Print this Article


මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමි

මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමි

කලින් කලට සසුනඹරෙහි පහළවන සම්භාවනීය පූජනීය මහ සඟරුවන සසුන් කෙත ශෝභාවත් කරමින් වැඩ වෙසෙති. එබඳු උතුම් සංඝපීතෘන් වහන්සේලා සසුන් කෙතට පමණක් නොව රට දැය සමයට සිදුකරනුයේ අත්‍යුදාර ආදර්ශවත් මහ මෙහෙවරකි.

බෙල්ලන්විල රජමහා විහාරාධිකාරීව වැඩ විසූ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සුවිශාල මෙහෙවරක් ඉටු කළ සංඝ පීතෘන් වහන්සේ නමකි.

“බෙල්ලන්විල” නාමය සිහියට නැගෙන විට නිරන්තරයෙන් සිහිපත් වනුයේ බෙල්ලන්විල රජමහා විහාරය යි. ලෝ දන මුවග රැව් පිළිරැව් දෙන මහ පුද බිමක් වූ බෙල්ලන්විල රජ මහා විහාරය පෙර රජ දවස දක්වා ඈත ඉතිහාසයකට හිමිකම් කියයි. සඟමිත් තෙරණිය වැඩම කළ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් හටගත් දෙතිස්ඵල රුහ බෝධි අංකුරයක් බෙල්ලන්විල රෝපණය කළ බව විල්ගම්මුල නාහිමියන් විසින් රචිත බෝධි වංශයෙහි සඳහන් වේ.

විදේශීය ආක්‍රමණ හේතුවෙන් ඓතිහාසික පූජනීය ස්ථාන කලින් කලට පරිහානියට පත්විය. කාලයාගේ ඇවෑමෙන් බෙල්ලන්විල රජ මහා විහාරය ද ඒ අවට ප්‍රදේශයද ජන ශූන්‍ය වන්නට ඇත. 1860 දශකයේ දී අත්තිඩිය විහාරයේ වැඩ විසූ තේන්ගොඩගෙදර හිමියන් බෙල්ලන්විල හරහා ගලා ගිය ඇළ මාර්ගයේ පාරුවකින් වඩිමින් සිටිය දී ජනශූන්‍ය වූ ප්‍රදේශයෙන් ඇසුණ බෙරහඬ පිළිබඳ විමසිලිමත්වීමෙන් බෙල්ලන්විල ඓතිහාසික බෝධීන් වහන්සේ දකින ලදුව එම ස්ථානය දෙවියන් පවා වැඳුම් පිදුම් කරන භූමියක් බවට තේරුම්ගෙන ජනතාවට ද වැඳුම් පිදුම් කරන ස්ථානයක් බවට පත් කරන ලදී.

අනතුරුව 1946 දී බෙල්ලන්විල රජමහා විහාරාධිපති ධූරයට පත් වූ බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පොළොන්නරුව විහාර සම්ප්‍රදායට අනුකූල විහාර මන්දිරය නිම කරවන ලදී.

මුවග රැඳි නම්

බෙල්ලන්විල රජමහා විහාරයේ ඓතිහාසික බෝධීන් වහන්සේගෙන් සෙත ශාන්තිය උදාකර ගැනීමේ අපේක්ෂාවෙන් සිය දහස් ගණනින් දෛනිකව ජනතාව බෙල්ලන්විලට පැමිණේ. දෛනික ජීවිතයේ ඇතිවෙන විවිධ කරදර බාධකවලට සහනය පතා බෙල්ලන්විල රජමහා විහාරස්ථ බෝධීන් වහන්සේගේ පිහිට අයැදීමට ඉතා දිගු කලක පටන් මෙරට බොදු ජනතාව සැදී පැහැදී සිටිති.

බෙල්ලන්විල සිහියට නැගෙත්ම බෙල්ලන්විල රජමහා විහාරයත්, බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේත් උන්වහන්සේ විසින් 1950 දී අරඹන ලද බෙල්ලන්විල ඇසළ මහා පෙරහරත් නිරන්තරයෙන් සිහිපත් වේ.

බෙල්ලන්විල රජමහා විහාරාධිපති සිංගප්පූරුවේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ බෙල්ලන්විල නාමය සමග ලෝ දනන්ගේ මුවග රැව් පිළිරැව් දෙන නාමයන් වේ.

