Print this Article


සීහළවත්ථු කතා : දීමෙන් ලැබෙයි නිධානය

සීහළවත්ථු කතා

දීමෙන් ලැබෙයි නිධානය

ඈත අතීතයේ හෙළදිව තිබූ එක්තරා ගමක මහාදේව නම් උපාසකයෙක් විසී ය. ඔහු ඇල් වී, අමු මෙනේරි, මුං, මෑ ආදී ධාන්‍ය වර්ග ඇති කුඹුරක් වපුරයි. ඇස්වැන්නෙන් ගැල් දහසක් බරැති ධාන්‍ය ඔහුට ලැබේ.

දිනක් මේ උපාසක උදෑසනින් ම තමාගේ කුඹුරට ගොස් වැඩ සොයා බලා අවශ්‍ය දේ කිරීමට නියම කොට නැවත එන මඟදී රහතන් වහන්සේ අට නමක් අහසින් වැඩ සිවුරු පොරවා පාත්‍ර අතින් ගෙන පිණ්ඩපාතයේ වැඩීමට මඟට පිළිපන් අයුරු දුටුවේ ය.

උපාසක වහා නිවසට ගොස් බිරිඳ කැඳවා ආගන්තුකව වැඩි භික්ෂූන් වහන්සේ පිරිසට දානය සූදානම් කරන්නැයි කීය. ඇය කැඳක් ද, ව්‍යඤ්ජන සහිත බතක් ද වහා පිළියෙල කළාය. ඉතා සන්සුන් ඉඳුරන් ඇති උන්වහන්සේලා ගෙපිළිවෙළින් පිණ්ඩපාතයේ වැඩිසේක. මහදේව උපාසක වහා පැමිණ ඒ අට නමගේ පාත්‍රා ගෙන තම නිවසට වඩමවා සැකසූ දානය පිරිනැමී ය.

භික්ෂූන් වහන්සේ දානය වළඳා පින් අනුමෝදන් කොට නැවත වඩින්නට සැරසෙද්දී මහාදේව උපාසක

”ස්වාමිනි, මා ඔබවහන්සේට යෝජනාවක් කිරීමට කැමැත්තෙමි”

”පින්වත ඒ කුමක් ද?”

”ස්වාමිනි ඔබ වහන්සේලා අටනම යම් විහාරයක වැඩ වාසය කරන්නේ ද, එහි සිට දිනපතා මාගේ නිවසේ දානයට වඩිනු මැනවැයි කී ය.

ඔහුට අනුකම්පා පිණිස එය පිළිගත් රහතන් වහන්සේලා උපාසක බලා සිටියදී ම අහසට පැන නැගී වැඩම කළහ. ඉන්පසු වැඩිමහලු ආකාරයට දිනපතා උන්වහන්සේලා මේ උපාසකගේ නිවසට දානය පිණිස වැඩි සේක. ඉතා සතුටු වූ උපාසක සිතැඟි පරිදි දන් පූජා කර ගත්තේය.

දිනක් භික්ෂූන් වහන්සේ වෙත එළඹ වන්දනා කරගෙන උපාසක මෙසේ කී ය.

”ස්වාමිනි, පුර පෝය පසුවී එන පස්වැනි දිනයේ මාගේ නිවසේ දානය සඳහා භික්ෂූන් වහන්සේලා දොළොස් නමක් වැඩමවනු මැන. ඉතිරි දිනවල අටනමක් වැඩමවනු මැනව” ඉල්ලීමක් කළේ ය. රහතන් වහන්සේ එලෙස සිදු කළහ. මෙසේ දොළොස් වසරක් ඔහු දන් පුජා කළේය. ඒ කාලය තුළ කොපමණ භික්ෂූන් වහන්සේ සංඛ්‍යාවකට දන් දුන්නේ ද යත්, එය බොහෝ වාර, බොහෝ සංඛ්‍යාවක් විය.

