සාර්ථකත්වයේ රහස
පොල්ගහවෙල
මහමෙව්නා භාවනා
අසපුවේ
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ
ඤාණානන්ද හිමි
ගිහි හෝ වේවා, පැවිදි හෝ වේවා ජීවිතය සාර්ථක කර ගැනීම පිණිස අපට බොහෝ උපකාර වන්නේ
ධෛර්යය, උත්සාහය සහ වීර්ය ය. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ එය උට්ඨාන සම්පදාව
හෙවත් නැඟී සිටීමේ වීර්යය නමින් හඳුන්ව යි. තමන්ගේ යහපත පිණිස පවතින මේ උතුම් ගුණය
බොහෝ දෙනෙක් තුළ දකින්නට නො ලැබේ. ඒ නිසා ම බොහෝ දෙනෙකු ජීවත්වන්නේ අසතුටිනි.
තමාතුළ යම් දක්ෂතාවයක් තිබුණත් කුසීතකම නිසා එය හඳුනා ගැනීමට බොහෝ දෙනෙකුට නොහැකි
වෙයි. ඒ නිසා උත්සාහය වීර්ය අත්හැර නිකරුණේ කාලය ගෙවා දමයි. මේ ස්වභාවය තමන්ගේ
ලෞකික දියුණුව බලවත් හානියකි. ඒ වගේ ම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකු ලෙස ධර්ම
මාර්ගය දියුණු කර ගන්නට ද එය මහත් වූ බාධාවකි.
ඈත අතීතයේ කසී රට බරණැස් පුරයේ බ්‍රහ්මදත්ත නම් රජෙක් රාජ්‍ය කරන සමයේ මහාබෝසතාණන්
වහන්සේ ජීවනෝපාය ලෙස ගැල් වෙළෙඳාම් කරන පවුලක උපන්නහ. තරුණ වියට පත් වූ විට ඔහු ඉතා
හොඳ ගැල් වෙළෙන්දෙක් බවට පත් විය. දිනක් පන්සියයක් වූ තම ගැල් පිරිසත් සමඟ බෝසත්
වෙළෙන්දා වෙළදාමේ පිටත් වුණි. ඒ ගමන යෙදී තිබුණේ මහා කාන්තාරයක් හරහා ය. ඔවුන්ට සැට
යොදුනක් පමණ වූ මහා කාන්තාරයක් තරණය කළ යුතුව තිබුණි. දවල් කාලයේ තද අව් රස්නය නිසා
කාන්තාර ගමන ඉතා අපහසු විය. එ නිසා නිරන්තරයෙන් ම ගමන් කළේ රාත්‍රී කාලයේ ය. දවාලයේ
එක තැනක ගැල් කරත්ත ගාල් කර නවාතැන් ගනිති.
රාත්‍රි කාලයේ ගමන අපහසු වූයේ අඳුර නිසා ය. මාර්ගය නො වරදවා ගෙන ගමන් කරන්නේ ආකාසේ
තරු රටාවලින් දිශාව හඳුනා ගන්නට දක්ෂ මඟ පෙන්වන්නෙකුගේ උපකාරයෙනි. මේ ගැල් පිරිසේ
මඟ පෙන්වන්නා පනස් නව යොදුනක් ම හොඳින් මඟ පෙන්වී ය. ගමනාන්තයට තව ඇත්තේ එක්
යොදුනක් පමණි. පිරිස කතිකා කොට ඒ යොදුනට සෑහෙන ආහාරත්, ජලයත් තබාගෙන අනෙක් සියල්ල
ඉවත දමා කරත්ත සැහැල්ලු කර රාත්‍රියේ නැවත ගමන ආරම්භ කළහ. එදින මඟ පෙන්වන්නාට නො
සිතු ලෙස නින්ද ගියේ ය. මඟ පෙන්වන්නෙක් නො මැති නිසා ගවයන් වැරැදි මාර්ගයන් හි ඇවිද
නැවතත් සිටි තැනටම ආවේ ය. බොහෝ වෙලාවක් ගත වූ පසු මඟ පෙන්වන්නා නින්දෙන් අවදි විය.
