බුදුන් උපන් දේශයේ බුදු දහම
යළි පණ ගන්වමු
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ
දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය
ඕමල්පේ සෝභිත නා හිමි
මේ වසරේ ආරම්භයත් සමඟ ඉන්දියාවේ මහා රාෂ්ට්‍රයේ විශාල උද්ඝෝෂණයක් පැතිරී ගියේ ය.
කුලහීන යැයි සැලකෙන දාලිත් නම් වූ ජනවර්ගයට එරෙහිව කුලීනයැයි සම්මත බ්‍රාහ්මණයින්
ඇතුළු අන්තවාදීන් පිරිසක් ඔවුන්ට ප්‍රහාර එල්ල කළහ.
ඉන්දියාවේ බෞද්ධ ජනගහනය කෝටි 15 ට වැඩි ය. ඒ අතර මහරාෂ්ට්‍රයේ පමණක් සියයට හයක් පමණ
පිරිස් බුදු දහම වැළඳගත් අය ය. මේ අනුව බලන විට ඉන්දියාව පුරා අති විශාල බෞද්ධ
ජනගහනයක් සිටින බව පැහැදිලි ය.
කුලහීන බව සලකමින් දාලිත්වරුන්ට නිරන්තර අඩම්තේට්ටම් සිදුවන බව ප්‍රකාශිත ය. මේ
පිරිස් පසුගියදා බෞද්ධ ධජය පෙරදැරි කරගෙන වීදි බසින්නේ සම මානව අයිතිවාසිකම් ඉල්ලා
සිටිමිනි. එය වරදක් යැයි බැහැර කළ නො හැකි ය. කුලීනයන්ට සේ ම කුලහීනයන් ටද සම මානව
හිමිකම් ඉල්ලා සිටීමට ඇති අයිතිය මිනිසුන් ලෙස බැහැර කළ නො හැකි ය.
අශෝක අධිරාජයා විසින් දිග් විජය හැර ධර්ම විජය ප්‍රතිපත්තිය ඇරඹූ ක්‍රි.පූ. තුන්වන
සියවසේ සිටම ඉන්දියාවේ බලවත් ම රාජ්‍ය ආගම වූයේ බුද්ධාගමයි. ක්‍රි.ව. 07 වන සියවස
දක්වා ම බුදුදහම රාජ්‍ය ආගම ලෙස ඉන්දියාව තුළ බැබළිණි. එහෙත් පසුකාලීනව සිදු වූ
විවිධ දේශපාලන ආක්‍රමණ නිසා බුදුදහම ටිකෙන් ටික පිරිහීම ආරම්භ වුණි.
නාලන්දා ,ජගද්දලා ,ඕදන්තපූරි, තක්ෂිලා ආදී ජාත්‍යන්තර තත්ත්වයේ මහා බෞද්ධ
විශ්වවිද්‍යාල ගිනි තබා විනාශ කෙරුණි.
මෑත යුගයේ ඉන්දියාවේ අලුතෙන් බෞද්ධ පුනරුදයක් ඇති වුණේ ඊ.ආර්. අම්බෙකාර්තුමා
ප්‍රධානව ලක්ෂ ගණනක් ඩාලින් වංශිකයන් බෞද්ධාගම වැළඳ ගැනීමත් සමඟ ය.
1956 ඔක්තෝබර් 14 දා නාග්පූර් නගරයේ දාලින් වංශිකයෝ ලක්ෂ 5 ක් පමණ බුදුදහම
වැළඳගත්හ. ඒ ආදර්ශයෙන් කෝටි ගණනක් ජනතාව බෞද්ධාගමට සමීප වූහ. බුදුදහම වැළඳගත්හ.
එහෙත් මේ පිරිසට අයිතිවාසිකම් හිමි මිනිසුන් ලෙස නැඟී සිටින්නට, සමාජ ජීවිතයක් ගත
කරන්නට ශක්තියක්, බලයක් නැත. නිතර වංශිවතුන්ගේ හිරිහැරවලට ලක්වෙන්නට සිදුව ඇත.
අද බුදුන් උපන් දේශයේ භික්ෂූන් වහන්සේට, බුදු දහමට නිසි බලයක් හිමි ව නැත. ඉන්දියාව
තුළ සාමය තහවුරු වීමට නම්, ලෝක ශිෂ්ඨාචාරයේ කළු පැල්ලම් වලින් මිදෙන්නට නම් වහ වහා
බුදු දහම සවිබල ගැන්විය යුතුව ඇත. ඉන් අර්ථවත් කෙරෙන්නේ සාමය,කරුණාව, මෛත්‍රිය
ගුණයෙන් පිරිපුන් අපගේ ශාස්තෘන් වහන්සේගේ , තථාගත බුදුරජාණන් වහන්සේ පණිවුඩය
ඉන්දියාව පුරා යළි තහවුරු කිරීම ය. අතීතයේ මෙන් අපේ මිතුරු අසල්වැසි රාජ්‍යයට ශ්‍රී
විභූතිය උදාකර දීමට හැකි වන්නේ එවිට ය.
මානව හිමිකම් පමණක් නොව සියලු සත්ත්වයින්ගේ හිමිකම් රැකුණු කුසලතා පවා සුරැකුණු
විශ්ව හිතවාදී රාජ්‍ය පාලනයක් අශෝක අධිරාජ්‍යයා විසින් ක්‍රියාත්මක කරනු ලැබුවේ
බුදුදහම මුල් කරගෙන ය. ඒ ශ්‍රී විභූතිය නැවත ඉන්දියාවට හිමි කර ගන්නට නම් මේ දහම්
පණිවුඩය රට පුරා පැතිරී යා යුතු ය.
