අරුම පුදුම
ඍද්ධි බලය
කැලණිය විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ ආචාර්ය, පාලි හා බෞද්ධ
අධ්‍යයනාංශයේ මහාචාර්ය
රාජකීය පණ්ඩිත
මකුරුප්පේ ධම්මානන්ද හිමි
ඍද්ධි යන සංස්කෘත වචනය පාලි භාෂාවෙන් බුද්ධ දේශනාවේ සඳහන් ව ඇත්තේ ඉද්ධි යනුවෙනි.
එය සිංහල ව්‍යවහාරයේ ඉර්ධිය යනුවෙන් ද භාවිත වේ. එම වචනයේ තේරුම උසස් බවට පැමිණීම
යන්නයි. කෙනෙකු තුළ පවතින යම්කිසි ගුණ සමුදායක් ලෞකික වශයෙන් හෝ ලෝකෝත්තර වශයෙන් හෝ
ඔහුගේ වැඩීමට හේතුවේ නම් එය ඍද්ධි නම් වේ.
බුදු දහමෙන් කියාදෙන දැහැමි මාර්ගය අනුගමනය කිරීමෙන් කෙනෙකුට ලැබෙන ළාමක වූ
අධ්‍යාත්මික ශක්තියක් ලෙස ඍද්ධි බලය සලකනු ලැබේ. පහත දැක්වෙනුයේ ආර්ය මාර්ගයෙහි
ගමන් කිරීමෙන් මෙන් ම චිත්ත සමාධිය ප්‍රගුණ කිරීම නිසා ලද හැකි එබඳු බල විශේෂයන්
දහයක් පිළිබඳ විස්තරයකි. ඒවා දස ඉද්ධි ලෙස නම් වේ. භාවනාව ප්‍රගුණ කිරීමෙන් කෙනෙකුට
ලැබිය හැකි ධ්‍යාන සමාපත්ති ආදිය පිළිබඳව ඔබ අසා ඇත. චිත්ත පාරිශුද්ධිය ලැබූ
යෝගාවචරයෝ සමාධියෙන් මනස දියුණු කොට ඇති ආකාරය අනුව ප්‍රථම ධ්‍යානය, ද්විතීය
ධ්‍යානය ආදී ධ්‍යානවලට හා ඊට වඩා උසස් සමාපත්තිවලට එළඹෙති. එබඳු උතුමන්ට අධිෂ්ඨාන
බලයෙන් යම් යම් දේ කළ හැකි ශක්තියක් පවති.
අභිඥා පාදක චතුර්ථ ධ්‍යානයට සමවැදුණු යෝගාවචරයෙකුට තමා කැමති නම්, තම ශරීරයෙන් සිය
ගණන්, දහස් ගණන් හෝ ලක්ෂ ගණන් ශරීර මැවිය හැකි ය. ‘මම බොහෝ වූවෙක් වෙමි’යි අධිෂ්ඨාන
කිරීම ‘අධිෂ්ඨාන ඍද්ධි’ යන නමින් හැඳීන්වේ. දෙවැනි ඉර්ධි බලය ‘විකුර්වාණ ඍද්ධි’
යනුවෙන් හැඳීන්වේ. ඇතැම් යෝගාවචරයන්ට තමා තුළ පවතින ගුණ කරණකොට ගෙන තමාගේ ස්වරූපය
අත්හැර වෙනත් එකිනෙක ස්වරූපවලින් පෙනී සිටිය හැකි ය. ඒ අනුව කුමාර, නාග, ගුරුළු ආදී
වෙනස් සත්ත්ව වෙස් මවා දැක්විය හැකි ය.
‘මනෝමය ඍද්ධිය’ තෙවැන්නයි. මනෝමය වශයෙන් හෙවත් සිතින් නිපදවන ලද රූප කාය ගතිය
දියුණු කිරීමට හේතුවන නිසා මනෝමය ඍද්ධිය යැයි කියනු ලැබේ.
මෙම අධ්‍යාත්මික ශක්තිය ඇති යෝගාවචරයාට තම ශරීරය තුළින් මනෝමය කයක් නිර්මාණය කළ
හැකි ය. සිවුවැනි ඍද්ධි බලය නම් කොට ඇත්තේ ‘ඥාන විස්ථාර ඍද්ධිය’ යනුවෙනි. අර්හත්
ඥානයට පෙර හෝ පසුව හෝ එකෙණෙහි උපන් ඥානානුභාවයෙන් ලබන ඍද්ධි බලය එනමින් හැඳීන්වේ.
ශාසන ඉතිහාසයෙහි බක්කුල, සංකිච්ච තෙරුවරුන් සතුව මෙම ඍද්ධි බලය පැවතුණි.