දැන් ඔවුන්ගේ කෑම සහ බීම ප්‍රශ්නයක් විය. දිනකට සෑහෙන කෑම කිසිවක් නො තිබුණි.
සියල්ලෝ ම කලබල වූහ. දැඩි අව් රශ්මිය නිසා පැන් හි අවශ්‍යතාවය වැඩි විය. නමුත් අප
මහා බෝසතාණෝ කලබල වුයේ නැත. මඟ පෙන්වන්නාට දොස් නැඟුවේ ද නැත. ඔහු මේ විපතින්
බේරෙන්නේ කෙසේ ද කියා විමසා බැලී ය. වටපිට බලද්දී දුටුවේ එක් තැනක කුස තණ පැළවී
තිබෙන ආකාරය යි. ඔහු . ඉක්මනින් ම පිරිස කැඳවා මෙසේ කී ය.
"මිත්‍රවරුනි, අප හැම දෙනා ම එක් වී වීරියෙන් කටයුතු කළ යුතුයි. මේ ස්ථානයේ මෙලෙස
කුස තණ පඳුරක් තිබෙන්නේ දිය පාරක් යටින් ගලන නිසා ම විය යුතු යි. අපි හැම දෙනා
සමගිව මේ ස්ථානය හාරා ජලය සොයා ගනිමු."
සතුටට පත් සියල්ලෝ ම සමඟියෙන් කැණීමේ කටයුතු ආරම්භ කළහ. රියන් හැටක් යටට හැරූ විට
උදැල්ල වැදුණේ ගල් තලාවක ය. සියල්ලන්ගේ ම බලාරොත්තු සුන් විය. සා පිපාසයෙන් මිය
යන්නට සිදුවේයැයි කියමින් හඬා වැටුණි. නමුත් බෝධිසත්ත්වයෝ කලබල වූයේ නැත. ඔහු ළිඳට
බැස ගල් තලාවට කන තබා බැලුවේ ය. ගල් තලාව යටින් දිය පාරක් ගලා යන හඬ හොඳින් ඇසුණි.
නමුත් ඒ වෙද්දී සියල්ලෝ ම වීරිය අත්හැර දමා සිටියෝ ය. කිසිවෙක් තවත් හාරන්නට කැමැති
නො වූහ.
ඒ අතරේ එක් තරුණයෙක් සිටියේ ය. බෝසතාණෝ මේ තරුණයා කැඳවා පුත්‍රය, නුඹ ශක්තිවන්තයි.
නුඹ උත්සාහවත් නො වුණොත් මේ පිරිස ම අනතුරේ ය. ඒ නිසා කුළු ගෙඩියෙන් එක දිගටම ගල්
තලාවට ගසා බලන්නැයි කියමින් බෝසතාණෝ ඔහු උත්සාවත් කරවූහ. කීකරු වූ ඔහු ඒ ගලට පහර
දෙන්න පටන් ගත්තේ ය. කොයිතරම් වෙහෙසුණ ද ජලය මතු වූයේ නැත. ඔහු උත්සාහය අත හැරියේ ද
නැත. අවසානයේ ගල බිඳගෙන තල් කඳක් බඳු දිය පහරක් මතු වුණි. සතුටට පත් සියලු දෙනාම
ඇති තරම් ජලය බී ස්නානය කර සුවපත් වූහ.
අපගේ ජීවීතයේ ද යම් යම් ප්‍රශ්න ගැටලු හමුවේ අප බොහෝ සේ මැළි වෙමු. මේ දේ කරන්න
බැහැ මට හරියන්නේ නැහැ කියමින් උකටලි වෙමු. එවිට අප බොහෝ සේ පිරිහේ. එනිසා ලැබුණු
මිනිසත් බව ලෞකික මෙන් ම ලෝකෝත්තර වශයෙන් ද ජය ගැනීමට අප තුළ උත්සාහය, වීර්යය,
ධෛර්යය මෙන් ම බොහෝ කැපකිරීම ද අනිවාර්යයෙන් අවශ්‍ය වනු ඇත.
නයනා නිල්මිණි |