Print this Article


ආලෝකයෙන් ආලෝකයට යමු

ආලෝකයෙන් ආලෝකයට යමු

භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වණක් පිරිසකට භාග්‍යවතුන් වහන්සේ අනුශාසනා කොට වදාළේ යම් ක්‍රියාවක් කොට ඒ ගැන පසුතැවීමක් උපදිනවා නම්, එහි විපාකය විඳින්නට වන්නේ කඳුළු පිරුණු මුහුණකින් යුතුව නම්, එවැනි ක්‍රියාවක් කිසිසේත් නො කරන ලෙස යි.මේ බව සංයුක්ත නිකායේ සගාථ වර්ගයේ කෝසල සංයුත්තයේ “පුද්ගල සූත්‍රය” මනාව වටහා දෙයි.

එහිදී භාග්‍යවතුන් වහන්සේ පසේනදී කොසොල් රජතුමා අමතා රජතුමනි, මේ ලෝකයේ පුද්ගලයින් හතර දෙනෙක් සිටියි. ඒ අඳුරෙන් අඳුරට යන පුද්ගලයා, අඳුරෙන් ආලෝකයට යන පුද්ගලයා, ආලෝකයෙන් අඳුරට යන පුද්ගලයා සහ ආලෝකයෙන් ආලෝකයට යන පුද්ගලයා යි.

පුද්ගලයෙක් අඳුරෙන් අඳුරට යන්නේ කෙසේද? මේ ලෝකයේ ඇතැම් කෙනෙක් සමාජයේ හීන යැයි කුලයක ඉපදෙයි. කෑම,බීම අල්ප යි. දුකසේම යි ජීවත් වෙන්නේ. අවලස්සන යි. නිතරම ලෙඩ දුක් වැළදේ. වාසස්ථාන අල්ප යි. ඇඳුම් පැළඳුම් අඩුයි. මල් සුවඳ විලවුන් නො ලැබේ. අඩුපාඩු සහිතව ජීවත් වන ඔහු කයෙන් වැරැදි දේ සිදු කරයි. සතුන් මරයි. සොරකම් කරයි. වැරැදිකාම සේවනයේ යෙදෙයි. මත්ද්‍රව්‍ය භාවිතා කරයි. වචනයෙනුත් බොරු, කේලාම්, සැරපරුෂ වචන කියයි. වැඩකට නැති හිස් වචන, ඕපාදූප කතා කියයි. සිතිනුත් වැරැදි කරයි. විෂම ලෝභයෙන් යුක්ත යි. ද්වේෂ සහගතයි. මිථ්‍යා දෘෂ්ඨික යි. මේ පුද්ගලයා කය බිඳී මරණින් මතු අපාය, දුගතිය, විනිපාත නම් වූ නිරයේ උපදියි. මොහු අඳුරෙන් අඳුරට යන පුද්ගලයා යි.

භාග්‍යවතුන් වහන්සේ වදාළා අඳුරෙන් ආලෝකය කරා යන දෙවැනි පුද්ගලයා පිළිබඳව යි. ඔහු හීන කුලේ ඉපදුණු, දුගී දුප්පත්, අවලස්සන, ලෙඩ දුක්වලින් පෙළෙන අයෙකි. නමුත් මොහු කයින් යහපත් දේ කරයි. සතුන් මැරීමෙන්, සොරකම් කිරීමෙන්, වැරැදිකාම සේවනයෙන්, මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී සිටියි. ඒ වගේ ම දන්පැන් දෙයි. ගිලානෝපස්ථානයේ යෙදෙමින් සමාජයට හිතසුව පිණිස දේ සිදු කරයි. වචනයෙන් යහපත් දේ කියයි. බොරු කීමෙන්, කේලාම් කීමෙන් වැළකී සිටියි. එකිනෙකා බිඳවීමක් නො කරයි. අනෙක් අයගේ සිත බිඳෙන ආකාරයට වචන නො පවසයි. ඒ වගේ ම හිස් වචන, ඕපදූප නො කියයි. යහපත් දේ අර්ථවත් දේ පමණක් කතා කරයි. ධර්ම කතාවේ යෙදෙයි. ඔහු මනසිනුත් යහපත් දේ කරයි. අනුන්ගේ දෙයට ආසා නො කරයි. මෙත් සිතින් කල් ගත කරයි. පින්, පව්, කුසල්, අකුසල් හඳුනාගෙන සම්මා දිට්ඨියෙන් යුතු වෙයි.