පැවිදි වීම

1942 අප්‍රේල් 14 වන දා බණ්ඩාරගම වීදාගම දී උපත ලද ඕමත්තගේ ගිල්බට් පෙරේරා නම් වූ පින්වන්ත කුමරුවා දහතුන්වන වයස දක්වා නිකපෙ කණිෂ්ඨ විද්‍යාලයෙන් හා පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා 1956 දී බෙල්ලන්විල රජ මහා විහාරයේ දී බෙල්ලන්විල සෝමරතන නා හිමියන්ගේ ශිෂ්‍යයෙකු ලෙස බෙල්ලන්විල විමලරතන නමින් පැවිදිබිමට පත් විය.

අධ්‍යාපනය

පැවිදිවීමෙන් පසු මොල්ලිගොඩ ප්‍රවචනෝදය පිරිවෙනින් සහ රත්මලාන පරමධම්ම චේතිය පිරිවෙනින් අධ්‍යාපනය ලබා කැලණිය විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලැබූ බෙල්ලන්විල විමලරතන හාමුදුරුවෝ 1972 දී විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් පාලි භාෂාව පිළිබඳ විශේෂවේදී උපාධිය ලබා ගත්හ. අනතුරුව විමලරතන හාමුදුරුවෝ එංගලන්තයේ ලන්කැෂ්ටර් විශ්වවිද්‍යාලයෙන් 1980 දී ආචාර්ය උපාධිය හිමිකර ගත්හ.

පැපිලියාන සුනේත්‍රාමහාදේවි පිරිවෙනේ ආචාර්යවරයෙකු ලෙස ගුරු සේවයට පිවිසි උන්වහන්සේ රත්මලාන පරම ධම්මචේතිය පිරිවෙනෙහි පරිවෙනාධිපති ධුරය ද හෙබවා ඇත.

1962 සිට කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ කාරක සභික ධූරය, කර්මාචාර්ය ධූරය, උපලේකම් ධූරය, ලේකම් ධූරය, උපාධ්‍යාය පදවියක් හා අනුනායක පදවියත් දරමින් බෙල්ලන්විල විමලරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ශ්‍රී ලාංකේය සංඝ සමාජයට අනූපමේය නායකත්වයක් සැපයූහ.

ගුරු සේවය

1966 සිට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ (විද්‍යෝදය )කථීකාචාර්යවරයෙකු සහ මහාචාර්යවරයෙකු ලෙස 2006 දක්වා සේවය කළ අතර දුර බැහැර සිට සරසවියට පැමිණි පැවිදි විද්‍යාර්ථීන් වෙත ආර්ථික වශයෙන් කළ උදව් උපකාර ඉතා අප්‍රකට ව සිදුකළ බැව් මෙය ලියන මා සියැසින් දුටු වාර අනන්තය. සරසවි සේවයෙන් ඉසුඹු ලැබූ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හාමුදුරුවෝ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ම කුලපති ස්වාමීන් වහන්සේ ලෙස අපවත්වනතුරු කටයුතු කරමින් සිටියහ.

එකම පවුලේ දෙසොහොයුරන් සසුන් කෙතට ඇතුළත්ව පැවිදි සහෝදර සබඳතාවයෙන් ද යුක්තව දේශීය මෙන් ම විදේශීය වශයෙන් ද සම්බුදු දහමේ ව්‍යාප්තියට සිදුකළ මෙහෙවර සුවිශේෂිත ය. බෙල්ලන්විල රජ මහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සිංගප්පූරුවෙහි වැඩ වසමින් ජාත්‍යන්තර වශයෙන් සිදු කරනුයේ උදාර ධර්ම ශාස්ත්‍රීය මෙහෙවරකි.

ගත් කතුවරයාණෝ

බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ බෙල්ලන්විල රජ මහා විහාරස්ථානයේ වැඩ වසමින් ශාස්ත්‍රීය, ආගමික හා සාමාජික වශයෙන් සුවිශාල නිහඬ මෙහෙවරක නිරතව වැඩ සිටියහ. ලෝක සංඝ සම්මේලනයේ ලේකම් ධූරය ඇතුළු ජාත්‍යන්තර තනතුරු ගණනාවක් දරූ ලොව ප්‍රකට බහුශ්‍රැත මහතෙර නමකි.

මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ශාස්ත්‍රීය ධර්ම ග්‍රන්ථ රැසක් ලියා පළ කළ සම්භාවනීය ගත් කතුවරයන් වහන්සේ නමකි. බුදුදහම සහ වෙනත් ආගම් බුදු පිළිමයේ මුද්‍රා සහ ආසන, බුද්ධ ප්‍රාථමික කලාව සහ බුදුපිළිම විකාශය, පාරමිතා සාහිත්‍යය, විහාර ලිපි සරණිය, බුදුදහම හා කලාව ලිපි, බුදුපිළිමයට පෙර බුදුහාමුදුරුවෝ, බෞද්ධ පුද පූජා සංස්කෘතිය ආදී ග්‍රන්ථ එම අගනා ග්‍රන්ථ අතර වේ. පරිවර්තන කෘති කීපයකට ද උන්වහන්සේ දායකත්වය සපයා ඇත.

