මෙවර වෙසක් පොහොය...
බෙල්ලන්විල රාජමහා විහාරවාසී ආචාර්ය
ඌරුපැලැව්වේ හේමාරාම හිමි
මෑත ඉතිහාසයේ අප්‍රේල් මාසයට වෙසක් පුර පසළොස්වක පොහොය යෙදුණු එකම අවස්ථාව මෙම වසර
පමණක් නොවෙයි. ගණනය කිරීම් නො කළ ද පැරණි ලිත්, පුවත්පත් ආදිය පරීක්ෂා කිරීමෙන්
එවැනි දින සොයාගත හැකි ය.
ව්‍යවහාර වර්ෂ ක්‍රමයෙන් දෙදහස් දහඅටක් වූ මෙම වර්ෂයෙහි වෙසක් පොහොය දිනය අප්‍රේල්
මාසයේ 29 වනදාට යෙදී තිබේ. ලංකාවේ බෞද්ධ ජනතාවට වෙසක් පොහොය මැයි මාසයේ ම යෙදී
තිබීම හුරුවට ගොස් ඇති බැවින් මෙම යෙදුම පිළිබඳ විවිධ මතවාද දැන් දැන් කරළියට
පැමිණෙමින් තිබේ. ඇතැම් අයෙක් මේ පොහොය යෙදීම ආණ්ඩුවේ කාර්යයක් යැයි සිතා දේශපාලනික
වාසි ලබා ගැනීමට ද අවියක් කරගෙන තිබූ අයුරු පසුගිය කාලයේ විවිධ මාධ්‍යයන්හි පළවූ
වාර්තාවන් ගෙන් පෙනෙන්නට තිබුණි.
මේ සියලු අදහස් උදහස් උද්ගත වීමට වෙසක් පෝය මතු නොව ශාසනික පොහොය යෙදීම පිළිබඳ
අනවබෝධය, ඒ සඳහා සූර්ය වර්ෂ හා චන්ද්‍ර වර්ෂ අතර ඇති සම්බන්ධය නො දැනීම, සම්මත
ග්‍රෙගෝරියානු වර්ෂ ක්‍රමයට ඒවා හරියටම ගැලපේ යැයි සිතීම, ආදී නොදැනුවත් කම්
රාශියක් හේතු පාදකව තිබෙන බව පෙනෙන්නට තිබේ. දැනට ලංකාවේ භාවිත වනුයේ ජ්‍යොතිශ්
ශාස්ත්‍රානුකූලව තිථි ක්‍රමයෙන් පොහොය ගැනීමකි.
මාස වර්ෂ ගණනය සහ අධිමාස යෙදීම
පැරැන්නෝ පෘථිවි ගෝලය වටා වූ අංශක තුන්සිය හැටක අවකාශය අංශක තිහේ කොටස් දොළසකට බෙදා
ඒවා මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන
වශයෙන් නම් කළහ. සූර්යයා මේ අංශක තිහක රාශියක ගමන් කිරීමට ආසන්න වශයෙන් දින තිහක්
ගතවේ. එක් රාශියක සූර්යා ගතකරන එම දින තිහක් සූර්ය මාසයකි. සූර්යයා ගමන් කරන රාශිය
අනුව එම මාස දොළස හඳුන්වන්නේ මේෂ රවි/වෘෂභ රවි/මිථුන රවි/කටක රවි/සිංහ රවි/කන්‍යා
රවි/තුලා රවි/ වෘශ්චික රවි/ ධනු රවි/මකර රවි/කුම්භ රවි/මීන රවි/යනාදී වශයෙනි. මේ
වර්ෂ ක්‍රමයේ දී වර්ෂයේ ආරම්භය දැනට සම්මත දින දසුන අනුව යෙදෙනුයේ අප්‍රේල් 14 වන
දාට ය. එයට හේතුව සූර්යයා මේෂ රාශියේ අංශක තිහ ගමන් ආරම්භ කරන්නේ එදින පටන් වීමයි.
ඒ ගමන මැයි මස දාහතර වැනිදාට නිමා වෙයි.
