කැලණියේ
දුරුතු මහා පෙරහර
පූජෝත්සවය
සම්බුදු සිරිපා පහසින් පරම පූජනීයත්වයට පත් වූ ඓතිහාසික කැලණිය පුදබිම සම්භාවණීය
මෙන් ම සුවිශේෂී බවින් ද අනූන ය. එම පුණ්‍යභූමිය ලෝකවාසී බෞද්ධ ජනතාවගේ පුද පූජා
සත්කාරයන්ටත්, ගෞරවාදරයටත් පත් වූයේ දුරාතීතයේ සිට ය. ජීවිත කාලයෙන් එක් වරක් වුව
සැදැහැ සිතින් කැලණි පුදබිම වන්දනා කිරීම එතෙක් කළ සියලු පව් දුරලන මහෝත්තම
පින්කමක් ලෙස ලක්දිව බොදු ජනයා විසින් ඉතිහාසය පුරා පිළිගනු ලැබුයේ එම සුවිශේෂත්වය
නිසා ම විය යුතු ය.
ලක්වැසි අපට ආවේණික වූ බොදු හැදියාව හෙවත් ශ්‍රී ලාංකේය බෞද්ධ සංස්කෘතිය අපූර්ව
වූත්, අනන්‍ය වූත් ලක්ෂණවලින් ම පොහොසත් ය. තථාගත බුදුපියාණන් වහන්සේ ප්‍රමුඛ
තෙරුවන මමත්වයෙන් ගරු කොට ආරක්ෂා කරමින් වෙහෙර විහාර මෙන් ම බෞද්ධ සම්ප්‍රදායයන් හා
සිරිත් විරිත් සුරක්ෂිත කොට පෝෂණය කිරීම තම දිවියේ එක් කොටසක් ලෙස සලකන ලක්වැසියෝ
ගැඹුරු අවබෝධයකින් ද සුවිශේෂී කැපවීමකින් ද ඊට දායක වෙති.
සෑම වසරක ම දුරුතු මස උදාවීමත් සමඟ බුදුපියාණන් වහන්සේගේ තෙවන ලංකාගමනය ඉමහත්
ගෞරවයෙන් අනුස්මරණය කරමින් ඓතිහාසික කල්‍යාණි රාජමහා විහාරස්ථානයෙහි පැවැත්වෙන
දුරුතු පුණ්‍යොත්සව මාලාවට කැලණි ප්‍රදේශයේ බොදු ජනතාව සමඟ සමස්ත ලක්වැසි බොදු
ජනතාව ඉත සිතින් කැපවී දායක වනුයේ ද ඉමහත් බුද්ධාලම්බන පී‍්‍රතියෙනි.
සම්බුදු සිරිපා පහසින් පරම පූජනීයත්වයට පත් වූ ඓතිහාසික කැලණිය පුදබිම සම්භාවණීය
මෙන් ම සුවිශේෂී බවින් ද අනූන ය. එම පින්බිම ලෝකවාසී බෞද්ධ ජනතාවගේ පුද පූජා
සත්කාරයන්ටත්, ගෞරවාදරයටත් පත් වූයේ දුරාතීතයේ සිට ය. ජීවිත කාලයෙන් එක් වරක් වුව
සැදැහැ සිතින් කැලණි පුදබිම වන්දනා කිරීම එතෙක් කළ සියලු පව් දුරලන මහෝත්තම
පින්කමක් ලෙස ලක්දිව බොදු ජනයා ඉතිහාසය පුරා පිළිගනු ලැබුයේ එම සුවිශේෂත්වය නිසා ම
විය යුතු ය.