ඉතා දිගු කලක සිට බෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ බුදුසරණ පුවත්පතෙහි ආරාධිත ලේඛක ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමකි. දුරකතනයෙන් ලිපියකට කරන ඇරයුම පවා පිළිගෙන නියමිත දිනයටත් පෙර එය අප වෙත යොමු කළ උන්වහන්සේ නිහතමානිත්වයේ කැඩපතක් බඳු ය. විසි පස් වසරකට ආසන්න ඉතා දිගුකලක් අපට පෞද්ගලිකව ම නිසි මඟ පෙන් වූ උන්වහන්සේ ඇසුරු කළ සෑම දෙනාට ම ඉතා පි‍්‍රයශීලී ලෙන්ගතු මහ තෙර නමක් වූහ.

සමාජ මෙහෙවර

බෙල්ලන්විල රජමහා විහාරය කේන්ද්‍ර කර ගනිමින් අගනා සමාජ මෙහෙවරක ද නිරත වූ බෙල්ලන්විල විමලරතන අනුනායක හාමුදුරුවෝ “බෙල්ලන්විල රජමහා විහාරස්ථානය පන්සලෙන් ජනතාවට”යන්න තේමා කර ගනිමින් වසර මුළුල්ලේ ලක්ෂ සංඛ්‍යාත මුදල් වැය කරමින් ළමා, යොවුන් පිරිස් වෙනුවෙන් සිදුකරන අධ්‍යාපන සේවාවන්, ප්‍රජා සංවර්ධන පදනමේ සේවාවන්, ප්‍රජා සත්කාර සේවාවන්, අධ්‍යාත්මික දියුණුව සඳහා සිදු කරන සේවාවන්, වැඩිහිටි සත්කාරක සේවාවන්, වෛද්‍යධාර හා උපකරණ ලබාදීම, ගම්මාන නගා සිටුවීම, නිවාස ලබාදීම ආදී නිහඬ මහඟු මෙහෙවරක් සිදු කළහ.

ඕනෑම ගැටලුවක දී සිය මතය සෘජුව, සරලව සමාජය වෙත ඉදිරිපත් කළ උන්වහන්සේ මනා පෞරුෂත්වයකින් යුක්ත වූහ. කිවයුතු කරුණ කිව යුත්තා අභිමුවෙහි ප්‍රකාශ කිරීමට තරම් ආත්ම ශක්තියක් උන්වහන්සේ තුළ පැවතිණි.

විද්වත් පඬිරුවනක් මෙන් ම සුපේෂල ශික්ෂාකාමී සංඝපීතෘන් වහන්සේ නමක් ලෙස ගිහිපැවිදි උභය සමාජයේ ම මහත් ගෞරවාදරයට පාත්‍රව වැඩ සිටියහ. සසුනඹරේ දිදුලන පහන්ටැඹක් වූ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක හාමුදුරුවෝ ඉකුත් සෙනසුරාදා (03) පෙරවරුවේ අපවත් වී වදාළහ.

ඉකුත් සිකුරාදා බුදුසරණ මුද්‍රණය සඳහා සියලු කටයුතු යොදා තිබුණ ද බෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත්වී වදාළ හෙයින් බුදුසරණ පිටු කිහිපයක් නැවත සකස් කරන ලද්දේ ‘බුදුසරණ’ සාතිශය සංවේගය ද පළ කරනු සඳහා ය. ඒ සඳහා ලේක්හවුස් ආයතනයේ පාලන අධිකාරිය ලබා දුන් අනුග්‍රහය කෘතවේදී ව මෙහි දී සිහිපත් කරමු.

බෙල්ලන්විල විමලරතන අනු නායක හාමුදුරුවන්ගේ අපවත්වීම සම්බුදු සසුනටත් සමාජයටත් මහත් පාඩුවකි.

සිය විහාරස්ථානයේ දී සිදු වූ හදිසි අනතුරකට මුහුණ පෑමෙන් පසු කොළඹ පෞද්ගලික රෝහලක දී සිදු කරන ලද ශල්‍යකර්මයකින් අනතුරුව මතු වූ හෘදයාබාධයකින් උන්වහන්සේගේ අපවත්වීම සිදු වූ බව වෛද්‍යවරු තහවුරු කර ඇත.

අපවත් වී වදාළ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය මෙම මස 8 වන දා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදු කෙරේ.

අපවත්වී වදාළ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට අමා මහ නිවන් සුව පතමු.