අප්‍රේල් 14 සිට මැයි 14 දක්වා එකී මාසයක කාලය මේෂ රවි යනුවෙන් නම් කෙරේ. මැයි මස
15 වනදා පටන් ජුනි මස 14 දක්වා සූර්ය වර්ෂයේ දෙවනි මාසය වන වෘෂභ රවි යෙදෙයි. මේ
ක්‍රමයට මීන රවි දක්වා සූර්ය මාස දොළස දින තුන්සිය හැට පහක් සහ තවත් පැය ගණනක්
භුක්ති විඳීමින් ගෙවී යයි. මේ ගණනය අනුව සූර්ය මාසය වත්මන් දින දසුනේ මාසයකට සමපාත
නොවන බව පැහැදිලි ය. චන්ද්‍ර මාස ක්‍රමයෙන් ගණින වර්ෂය අනෙක් වර්ෂ ක්‍රමය යි.
සැබැවින්ම ‘මා’ යනුවෙන් හඳුන්වා ඇත්තේ චන්ද්‍රයා යි. චන්ද්‍රයා ඇසුරෙන් මැන ගන්නා
දින විසි නමය මාස යනුවෙන් නම් කෙරී ඇත්තේ ඒ අර්ථයෙනි. ඒ අනුව සැලකුවහොත් චන්ද්‍ර
මාස යන යෙදුම සාවද්‍ය ය. මාස යනුවෙන් දැක්වීම ප්‍රමාණවත් ය.
එහෙත් වර්තමාන ව්‍යවාරය විසින් මාස යන්නට ආරූඪ කොට තිබෙන අර්ථ නිසා මෙහි දී චන්ද්‍ර
මාස යන ව්‍යවහාරය භාවිත කරමි. චන්ද්‍ර මාස ක්‍රමයේ දී එක් මාස පෝයක සිට ඉදිරි මාස
පෝය දක්වා මාසය හෝ පසළොස්වක පෝයක සිට ඉදිරි පසළොස්වක දක්වා මාසය යනුවෙන් ඇති ක්‍රම
දෙකින් එකකට මාසය ගැන ගනු ලබයි. එම කාලය සඳහා ආසන්න වශයෙන් දැනට සම්මත දින විසි
නමයක කාලයක් අයත් වේ. එය චන්ද්‍ර මාසයක් ලෙස සැලකේ. දහ නවවන ශතවර්ෂයේ මුල් භාගයේ
ලක්දිව ඇති වූ අධිමාස වාදය ආරම්භ වූයේ මෙම අමාන්ත හා පූර්ණිමාන්ත ක්‍රම දෙක නිවැරදි
යැයි දෙපිළ බෙදී කළ වාදයක් නිසා බව ද මෙහිදී සිහිපත් කළ මනා ය. කෙසේ වුවත් දැනට
භාවිත වන්නේ මාස පෝයේ සිට ගණිනු ලබන චන්ද්‍ර මාස ක්‍රමය හෙවත් අමාන්ත ක්‍රමය යි.
එලෙස ගැන ගන්නා මාස දොළස බක්, වෙසක්, පොසොන්, ඇසළ, නිකිණි, බිනර, වප්, ඉල්, උඳුවප්,
දුරුතු, නවම්, මැදින් යනාදී වශයෙන් නම් කෙරී තිබේ.
චන්ද්‍ර වර්ෂයේ ආරම්භක මාසය බක් මාසය යි. බක් මාසයේ ආරම්භය සිදුවන්නේ ඉහත කී සූර්ය
වර්ෂයේ අන්තිම මාසය වූ මීන රවි මාසයේ දී හෙවත් වත්මන් දින දසුනේ මාර්තු මසට යෙදෙන
මාස පෝයට පසුදා ය. එනම් බක් පුරපෑලවිය දා ය. එම බක් චන්ද්‍ර මාසයේ අවසානය සූර්ය
වර්ෂයේ ප්‍රථම මාසය වූ වෘෂභ රවි හෙවත් අප්‍රේල් මස යෙදෙන මාස පෝයෙන් සිදුවේ.
චන්ද්‍ර වර්ෂයේ ආරම්භක දිනය වූ බක් පුර පෑලවිය දිනය මාස පෝය පදනම් වන නිසා දැනට
සම්මත දින දසුනෙන් එය පොදු දිනයකින් දැක්විය නොහැක. මෙපරිද්දෙන් ගෙවීයන චන්ද්‍ර
මාසය සූර්ය මාසයට හෝ වත්මන් දින දසුනේ මාසයට සමපාත නොවන බව දැන් පැහැදිලි වේ.