රජතුමනි, එය මේ වගේ දෙයක්. පුරුෂයෙක් බිම ඉඳන් පුටුවකට නගිනවා.ඒ පුටුවෙන් අශ්වයෙකුගේ පිටට නගිනවා. ඒ අසු පිටින් ඇතෙකුගේ පිටට නගිනවා. ඒ ඇතාගේ පිටින් මාළිගාවකට නගිනවා. මහරජතුමනි, මේ ලෙසටයි පුද්ගලයෙක් අඳුරෙන් ආලෝකයට ගමන් කරන්නේ.

රජතුමනි, තුන්වෙනි පුද්ගලයා ආලෝකයෙන් අඳුරට යන්නේ කොහොම ද? මේ ලෝකයේ ඇතැම් පුද්ගලයෙක් උසස් කුලයක ඉපද සම්භාවනීය මහා ධනවත් මහා සම්පත් ඇතිව ජීවත් වෙයි. පියකරු ය. බොහෝ රිදී, ධන – ධාන්‍ය, දේපල වස්තුවට උරුමකම් කියයි. ඕනෑම කෙනෙක් පහදින ස්වභාවයෙන් යුතුයි. කෑම් – බීම්, ඇඳුම් – පැළඳුම් යාන වාහන, මල් සුවඳ විලවුන්, ඉඳුම් හිටුම්, ආදී සියලු දේ තිබේ. නමුත් ඔහු කයින්, වචනයෙන්, මනසින් වැරැදි කරයි. කයින්, වචනයෙන්, මනසින් වැරැදි කර කය බිඳී මරණින් මතු දුගතියේ උපදියි.

රජතුමනි, පුද්ගලයෙක් මාළිගාවකින් ඇතෙකුගේ පිටට බසිනවා. ඇතාගේ පිටින් අශ්වයාගේ පිටට බසිනවා. අශ්වයාගේ පිටින් පුටුවට බසිනවා. පුටුවෙන් බිමට බසිනවා. බිම සිට අඳුරට යනවා. රජතුමනි, මේ පුද්ගලයා ආලෝකයෙන් අඳුරට ගමන් කරනවා.

හතරවෙනි පුද්ගලයා මේ වගේ යි. ඔහුත් සමාජයේ උසස් යැයි සම්මත ධන ධාන්‍ය තිබෙන භව භෝග සම්පත් තිබෙන, ඉතා ධනවත් සම්භාවනීය පවුලක උපදියි. අන් අය පහදින ලස්සන රූප සම්පත්තියකුත් තිබේ. කෑම් බීම්, ඇඳුමෙන් යාන වාහන ආදියෙන් කිසිදු අඩුවක් නො මැත. ඒ වගේම ඔහු කයින් යහපත් දේ සිදු කරයි. වචනයෙනුත් යහපත් දේ කතා කරයි. මනසින් යහපත් දේ සිතයි. ඒ ආකාරයට කයින්, වචනයෙන්, මනසින් යහපත් දේ සිදු කර කය බිඳී මරණින් මතු සුගතියේ උපදියි. මහරජතුමනි, ඒක මේ වගේ දෙයක්. පුටුවකින් පුටුවකට යනවා, අසු පිටින් අසු පිටට යනවා. ඇතු පිටින් ඇතු පිටට යනවා, මාළිගාවකින් මාළිගාවකට යනවා. මහරජතුමනි, මේ පුද්ගලයා ගැන උපමාව එයයි. ඒ ආකාරයට පුද්ගලයෙක් ආලෝකයෙන් ආලෝකයට යන්නේ.

මේ නිසා අපත් මේ ආකාරයට දස අකුසලයෙන් වැළකී දස කුසල් වඩමින් ආලෝකයෙන් ආලෝකය කරා යන ජීවිතයක් ඇතිකර ගෙන බුදු සසුනේ පිපුන කුසුම වීමට උත්සුක වෙමු.