පුනර්භවය 02
භව ගමන
කෙසේ සැකසේ ද?
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම්
සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක ආචාර්ය
මිරිස්සේ ධම්මික හිමි
යම් කුසල කර්මයක් සකස් වන්නේ නම් මල් වතු, උයන් වතු, දිව්‍ය ලෝක ආදි වශයෙන් වූ ගති
නිමිති සිතෙහි පහළ විය හැකි ය. අකුසල කර්මයක් සකස් වූයේ නම්, ගින්දර, තිරිසන්
සත්ත්වයන්, අවි ආයුධ, රුධිරය, අපාය වැනි ස්ථාන මතුවී පෙනෙන්නට පුළුවන.
ඇස, කන ආදී ඉන්ද්‍රියයන් පහෙන් අරමුණු දැන ගන්නා වු සිත හෙවත් පංච ද්වාරජ්ජන සිත
හටගෙන නැති වන්නේ ය. ඉන්පසු මනෝ ද්වාරජ්ජණ සිත හට ගන්නේ ය. නැති වන්නේය. ඉන්පසු
ජවන් සිත් පහක් වේගයෙන් හට ගනී. ඒවා ද නැතිව යයි. ඉන්පසු පුනර්භවය කරා යෑමට
සත්ත්වයාට මඟ සලසා දෙමින් තදාලම්භන සිත හට ගන්නේ ය. එනම් සසරෙහි පැවැත්මට උපකාරවන
අයුරින් තදාලම්භන සිත හටගෙන නැතිව යන්නේ ය.
ඉන් අනතුරුව බොහෝ කෙනෙක් නිරතුරුව සඳහන් කරන භවනාංගයේ අවසන් අවස්ථාව හෙවත් චුති
චිත්තය හට ගන්නේ ය. එය ද නැතිව යන්නේ ය. චුති චිත්තය අවස්ථාවට පැමිණෙන විට මරණයට
පත් වු පුද්ගලයාගේ, කර්මයේ සිට කුසල කර්ම නම් සකස් වෙමින් පැමිණ චුති චිත්තයට ද
කුසල කර්මය ම හටගෙන නැතිව යන්නේ ය.අකුසලයක් නම් කර්මයේ සිට මේ අවස්ථාව දක්වා ගමන්
කළේ නම්, චුති චිත්තයට අකුසල කර්ම මුදුන්පත් වී ඒ අනුව චුති චිත්තය අවසන් වන්නේ ය.
චුති චිත්තය හට ගෙන නැතිව යන විට ම පුනර්භවය හෙවත් නැවත ඉපදීම සිදුවන්නේ ය. එය
හඳුන්වනුයේ චුතියෙන් අනතුරුව පටිසන්ධි චිත්තයක් සකස්වීම යනුවෙනි. එම පටිසන්ධි
චිත්තය ඉපදීම හෙවත් සකස්වීම පුනර්භවය යි. එනම් නැවත ඉපදීමයි.
නැවත ඉපදීමේ අවස්ථාව ද මේ ආකාරයෙනි. එනම් මවගේ ඍතුවීම, මවුපියන්ගේ සංවාසය හා
ගන්ධබ්භයකුගේ පැමිණීමයි. බෞද්ධ දර්ශනයට අනුව සත්ත්වයකුගේ නැවත ඉපදීම සඳහා මේ අවස්ථා
තුන සම්පූර්ණ විය යුතු වන්නේ ය. ගන්ධබ්භයකුගේ පැමිණීම නම් දින කිහිපයක් උපතක්
සොයමින් හිස් අවකාශයේ පා වීමක් ය යන මිථ්‍යා අදහසක් නොවේ. එනම් චුතියෙන් අනතුරුව
කර්මානුරූපවම නැවත මව් කුසක සකස්වීමට පැමිණියා වූ පටිසංන්ධි විඤ්ඤාණය ම යි.
සත්ත්වයකු උප්පත්ති ලබන ආකාර සතරක් පිළිබඳව ධර්මයේ පෙන්වාදී ඇත. එනම් අණ්ඩජ –
(බිත්තරයක් ඇතුලේ හටගෙන මෙලොවට බිහිවන සත්ත්වයන් ). ජලාබුජ (මනුෂ්‍යයන් මෙන්
ගර්භාෂයක හට අරගෙන මෙලොවට උපදින සත්ත්වයන්ය), සංසේසජ (කුණු කසළ එකතුවන තැන්හි
උප්පත්තිය ලබන සත්ත්වයන්) ය. ඕපපාතික (දෙවියන්, බ්‍රහ්මයන්, නිරයේ හා පේ‍්‍රත
විෂයෙහි උප්පත්ති ලබන්නන්, එනම් ස්වභාවයෙන් ඉබේ පහළවන සත්ත්වයන්ය). මේ සතර ආකාරයෙන්
ම උපත ලබන සත්ත්වයන්ගේ මරණයට පත්වීම හා නැවත ඉපදීමේ කතාව පෙර කතා කළ පරිදිම ය. ඒ
නිසා අප විසින් කළ යුතු වන්නේ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කළ ශ්‍රී සද්ධර්මය
මෙනෙහි කිරීම ය.