විවිධ අර්ථයන්ගෙන් ලංකාවේ ජන සමාජය නැවුම් මුහුණුවරක් ගෙන ඇති පසුබිමක මෙවර ද කැලණි
විහාරයේ දුරුතු පුණ්‍ය මහෝත්සවය ඓතිහාසික කල්‍යාණි රාජමහා විහාරය හා කිත්සිරිමෙවන්
කැලණි විහාරය යන උභය විහාරාධීශ්වර අතිපූජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද
සංඝරක්ඛිතාභිධාන නාහිමියන්ගේ මඟ පෙන්වීමෙන් හා මෙහෙයවීමෙන් තෙමසක පමණ කාලයක් පුරා
මහත් ශ්‍රද්ධාවෙන් ද සුවිශේෂ සම්භාවනීය හා පූජනීය බවකින් ද යුක්තව පවත්වනු ලැබීම
ලංකාවාසී සියලු බෞද්ධ ජනයාගේ ප්‍රසාදා නන්දයට හේතු වී ඇත. දුරුතු මස 28, 29 හා 30
දිනවල ඓතිහාසික පෙරහර පුණ්‍යමහෝත්සවය පැවැත්වේ.
නොවැම්බර් මස පුන්පොහෝ දින සිට පුරා තුන් මසකට අධික කාලයක් දිනපතා චිර ප්‍රසිද්ධ
ධර්ම දේශකයාණන් වහන්සේලා විසින් පවත්වනු ලබන සුමධුර ධර්ම දේශනා මාලාවකින් කැලණි
දුරුතු පුණ්‍යමහෝත්සවයේ සමාරම්භය සනිටුහන් කෙරේ. එහි සමාප්තියත් සමඟ ලක්වැසි සැමට
සෙත්පතා පැවැත්වෙන සත්වරුවේ මහා පරිත්‍රාණ ධර්ම දේශනය ආරම්භ වෙයි. පිරිත් දේශනාවට
ආවේණික පෞරාණික මෙන් ම සාම්ප්‍රදායික අභිචාර හා චාරිත්‍ර විධි සියල්ල නොපිරිහෙළා
සපුරමින් මෙම දුර්ලභ පින්කම පැවැත්වේ. ඊට ලක්දිව සිවු දිගින් වැඩමවන දක්ෂ හා
ව්‍යක්ත පරිත්‍රාණ ධර්ම දේශකයාණන් වහන්සේලාගේ සහභාගීත්වය හා දායකත්වය හිමි වීම බොදු
ජනයාගේ භාග්‍යයකි. දොරකඩ අස්න හා අනුශාසනා දේශනාවෙන් පරිසමාප්තියට පත්වන පරිත්‍රාණ
ධර්ම දේශනා මහ පින්කම දුරුතු මසින් උදාවන නව වසරේ ලක්වැසි සැමට ඉමහත් ආශීර්වාදයක්
ලෙස සලකනු ලැබේ.
අනතුරුව උදා වන්නේ සුවිශේෂී පෙරහර උත්සව සමයයි. පිරිත් දේශනාවට පූර්වයෙන් ද අලංකාර
පරිවාර පෙරහර කිහිපයක් පැවැත්වේ. කැලණිය පොලීසිය, පිලපිටිය මහා විද්‍යාලය හා ශ්‍රී
කල්‍යාණී ධර්ම විද්‍යාලය සංවිධානය කරන එම පෙරහර මෙවර විවිධ අලංකාර නවාංගයන්ගෙන්
ශෝභමානව අත්‍යාලංකාරයෙන් පැවතියේ ඊට දායක, මූලික හා කාරක වූ සියල්ලන්ගේ මහත්
ශ්‍රද්ධාව හා කැපවීම ම හේතුවෙනි.