මෙසේ පින් කොටත් පිනෙන් තෘප්තියට පත් නොවූ ඒ දානපති උපාසකට මෙසේ සිතුණි. ‘‘මම රන්වන් වූ බුදුරදුන්ට රන් කරඬුවක් සාදන්නෙමි” සිතා එයට අවශ්‍ය රන් ගෙන ඒමට ස්වර්ණභූමි නම් ගමට යාමට සිතී ය. ඊට පෙර ආ අටවක පොහෝ දිනයේ දී රහතන් වහන්සේට වස්ත්‍ර සහිතව දානයක් පූජාකොට සතුටු සිත් ඇතිව මුහුදෙන් ගමන සඳහා පිටත් වූයේ ය. මුහුද මැද දී ඔහු ගමන් කළ නැව මුහුදුබත් විය. නැවේ සිටි සියල්ලෝම මිය ගියහ. නමුත් මහාදේව උපාසක තනිවම මහා මුහුදේ පා වෙමින් සිටියේ ය.

කුටුම්බිය පුත්තතිස්ස රහතන් වහන්සේ උපාසකට සිදු වූ අනතුර දිවැසින් දුටුව හ.

”ආයුෂ්මතුනි, දේව උපාසක මහමුහුදේ පාවෙමින් සිටියි. ඔහු දියෙන් ගෙන මා වෙත ගෙන ආ මැනැවැයි” කී සේක. උන්වහන්සේගේ කීම අසා භික්ෂු දෙ නමක් අහසින් වැඩමකොට උපාසක විහාරස්ථානය වෙත රැගෙන විත් ඉදිරිපස ශාලාවේ තැබී ය.

සක්දෙවිඳු පෙරදා සමාදන් වූ සිල් පවාරණය කොට ඒ රහතන් වහන්සේ වැඩ සිටි විහාරයට පැමිණියේ ය. සෑගෙට ඇතුලුවන විටම උපාසක දැක “ස්වාමිනි මේ කවරෙක්ද?”

”දේවේන්ද්‍රය, මේ මහාදේව උපාසක යි. ඔහු විපතට පත්ව මුහුද මැද පාවෙද්දී අප මෙහි ගෙන ආහ. මේ උපාසක පිනට බොහෝ ලැදි ය. දන්දීමට හපනෙකියි වදාළහ. එය ඇසු සක්දෙවිඳු උපාසක වෙත ගොස් මෙසේ කී ය.

උපාසක, නුඹ විසින් කො තරම් කුසල ධර්ම කරන ලදී ද, යම් කුසලයක් අනාගතයේ කිරීමට සිතා සිටී ද ඒ සියලු පින්වලින් කොටසක් මට ද දෙව. මම ඔබට වර තුනක් දෙන්නෙමි කී ය. දේවරාජයාණෙනි, ඔබටත් අන් ප්‍රාණීන්ටත් මා විසින් කළ පින් අනුමෝදන් කරමි. ඒ පිනෙන් අසුරයෝ ද, මිනිසුන් ද අපායෙන් මිදෙත්වා”.

එවිට සක්දෙවිඳු ලබු ගෙඩි තුනක් මහාදේවට දී ඒවා කපා කැමැති දෙයක් ලබාගනු මැනැවයි කියා නික්ම ගියේ ය.

උපාසක නිවසට පැමිණ ඒ ලබු ගෙඩි තුන භාජන තුනක තැබී ය. එයින් මිනිස් ශරීර තුනක පමණ ගැඹුරු වූ හැලි තුනක් පහළ විය. ඉන් එකක් රනින් ද, එකක් කහවනුවලින් ද, අනෙක සුවඳ හැල් වලින්ද පිරුණි. ක්ෂය නොවන අපිරිමිත ධනයක් එහි විය. නැවත සක්දෙවිඳු පෙනී සිට “මහාදේව කැමැති පරිදි මේ ධනය අනුන්ට දෙව, තමාත් පරිහරණය කරව, නුඹගේ ජීවිතාන්තය දක්වා මේ ධනය ක්ෂය නො වනු ඇත. මෙලොව දී දානය නිසා ලැබෙන විපාකය මෙයැයි කියා සක්දෙවිඳු නො පෙනී ගියේ ය.

එතැන් පටන් මහා දානපතියෙකු වූ ඔහු සත් වරක් හෙළවැසි සියලු සංඝයාට තුන් සිවුර බැගින් පූජා කළේ ය. නොයෙක් අයුරින් බොහෝ පින්කම් කොට මරණින් මතු සුගති ලොව උපන්නේ ය.