චන්ද්‍ර මාස දොළසක කාලයක් චන්ද්‍ර වර්ෂයක් වන අතර එය දින තුන්සිය පනස් හතරයි පැය
ගණනක කාලයක් භුක්ති විඳීයි. ඇතැම්හු බෞද්ධ ක්‍රමයට චන්ද්‍ර වර්ෂයේ ආරම්භය බක් නොව
වෙසක් මාසය ලෙස ද සලකන බව ද මෙහි දී සිහිපත් කළ යුතු ය. ආසන්න ගණනය කිරීමට අනුව
සූර්ය වර්ෂයක දින තුන්සිය හැටපහත්, චන්ද්‍ර වර්ෂයේ දින තුන්සිය පනස් හතරත් අතර වෙනස
දින එකොළහක් පමණ වේ. මේ දින එකොළහක වෙනස නිසා ක්‍රමයෙන් සූර්ය මාස තිස් දෙකක් ගතවන
විට චන්ද්‍ර මාස තිස් තුනක් ගතවෙයි.
වර්තමාන ව්‍යවහාර පෝය
එවිට චන්ද්‍ර මාසයක් අධික වෙයි. එසේ අධික වන මාසය හැර දමා සූර්ය වර්ෂය හා චන්ද්‍ර
වර්ෂය සම කරගැනීම සාමාන්‍ය ක්‍රමය යි. එසේ අත්හළ යුතු මාසය අධි මාසයක් හෙවත් අමතර
මාසයක් වශයෙන් දැක්වේ. ඒ අනුව එම තිස්තුන්වන චන්ද්‍ර මාසය උදාවෙන සූර්ය වසරට
චන්ද්‍ර මාස දහතුනක් වෙයි. එය අධි මාසයයි. වැඩිපුර යෙදෙන චන්ද්‍ර මාසයට පසළොස්වක්
පොහොයක් ද වැඩි වෙයි. එය අධි පෝය යි. ඊළඟට අප දැනගතයුතු කාරණාව වන්නේ ඒ අධි මාසය
නිර්ණය කරන්නේ කෙසේ ද? යන්නයි. සරලව කිවහොත් එය මෙසේ යි. යම් සූර්ය මාසයක් ඇතුළත
මාස පෝය දෙකක් ඇතුළත් වුවහොත් ඒ මාසය අධි මාසයක් වශයෙන් සලකයි. එවිට එම සූර්ය මාසයට
යෙදෙන චන්ද්‍ර මාසයේ නමින් එම අධි මාසය නම් කෙරේ.
මෙම දෙදහස් දහ අට වර්ෂයේ එම යෙදීම සිදුව ඇත්තේ වෘෂභ රවි නම් සූර්ය මාසයේ දී ය. එකලට
ගතවිය යුතු චන්ද්‍ර මාසය පොසොන් මාසයයි. එනිසා එම අධික මාසය අධි පොසොන් යනුවෙන් නම්
කෙරේ. එයට අදාළ පසළොස්වක අධි පොසොන් පසළොස්වක වේ. එවිට ඊළඟට එන මාසය සුද්ධ පොසොන්
මාසය යනුවෙන් නම් කෙරේ. මේ ක්‍රමයටම වෙසක් මාසය ඇතළත අධිකයක් පැමිණියහොත් එය අධි
වෙසක් යනාදී වශයෙන් අධි පෝය නම්කිරීම අධි පෝය ගණනය කිරීමේ ජ්‍යොතිශ ශාස්ත්‍රිය
පිළිවෙළයි. මෙ මගින් පැරණි මිනිසා අපේක්ෂා කළේ සූර්ය වර්ෂයත්, චන්ද්‍ර වර්ෂයත් විසම
නොවී පවත්වා ගැනීමයි. එහෙත් අධිමාස අත්හැරීමේ ශාසනික ක්‍රමවේදය මෙයට හාත්පසින්
වෙනස් ය.