එදා දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාද මූලයේ දී අප බෝසතාණන් වහන්සේ පළමු නියත විවරණය
ලැබූහ. ඒ සුමේධ තාපසයෙක් ව ඉපැද බවුන් වඩා සම්මා සම්බුද්ධත්වය අරමුණු කිරීමේ දී
උන්වහන්සේ ඇතිකරගත් අදහස සිහිපත් කරන්න. ඒ උතුම් අරමුණ නම් නැවත ඉපදෙමින් සසරේ
දුක්විඳින සියලු සත්ත්වයන් දුකින් නිදහස් කිරීමට තමන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ
කිරීම ය.
සාරාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් අපමණ දුක් විඳිමින්, දානාදී පාරමී ධර්ම සම්පූර්ණ කළ
උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට වැඩම කළ සේක. සම්මා සම්බුද්ධත්වය ලබන්නට පෙර
උන්වහන්සේ ත්‍රිවිධ්‍යා ඤාණ හා චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කළ සේක. එනම්
පුබ්බේනිවාසානුස්සති ඤාණය, චුතූපපාත ඤාණය හා ආසවක්ඛය ඤාණය යන්නයි. මේ දියුණුූ කළ
ඤාණයෙන් තමන් වහන්සේගේ මෙන් ම සියලු සත්ත්වයන්ගේ මරණය හා නැවත ඉපදීම නම් වූ චුති
උපත පිළිබඳව නුවණින් දුටු සේක.
භාග්‍යවතුන් වහන්සේ පසු සූත්‍ර දේශනාවන්හි දේශනා කරනු ලැබුයේ, “අනවමතග්ගෝ යං භික්ඛ
වේ සංසාරො පුබ්බාකෝටි නපඤ්ඤායති
මේ සසර, එනම් මේ භවය කෙළවරක් නැත. ආරම්භයක් නො පෙනෙන්නේ ය යනුවෙනි.
එලෙසම භාග්‍යවතුන් වහන්සේ වදාළේ, මේ සත්ත්වයෝ නැවත ඉපදෙමින් සසරේ ගමන් කිරීමේ දී
සත්ත්වයන් අතර අම්මා නොවු කෙනෙක් සොයාගත නොහැකි බව ය. එදා ඒ මහා දඹදිව පැවති සියලු
ගහ කොළ, තෘණ වර්ග කපා එක්තැන් කොට, අඟල් හතරේ කෑලි බවට කපා වෙන්කොට තබා මේ මගේ
අම්මා, ඒ අම්මාගේ අම්මා ආදි වශයෙන් මව් පරම්පරාව ගණන් කරමින්, අර අඟල් හතරේ කෑලි
ඉවත් කිරීම අවසන් වූවත් මව් පරම්පරාව නම් අවසන් නොවන බව ය. පිය පරම්පරාව ද දෙබර ඇට
උපමාව දක්වමින් දහම් පෙළක් දේශනා කළ සේක.
සියලු සත්ත්වයෝ කර්මානුරූපව නැවත ඉපදෙමින් සසරෙහි ගමන් කරන බවත්, කර්මානුරූපව භවය
සාදා ගන්නා වූ සත්ත්වයන් වැඩි වශයෙන් උපත ලබා ඇත්තේ සතර අපායේ බවත් උන් වහන්සේ වදාළ
සේක.
මේ බව නුවණින් දැක කුසල කර්ම සිදු කරමින් පළමුව සුගතිය අරමුණු කරන්න. ඒ සුගතිය ද
නැවත දුකකට පත්වන බව දැන , භවය නැති කිරීම පිණිස භව නිරෝධය පිණිස හේතුවන කුසල්
මාර්ගය සම්පූර්ණ කරන්න. එසේ සම්පූර්ණ කිරීමෙන් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පිණිස
සතර සම්‍යග් ප්‍රදන් වීර්යයෙන් පෙන්වා දෙන වීර්යය ම උත්සාහ කළ යුතු වන්නේ ය.
දීපා පෙරේරා |