සංකිච්ච තෙරුන් මව්කුස සිටිය දී ම උන්වහන්සේගේ මව කලුරිය කළා ය. මවගේ දේහය චිතකයට
නංවා උලෙන් ඇන දවන විට එම උලක් ගර්භාෂයේ සිටි ළදරුවාගේ ඇසෙහි වැදී ඔහු හැඬීමට පටන්
ගත්තේ ය. එකෙණෙහි එහි සිටි ජනයා වහා මෘත දේහයෙහි කුස පළා දරුවා ගෙන මුත්තණියට බාර
කළහ. එම දරුවා මුත්තණිය විසින් වඩනු ලදුව පුරාකෘත පුණ්‍යභාවයෙන් පැවිදි වී පසුව
රහත් විය. මෙය හැඳීන්වෙනුයේ ‘ඥාන විස්ථාර ඍද්ධිය’ යනුවෙනි. තව ද, සමථ භාවනාවේ
අනුහසින් නැතහොත් සිත සංසිඳවීමේ ආනුභාවයෙන් ලබන ඍද්ධි බලයක් ඇත. එය ‘සමාධි විස්ථාර
ඍද්ධිය’ යැයි කියනු ලැබේ. සමාධියෙන් පෙර හෝ පසුව හෝ එකෙණෙහි හෝ උපදින මෙම ශක්ති
විශේෂය ශාරිපුත්‍ර, ඛාණුකොණ්ඩඤ්ඤ යනා දී තෙරවරුන්ටත් උත්තරා, සාමාවතී ආදී
උපාසිකාවන්ටත් තිබූ බව බණ පොත්වල දක්නට ලැබේ.
සමාපත්ති බහුල කොට ඇති ඛාණු කොණ්ඩඤ්ඤ තෙරණුවෝ දිනක් එක්තරා මහ වනයෙක සමාපත්තියට
සමවැදී කල් ගෙවන විට රාත්‍රී සොරකමෙහි ගොස් බඩු රැසක් රැගෙන ආ සොරු පන්සීයක් පමණ
විඩා හරිනු පිණිස එතැනට පැමිණ කණුවක් යැයි සිතා එම බඩු තෙරුන්ගේ මත්තෙහි තැබූහ. මඳ
වේලාවක් විඩා හළ ඔවුහු එතැනින් පිටත්ව යාමට නැවත එම බඩු ගත්හ. එකෙණෙහි තෙරණුවෝ
සමවතින් නැඟී සිටියහ. කණුවක් යැයි සිතූ උන්වහන්සේගේ ඉරියව් චලනය දුටු සොරු බියට
පත්ව හැඬූහ.
තෙරණුවෝ තමා පැවිද්දෙකු බව දන්වා ඔවුන්ගේ බිය පහ කොට සතුටු කළහ. උන්වහන්සේ මත්තෙහි
තැබූ බඩු භාණ්ඩවලින් කිසිදු හිරිහැරයක් නොවූයේ සමාධි විස්ථාර ඍද්ධිය නිසා ය.
‘ආර්ය ඍද්ධිය’ සයවැන්නයි. මෙම ඍද්ධිය ඇති වන්නේ නිවන් මඟට පිළිපන් ආර්යයන්ට ම වන
හෙයින් මෙය ආර්ය ඍද්ධි නම් වේ.
ජුගුප්සාජනක, කුණු ගඳ වැගිරෙන මළ මිනී ආදියෙහි මෙන් ම, සෙම් සොටු කැහි සැරව ආදී
පිළිකුල ඇතිවන දෙයෙහි පිළිකුලක් ඇති නොවන මානසික ශක්තියක් සිත ප්‍රගුණ කළ ඇතැමුන්ට
ඇත. බුදුවරුන්, පසේ බුදුවරුන් හා රහතුන් වැනි ආර්ය මාර්ගයට පිළිපන් උතුමන් තුළ ම
මෙම මානසික ශක්තිය පවතී. ‘කර්මවිපාකජ ඍද්ධිය’ යනුවෙන් තවත් ශක්ති විශේෂයක් ඇත.
පක්ෂීන්ගේ, දේවතාවන්ගේ ඇතැම් මිනිසුන්ගේ අහසින් යාම හා ඇතැම් යක්ෂ, පිශාච, නාග,
සුපර්ණාදීන්ගේ විවිධ හා විශේෂ වූ බල කර්මවිපාකජ ඍද්ධි නම් වේ. මුගලන් මහරහතන්
වහන්සේ විසින් දමනය කරන ලද්දේ එබඳු ඍද්ධි බල සහිත එනිසාම මහත් ආඩම්බරයෙන් සිටි
නාගයෙකි.
අනුන්ට නොපෙනී ගමන් කිරීමට හැකිවීම, පහරදීමට හැකිවීම යක්ෂයෙකු සතු බලයකි. මේවා කර්ම
විපාකජ ඍද්ධි හෙවත් පුරාකෘත කර්ම ශක්තිය නිසා ඇතිවන බලයන් ය. සක්විති රුජවරුන් ආදී
ඇතැම් පුණ්‍යවන්ත රජ සිටු ආදීන්ට සත් රුවන් ආදී විස්මිත දේ කළ හැකි වස්තූන් පහළවන
අතර, ඔවුනට අහසින් යාමට හැකිවීම ආදී විශේෂ ඍද්ධි බල ඇත. ඒවා පුරාකෘත පුණ්‍ය ශතක්තිය
නිසා හිමිවන දේවල් ය. ජෝතිය, ජටික, මෙණ්ඩක වැනි ගෘහපති සිටු ආදීන්ට ද මෙබඳු බල
තිබුණු බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ.