බුදුන්වහන්සේගේ නියමය පරිදි එම අධිමාස හැරීම සිදුකරගත යුත්තේ උපසම්පදා භික්ෂූන්
වහන්සේලා වස් වැසීම සිදුකරන වස්සාන ඍතුව පිරිසුදු කරගැනීමට යි. ඉහත පෙන්වූ පරිදි
ජ්‍යොතිෂ ක්‍රමයට අධි මාසය යෙදෙන සූර්ය මාසයේ දී ම එම අධිකය අත්හරියි. එහෙත් ශාසනික
ක්‍රමයට කුමන සූර්ය මාසයකට අධි මාසය යෙදුනත් භික්ෂූන්වහන්සේලා එය අත්හරිනුයේ
ගිම්හාන ඍතුව අවසාන මාසය ලෙසින් ගණනය කොටගෙන ය. එහි දී එම අධි මාසය අධි ඇසළ යනුවෙන්
නම්කොට එය ගිම්හාන ඍතුවට සම්බන්ධ කර සුද්ධ ඇසල මාසය වස්සාන ඍතුවට යොදාගෙන ඇසළ අව
පෑලවිය දා හෙවත් පසළොස්වක් දාට පසුදා වස්වැසීම කළ යුතු ය. මෙය ශාසනික ක්‍රමයට අධි
මාස හරින ක්‍රමයයි. මෙවර වෙසක් පොහොය දැන් මේ වසරේ වෙසක් පොහොය ග්‍රෙගෝරියන් දින
දසුනට අනුව අප්‍රේල් 29 දිනට යෙදී තිබීම පිළිබඳව සලකා බැලීමට සුදුසු අවස්ථාවයි.
මෙවර වෙසක් පෝය
ග්‍රෙගෝරියානු දින දසුන අනුව අප්‍රේල් මාසය බක් මාසය බවත්, මැයි මාසය වෙසක් මාසය
බවත් අපේ සිංහල බෞද්ධ ජන විඤ්ඤාණය වැරදි අවබෝධයක එල්බ සිටියි. එනිසා වෙසක් පොහොය
අප්‍රේල් වලට නොයා මැයි මාසයටම පැමිණිය යුතුයැයි කල්පනා කරයි. එය සාවද්‍ය
කල්පනාවකි. එසේ වන්නේ කවර හෙයින්දැයි දැන් සලකා බලමු. ඉහත දැක්වූ සූර්ය මාස ක්‍රමයට
සූර්ය වර්ෂය ආරම්භ වනුයේ සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වන දා ය. නූතනයේ
අලුත් අවුරුද්ද වශයෙන් අප සමරන්නේ මෙම සූර්ය වර්ෂයේ උදාවයි. වර්තමානයේ ඒ දිනය
අප්‍රේල් මාසයේ 14 ට යෙදී තිබේ. ඒ මේෂ රවි සූර්ය මාසය මැයි මස 14 දක්වා පවතියි.
සූර්ය කැලන්ඩරයේ දෙවනි මාසය වෘෂභ රවියයි. එය මැයි 15 සිට ජූනි 14 දක්වා දිවෙයි.
වෙසක් චන්ද්‍ර මාසය මේ සූර්ය මාස දෙකටම අයත් වන පරිදි යෙදෙයි. එබැවින් එහි යෙදෙන
වෙසක් පුර පසළොස්වක් පොහොය එකී මේෂ රවි මාසයේ අග භාගයේ හෝ වෘෂභ රවි මාසයේ මුල්
භාගයේ අනිවාර්යයෙන් යෙදිය යුතු ය. තව විදියකට කිවහොත් අප්‍රේල් අග භාගයේ සහ මැයි
මුල් භාගයේ යෙදිය යුතු ය. ඒ අනුව වෙසක් චන්ද්‍ර මාසයේ හා වෙසක් පොහොයේ යෙදීම
අප්‍රේල් මසට පැමිණීම ගැටලුවක් නොමැති බැව් පෙනී යා යුතු ය. ග්‍රහ චලිතය හේතුවෙන්
වසර හැත්තෑ තුනකට පමණ වරක් සූර්ය දින දර්ශනයේ ආරම්භක දිනය ග්‍රෙගෝරියානු දවසකින්
ඉදිරියට යයි. එනම් තව වසර ගණනාවකින් සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කරන දිනය
හෙවත් අවුරුදු දිනය යෙදෙනුයේ අප්‍රේල් 15 වනදාට ය. එවිට සූර්ය මාසයේ ආරම්භක දිනය
එදින යි.
