බුදුරජාණන් වහන්සේ නිහඬතාවයට කැමැති කෙනෙක්. නිහඬ බව අගය කරන කෙනෙක්, නිහඬ ජීවිතය පුරුදු කළ කෙනෙක්” යනුවෙන් කරුණු දක්වමින් මේ පරිබ්‍රාජකයා බුදුරදුන්ගේ වටිනා ගුණයන් පෙන්නුම් කළා. නිහඬතාවය යන්න ඉතා වටිනා සංකල්පයක්. අපේ පැරණී ශී‍්‍ර ලාංකිකයන් නිහඬ ජීවිත ගත කළ අය, එදා ගම හරිම නිහඬ යි. හරිම ශාන්ත යි. ඒ වගේම සැනසිලි දායකයි. කලබල, ඝෝෂාකාරි පරිසරයක් එදා තිබුණෙ නැහැ.

එක දවසක් බුදුහාමුදුරුවන් බැහැ දකින්න හාමුදුරුවරු පන්සිය නමක් දුර බැහැර සිට ජේතවනාරාමයට වැඩම කළා. උන්වහන්සේලා ජේතවනාරාමයට පැමිණුන විට කලබලකාරි තරමක ඝෝෂාකාරි බවක් විහාරස්ථානය තුළ ඇති වුණා.

හාමුදුරුවරු පන්සිය නමක් වැඩම කළ අවස්ථාවක් නිසා තරමක කලබලයක් ශබ්දයක් ඇතිවීම ස්වභාවික යි. හෙමින් හෙමින් කතා කළත් තරමක ශබ්දයක් ඇතිවෙනවා.

බුදුහාමුදුරුවන්ට මේ ඝෝෂාකාරි ශබ්දය ඇසී ‘ආනන්ද, කවුද ඔය ඝෝෂා කරන්නෙ” “බුදුහාමුදුරුවනේ, මේ හැන්දෑවේ භික්ෂූන් පන්සියක් හෙට උදෙන්ම ඔබ වහන්සේ මුණ ගැසීමේ අදහසින් වැඩියා. උන්වහන්සේලාගේ ශබ්දය තමයි ඔය ඇසෙන්නේ”යි ආනන්ද හාමුදුරුවෝ පිළිතුරු දුන්නා. බුදුහාමුදුරුවෝ කියනවා ආනන්ද, ඒ අයට වහාම පන්සලෙන් පිටවෙන්න කියන්න” ඒ වෙලාවෙ ආනන්ද හාමුදුරුවෝ බුදුරදුන්ගේ නියෝගය දන්වා සිටියා. ඔබ වහන්සේලා අනවශ්‍ය විදියට ඝෝෂාකාරිවීම මෙබඳු නියෝගයක් පැනවීමට හේතුව වූ බවත්, වදාළා. භික්ෂූහු එම නියෝගය පිළිපදිමින් ආරාමයෙන් පිටත් ව ගියා. අවසානයේ මේ සියලු දෙනාම සාකච්ඡා කර තම තමන් තුළ පැවැති අඩුපාඩු තේරුම් ගෙන අපගේ ශාස්තෘන් වහන්සේ මහා කරුණාවන්ත ශ්‍රේෂ්ඨ උත්තමයෙක, දුකට,වේදනාවට පත්වූ අය දුටු විට උණුවෙන හදවතක් උන්වහන්සේට තිබුණේ. පන්සීයක් හාමුදුරුවරු බුදුරදුන්ගේ නියෝගය තේරුම් ගනිමින් වරද පිළිගෙන එමඟින් තම ජීවිතයේ අඩුපාඩුව සකස්කර ගන්නට තීරණය කළා. මේ හාමුදුරුවරු එදාම රාත්‍රි ළඟ ඇති කැලෑවකට වැඩමකර වග්ගුමුදා නදිය අසබඩ ගස් මුල් ඇසුරු කරමින් භාවනා කර සියලු කෙලෙස් නැතිකර රහත් ඵලයට පත්වූවා.

වැරැද්ද දුටුවිට බුදුරදුන් එය පෙන්වා දුන් අයුරුත් ඒ අනුව ඔවුන් තමන් අතින් සිදු වූ වැරැද්ද තේරුම් ගෙන වැරැද්ද නිවැරැදි කරගත් අයුරුත්, එ නිසාම තම මුලික අරමුණ ජයගත් අයුරුත්, මෙම සිද්ධිය අපට පෙන්නුම් කරයි.

පණ්ඩිත ජවහර්ලාල් නේරුතුමා ලංකාවට පැමිණි අවස්ථාවක එතුමා පිළිගැනීමේ උත්සවයක් පේරාදෙණිය ලංකා විශ්වවිද්‍යාලයේ දී පවත්වා ඇත. එහිදි එතුමා විද්වත් පිරිස ඉදිරිපිට දේශනයක් පැවැත් වූ අතර, එහි දී එතුමා ම ප්‍රශ්නයක් මතුකර එයට පිළිතුරක් ද එතුමා විසින් සපයන ලදී. එතුමා මතු කළ ප්‍රශ්නය වූයේ සංස්කෘතිය යනු කුමක් ද? යන්නයි. එතුමා ම එයට දුන් පිළිතුරු වූයේ සංස්කෘතිය නම් කෑ කෝ ගැසීම, ඝෝෂා කිරීම නොව නිශ්ශබ්දතාවය යන්න යි. එතුමා බෞද්ධයෙකු නූනත් බුදු දහමෙහි සඳහන් නිහඬතාවය අගය කළා. මේ අනුව බුදුසමය පෙන්වා දී ඇති නිහඬතාවය යනු හික්මීමේ ශීලාචාරකම් ඇති මූලික අංගයක් ලෙස පෙන්නුම් කළ හැකි ය.