මේ සුවිශේෂ, භාරදුර කාර්ය භාරය ඉටු කරලීම සඳහා , බුදුන් උපන් දේශයේ බුදුදහම යළි
තහවුරු කිරීම සඳහා විශිෂ්ටතම සේවාව කළ හැකි හොඳම මිතුරා ලංකාව ය. කුමක් නිසා ද?
එදා දේවානම්පියතිස්ස රජ දවසේ අශෝක රජුගේ අනුග්‍රහයෙන් ලද සම්බුදු දහමේ පණිවුඩය
ලංකාවේ මැනවින් ස්ථාපිත විය. ක්‍රි.පූ. 3 වන සියවසේ සිට අද දක්වාත්, ඉතා දිගු
කාලයක් ඒ පිරිසිදු බුදුදහම මේ ලක්දිව තුළ අඛණ්ඩව ආරක්ෂාවුණි. එදා බුදු දහම පදනම් කර
ගනිමින් පැවති චින්තනය , දර්ශනය, ජීවන ප්‍රතිපදාව අද වන විට ලංකාවේ විශිෂ්ට ලෙස
සුරැකී තිබේ.
දැන් අප විසින් කළ යුතු වෙසෙස් කාර්යභාරයක් තිබේ.
ලංකාවේ බෞද්ධ සංවිධාන, ඉන්දියාවේ බෞද්ධ සංවිධාන සමඟ එක්වී දෙරටේ ම රාජ්‍ය
තාන්ත්‍රික සබඳතා උපයෝගී කොට ගෙන බුදුන් උපන්බිම යළි බුදු දහම තහවුරු කළ යුතුව ඇත.
ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ගය පිළිබඳ මහාවංශයේ 19 වැනි පරිච්ඡේදයෙන් මා හැඟි
ආදර්ශයක් ලද හැකි ය.
එදා මිහිඳු මා හිමියන්ගේ අනුශාසනා අනුව දේවානම්පියතිස්ස රජු වෙහෙර විහාර ඉදිකළේ ය.
මහා විහාරය, ථූපාරාමය, ගොඩනැඟුවේ ය. අනතුරුව “ස්වාමීනි, දැන් මගේ රටේ බුදුදහම
ස්ථාපිත වූයේ ද” යි රජු ඇසුවේ ය.
“නැත මහරජතුමනි, තවමත් මේ දීපයේ බුදුදහම ස්ථාපිත නොවූයේ ය” යි මිහිඳු මාහිමියෝ
පිළිතුරු දුන්හ.
“මහරජ, මේ රටේම කුල දරුවන් පැවිදිකර ධර්මය, විනය ඉගෙන මේ රටේ ජනතාවට ධර්මය කියා
දෙන්නට පොහොසත් වූයේ නම් පමණයි මේ රටේ බුදුදහම තහවුරු වන්නේ ”.යැයි පැහැදිලි කළහ.
එවිට පැවිදිබව ලබන්නට අරිට්ඨ ඇමැති ඉදිරිපත් විය. ඒ මඟ යමින් සිය දහස් ගණනක් පැවිදි
වූහ. ධර්මය ඉගෙන ගත්හ. විනය ඉගෙන ගත්හ. උපසම්පදාව ලැබූහ.
ඉන්දියාවට අද දීමට හැකි පණිවුඩය මෙයයි. ඉන්දියානු කුල පුත්‍රයන් වඩ වඩාත් පැවිදිකොට
ධර්ම විනය ඇතුළු භාෂා දැනුමෙන් සන්නද්ධ කර ඉන්දියාවේ ධර්ම ප්‍රචාරය ආරම්භ කළේ නම්
පමණයි මේ කාර්ය මැනවින් ඉටු කළ හැකි වන්නේ.
ශ්‍රී ලාංකීය ගිහි , පැවිදි සංවිධාන මේ උත්තරීතර යුතුකම ඉටුකිරීමට අධිෂ්ඨාන කරගත
යුතුව තිබේ. අනගාරික ධර්මපාලතුමා මේ උදාර සේවාව වෙනුවෙන් ජීවිතය කැප කළහ. ධර්ම
ප්‍රචාරය සඳහා මනා වැඩ පිළිවෙළක් අත්‍යවශ්‍ය ය. එතුමා කළ සේවය තව තවත් මල්ඵල
ගැන්වීමට ඉන්දියානු භික්ෂූන් වහන්සේට ධර්ම විනය පුහුණු කරවීම ලංකාවෙත් ආරම්භ කළ
යුතුව ඇත.
මේ සඳහා මූලික පහසුකම් සැලසීමට අප සූදානම් ය. එහෙත් ඒ සඳහා රටේ බෞද්ධ සංවිධාන, ගිහි
පැවිදි සංවිධාන කාර්යක්ෂම ඉදිරිපත්වීම අත්‍යවශ්‍ය ය.
ඒ අනුව අද ලක්ෂ ගණනින් මානව හිමිකම් අහිමිව හිරිහැරවලට භාජනය වී සිටි බෞද්ධයින්ට
ආත්ම ගෞරවයෙන් නැඟී සිටීමට බුදුදහමේ ඉගැන්වෙන සාමයේ පණිවුඩය පතුරුවන්නට, දුර දක්නා
නුවණින් කටයුතු කරන්නට බෞද්ධ සංවිධානවල කැපවීම අපේක්ෂා කරමු.
රමණී සුබසිංහ |