සූර්ය වර්ෂය ඉදිරියට යන්නට යන්නට තවත් අවුරුදු දහස් ගණනකින් වෙසක් පොහොය ජූනි මාසයට
උදාවෙයි. ඉන්දියාවේ විසූ මහාචාර්ය බී.වී රාමන්, අතිගරු බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ
නා හිමියන් වැනි විද්වතුන් පෙන්වා දී ඇති පරිදි සහ ජ්‍යොතිශ ශාස්ත්‍රයේ දැනට සම්මත
පරිදි බුදුරජාණන්වහන්සේගේ ජන්ම ලග්නය ලෙස පිළිගෙන ඇත්තේ කටක ලග්නය යි. ජන්ම නැකත
විසා නැකතයි. ජන්ම වර්ෂය පිළිබඳව ජ්‍යොතිර්වේදීන් අතර ක්‍රි. පූ 620 සිට 624 දක්වා
වර්ෂ ගැන මතවාද පවතියි. ඒ කවර වර්ෂයක වුවද කටක ලග්නය හා විසා නැකත එන පරිදි වෙසක්
පසළොස්වක ගැන බැලීමේ දී දැනට සම්මත දින දසුනේ අපේ්‍්‍රල් මස 04 -14 අතර දිනකට ඒ
සියල්ල ඇතුළත් වේ.
එසේ සැලකීමේ දී බෝසතාණන් වහන්සේ ලොව පහළ වන යුගයේ අද පවතින ග්‍රෙගෝරියානු කැලැන්ඩරය
තිබූයේනම් වෙසක් පොහොය අප්‍රේල් 04 සිට 14 අතරතුර දිනයකට යෙදෙනු ඇත. මෑත ඉතිහාසයේ
අප්‍රේල් මාසයට වෙසක් පුර පසළොස්වක පොහොය යෙදුණු එකම අවස්ථාව මෙම වසර පමණක් නොවෙයි.
ගණනය කිරීම් නො කළ ද පැරණි ලිත්, පුවත්පත් ආදිය පරීක්ෂා කිරීමෙන් එවැනි දින සොයාගත
හැකි ය. අප කවුරුත් දන්නා පරිදි දැනට භාවිත වන බෞද්ධ ධජය නිර්මාණය කොට, කොටහේන
දීපදුත්තාරාමයේ දී මුල්වරට ඔසවන ලද්දේද වෙසක් පොහොය දිනයකදී ය. ඒ 1885 අප්‍රේල් මස
28 වනදාට යෙදුණු වෙසක් පුර පසළොස්වක් දිනයේ දී ය. මේ අනුව ග්‍රෙගෝරියානු දින
දර්ශනයේ වෙසක් පොහොයට තබා කවර පොහොය දිනයකටවත් ස්ථිර දිනයක් නියමව නොමැති බව අපට
දැන් වැටහිය යුතු ය. වෙසක් පොහොය මැයි මාසයටම ආ යුතුය යන සිතිවිල්ල වනාහි චන්ද්‍ර
සූර්ය වර්ෂ වල ගැටලුවක් නොව එම වර්ෂ ග්‍රෙගෝරියානු දින දර්ශනයට හරියටම සමපාත වෙතැයි
සිතා සිටීම නිසා ඇති වූ මුලාවකි. පැරණි මිනිසාගේ අධිමාස යෙදීම නිසා සූර්ය දින
දර්ශනයත්, චන්ද්‍ර දින දර්ශනයත් එකට වෙලී සමගිව යන ගමන වර්තමාන දින දර්ශනයෙන් අපට
අපේක්ෂා කළ නොහැකි බැව් මෙයින් පැහැදිලි වන අතර චන්ද්‍ර දින දර්ශනයේ වෙසක් පෝය
බුදුන්වහන්සේ පිරිනිවි දිනයටම අදටත් නිවැරදිව යෙදෙන බව ද අවබෝධ විය යුතු ය. |