අජාතසත්තු රජතුමා ජීවක ඇමැතිතුමා ඇතුළු පිරිස සමඟ ජීවක අඹ උයන වෙත ගියහ. අඹ උයනේ දොරටුව ළඟට පැමිණි රජු ජීවක ඇමැතියෙනි, ඔබ කීවේ බුදුරදුන් සමඟ එක්දහස් දෙසිය පණහක් භික්ෂූන් මෙහි වැඩ සිටින බව යි. එසේ කීවාට කිසිම අයෙකු අඹ උයනේ නැති බව යි. මට දැනේනේ. නැහැ රජතුමනි. ඇතුළට ගොස් බලන්න බුදුරදුන් සමඟ එක්දහස් දෙසීය පනහක් භික්ෂූහු වැඩ සිටිනවා. පුදුමයි ඇමැතිය, මෙතරම් පිරිසක් ඉඳලත් නිහඬතාවය හරිම ආශ්චර්යක්. උයන ඇතුළට ගොස් වටා පිටාව බලන විට එක්දහස් දෙසිය පණහක් භික්ෂූහු තැන් තැන්වල ගස් මුල් ඇසුරුකර ගනිමින් භාවනායෝගීව වැඩ සිටින බව දුටුවා. මෙය දුටු රජු කීවේ හරිම සිත්කළු ශාන්ත දාන්ත නිහඬ දැක්මක්. “අනේ මගේ පුතණුවන් ද මෙබඳු ශාන්තදාන්ත නිහඬ තැනැත්තෙකු බවට පත්වේවා” කියා එතුමා ප්‍රාර්ථනා කළා.

මෙහි දී අප අගයන, වර්ණනා කරන, නිහඬතාවය යනු හැම තැනක දීම නිහඬවීම නොවේ.අවස්ථාව බලා සුදුසු යෝග්‍ය කරුණක දී අදහස් දැක්වීම අවශ්‍ය යි. මෙහිදි ස්ථානය, කාරණය, උචිත බව, ඵලදායිත්වය අවධානයට ලක්විය යුතුයි. නිහඬවීම යන්නෙන් විශේෂයෙන් අදහස් වන්නේ දෙ ලොවටම ප්‍රයෝජනයක් නැති දෙතිස් කතාවලින් වැළකී සිටීම යි. අද සමාජය දෙස බලන්න. මොනතරම් කාලයක් වැඩක් නැති නිෂ්ඵල කතාවලට ගත කරනවා ද? උදේ සිට රාත්‍රි නින්දට යන තෙක් ගත වූ කාලය දෙස ආපසු හැරී බැලුවහොත් කෙතරම් කාලයක් අනවශ්‍ය කතා වෙනුවෙන් ඔබ නතුකර ඇත්දැයි පෙනේවි. විශේෂයෙන් ශ්‍රී ලාංකිකයන්ගේ වැඩ සඳහා යොමුව ඇති කාලය අඩුම මට්ටමක පවතී. උදේ 6 සිට රාත්‍රි 10 දක්වා පැය භාගයෙන් භාගයට ඔබ කළ දේ සටහන් කර වගුවක් ලෙස සකසා බලන්න. එවිට ඔබට ම තේරේවි කාලය ගත වී ඇත්තේ කුමන ආකාරයකට ද? යන්න කෙතරම් කාලයක් නිකරුනේ වැයකර ඇත්ද කෙතරම් කාලයක් ප්‍රයෝජනවත් දේට යොදවනවාදැයි බලාගත හැකි ය.

එක් එක් පුද්ගලයන්ගේ අඩුපාඩු, වග තුග, ඇදපළුදු අප මොනතරම් අවුස්සනවා ද? එක් අයෙකු කතාකර අවසන් වූ පසු අනෙක් තැනැත්තා ඊට නො දෙවැනිව කතා කරයි. පුද්ගලයාගේ දියුණුවටත් රටක දියුණුවටත් මූලිකම සාධකය කාලයෙන් උපරිම ඵල ප්‍රයෝජන ගැනීමයි. “භස්සාරාමතා,ගණ සංඝණිකාරාමතා” යනුවෙන් නිතරම කතාවෙහි ඇලී ගැලී සිටීමත් කණ්ඩායම් වශයෙන් අනවශ්‍ය කතාවල නියුක්ත වීමත්, භික්ෂුවගේ මූලික අරමුණට බාධාවක් බව බුදුරදුහු පෙන්වා දී ඇත. මෙය භික්ෂුවට පමණක් නොව පොදුවේ සෑම දෙනාටම වැදගත් වනු ඇත. මේ අනුව නිහඬබව නිවැරැදිව තේරුම් ගෙන ජීවිතවල කාර්යක්ෂමතාව හා ඵලදායිත්වය නංවා ගැනීමට උත්සාහ කළහොත් දියුණු ජාතියක් ලෙස උදම් ඇනිය හැකි මට්ටමට අප පත්වනු ඇත.