නිදසුනක් ලෙස ජොතිය ගෘහපතියාට පොළොව පැළී මාණික්‍යමය ප්‍රාසාදයක් ද, කප්රුක් හැට
අටක් ද පහළ වීමත් ජටික ගෘහපතියාට අසූ රියන් රන් පව්වක් පහළ වීමත් දැක්විය හැකි ය.
මෙය ‘පුණ්‍යවන්ත ඍද්ධි’ය යි. නවවැන්න ‘විජ්ජාමය ඍද්ධි’ යි. වර්තමානයෙහි ද ඇතැම්
විද්‍යාධරයෝ යන්ත්‍ර මන්ත්‍ර ආදිය ජප කිරීමෙන් හා වෙනත් ගුප්ත ශාස්ත්‍රමය ක්‍රම
මගින් අහසින් යාම, යම් යම් දේ මැවීම හා නැති කිරීම, නො පෙනී සිටීම වැනි දේ කරති.
මෙය හැඳීන්වෙනුයේ විජ්ජාමය ඉද්ධි නැතහොත් විද්‍යාමය ඍද්ධි යන නමිනි. එය ලෞකික ඍද්ධි
බලයකි.
මෙයට අමතර දසවැනි ඍද්ධිය ඉජ්ඣන ඉද්ධි නැතහොත් වෘද්ධ්‍යර්ථ ඍද්ධි නම් වේ. වෙදකම් ,
නැකැත්කම්, ගණිත මිණිතාදී ශාස්ත්‍ර මගින් කරන විස්කම් ද, අත්හැරීම ප්‍රගුණ කිරීමෙන්
ලබන කාමච්ඡන්ද ප්‍රහාණය, මෛත්‍රියෙන් ලබන ව්‍යාපාද ප්‍රහාණය ආදිය ද මෙයට අයත් වේ.
මෙසේ මිනිස් ලොව උපන් අය විසින් අත්පත් කරගනු ලබන ඍද්ධි බල දහයක් ඇත. මේවායින්
මුලින් දක්වන ලද අධිෂ්ඨාන, විකුර්වාණ සහ මනෝමය යන ඍද්ධි තුන චතුර්ථ ධ්‍යානයට
සමවැදීමට සමත් ප්‍රභාස්වර හා කර්මණ්‍ය සිතකින් යුතු උතුමන් සතු ඒවා ය. උන්වහන්සේලා
නම් බුදු, පසේබුදු, මහරහත්හු ය. ඉහත කී ඍද්ධිවල විශේෂයක් ඇත. එනම් අලෞකික පුද්ගලයන්
මෙන්ම ලෞකික පුද්ගලයන් තුළ ද මේවා පැවතීමයි. අධිෂ්ඨාන, විකුර්වාණ. මනෝමය, ඥාන
විස්ථාර, සමාධි විස්ථාර හා ආර්ය ඍද්ධි යන හය නිර්වාණගාමි ඍද්ධි බල වේ. නැතහොත් නිවන
දෙසට නැඹරු වූ ඒවා ය. එහෙත් ලෞකික වූ කල එයින් පිරිහේ. එහෙත් ඒවා වහා යළි උපදවා
ගැනීමේ හැකියාවක් ඇත.
කර්ම විපාකජ ඍද්ධි ආදී අනෙක් සතර වර්තමාන කාලයෙහි ද ඇතැමුන් සතුවේ. එහෙත් පෙර මෙන්
බලගතු වශයෙන් නොව අල්ප මාත්‍ර වශයෙනි. පුරාකෘත පුණ්‍ය බල ශක්තියෙන් ලබන එබඳු ලෞකික
ශක්ති අලෞකික ශක්තීන් මෙන් වටහාගෙන සිටින්නෝ එකල මෙන් ම මෙකල ද වෙති. එය
මිථ්‍යාවකි. මුළාවකි.
ඍද්ධි බල බොහෝ විට මුළාවට කරුණක් වන හෙයින් බුද්ධිය උපකාර කොට ගෙන එය සම්‍යක්
මාර්ගයෙහි පවත්වාගෙන යා යුතු ය. නො එසේනම්, වන හානිය බරපතල වන හෙයිනි. එසේ ම ආර්ය
උතුමන්ගේ ඍද්ධි බල මහිමය ශ්‍රී සද්ධර්මයේ පැවැත්ම සඳහා ද නොපහන් වූවන්ගේ ප්‍රසාදය
සඳහා ද ආර්ය මාර්ගයට ප්‍රවේශවීම සඳහා සහ නිර්වාණාධිගමය සඳහා උත්තේජනයක් ද විය හැකි
ය. |