කැලණි දුරුතු පින්කම් මාලාවේ සුවිශේෂාංගය මෙවර අත්‍යාලංකාරයෙන් හා අතිඋත්කර්ෂවත්
අයුරින් පැවැත්වීමට කටයුතු සංවිධානය කෙරෙන පෙරහර මහෝත්සවයයි. පිළිවෙලින් ජනවාරි 28
වන දින උඩමළුවේ පෙරහර ද, ජනවාරි 29 වන දින ධාතු පෙරහර ද, 30 වන දින අවසන් රන්දෝලි
මහා පෙරහර ද පැවැත්වේ. ඊට පරිවාර පෙරහර වශයෙන් විෂ්ණු, කතරගම හා විභීෂණ දේවාල පෙරහර
එක් වේ. අඩ සියවසකට ආසන්න, අලංකාර ලෙස සරසනු ලැබූ අලි ඇතුන් සමූහයකින් ද, උඩරට,
පහතරට හා සබරගමු යන ත්‍රිවිධ සම්ප්‍රදායන්ට අයත් සිය ගණනක් ශිල්පීන්ගේ වාදන හා
නර්තනාංගයන්ගෙන් ද අත්‍යලංකාර වන මෙවර පෙරහර දෙස් විදෙස් ජනයාගේ ඉමහත් බුද්ධාලම්බන
පී‍්‍රතියට හේතුවනු ඇත. එසේ ම එය එළඹුණු නව වසරේ අගනුවර ආසන්නයේ මුළු දෙන මහා
සංස්කෘතික මංගල්‍යය ද වනු ඇත.
ජනවාරි 31 වන දිනට යෙදෙන දුරුතු පුර පසළොස්වක පුන් පොහෝ දින දවස පුරා පැවැත්වෙන දාන
ශීල භාවනා පින්කම් මාලාවෙන් මෙම මාහැඟි ආශීර්වාදාත්මක පුණ්‍ය මහෝත්සවය නිමාවට
පත්වේ.
දිවයිනේ නන් දෙසින් මෙම උත්සව හා පින්කම් මාලාවට සහභාගිවීම සඳහා පැමිණෙන දේශීය
සුපින්වතුන්ගේ මෙන් ම මෙම දුර්ලභ අවස්ථාවන් සියැසින් දැක විඳ ගැනීමට පැමිණෙන
විදේශික සැමට අවශ්‍ය පහසුකම් සැලසීමට ප්‍රදේශයේ රාජ්‍ය හා ස්වේච්ඡා සංවිධානවල
සහභාගීත්වයෙන් හා දායකත්වයෙන් කටයුතු පිළියෙල කෙරේ.
ශ්‍රී ලාංකේය බෞද්ධ සංස්කෘතිය, පෝෂණය හා සංරක්ෂණය කිරීමේ අපගේ ගෞරවණීය නායක
මාහිමිපාණන් වහන්සේගේ උත්කෘෂ්ටාභිප්‍රායට ආශීර්වාදය, දායකත්වය, අනුග්‍රාහකත්වය
සහභාගීත්වය දක්වන පිරිස අතිවිශාල ය. කැලණිය දායක සභාවේ සභාපති අග්‍රාමාත්‍ය රනිල්
වික්‍රමසිංහ මැතිතුමන්, උප සභාපති අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා , ප්‍රධාන
බස්නායක නිලමේ ධම්මික ආටිගල, විභීෂණ දේවාලයේ බස්නායක නිලමේ ලලිත් හපන්ගම, විෂ්ණු
දේවාලයේ බස්නායක නිලමේ ජයරාජ චන්ද්‍රසේකර සහ කතරගම දේවාලයේ බස්නායක නිලමේ සමන්ත
පෙරේරා, දායක සභා, විහාරස්ථ සංවර්ධන සභාව, විශේෂ දායකත්වයන් සපයන පින්වතුන් සහ ආයතන
ශ්‍රී කල්‍යාණී ධර්ම විද්‍යාලය හා මාධ්‍ය ආයතන විශේෂ පුණ්‍යානුමෝදනා පූර්වක ව
සිහිපත් කළ යුතු ය.
මෙවර කැලණි රාජමහා විහාර ආලෝක පූජාවේ දායකත්වය දරනු ලබන්නේ කිරිබත්ගොඩ තිලකවර්ධන
ටෙක්ස්ටයිල් ආයතනයේ සභාපති සුනිල් තිලකවර්ධන මැතිතුමා ය.
කැලණිය රජමහා විහාරයේ
ප්‍රධාන බස්නායක නිලමේ
ධම්මික ආටිගල
|