Print this Article


කළ කම් පල දෙන හැටි 06 : මෙලොව පලදුන් කර්මය

මෙලොව පලදුන් කර්මය

අපේ සිංහල සමාජය සකස්ව තිබුණේ වර්තමානයෙහි දක්නට ලැබෙන අධිපරිභෝජනවාදී, ධනවාදී සමාජ ක්‍රමයක නොවේ. එදා අපේ සිංහල සමාජයේ ජීවත් වූ බොහෝ පිරිස් ඉතාමත් ම දිළිදු ජීවිත ගත කළ පිරිසක් විය . ඔවුන් සිතින් පොහොසත් වුවද, ගතින් දිළිදුය. දුප්පත්කම කෙසේ ජයගත යුතු ද? කියමින් එදා මිනිසුන් බොහෝ සේ කල්පනා කළ ද , එම පුද්ගලයන්ගේ සිත යහපත් ය. අපේ අතීත සිංහල සමාජය තුළ ජීවත්වුණ එක්තරා ආකාරයක පුද්ගලයෙකු පිළිබඳ කතා පුවතක් මෙසේ සඳහන් කරන්නෙමු.

එය එක්තරා සත්‍ය කතාවකි. එම පුද්ගලයා පුංචි මහත්මයා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වමු. ඔහු ගම්මානයේ ජීවත් වූ සාමාන්‍ය පුද්ගලයෙකි. එම පුද්ගලයා වෙනත් අයෙකුගේ මග පෙන්වීමක් යටතේ කුඩා කාලයේදීම තලවකැලය ප්‍රදේශයට යාමට සිදුවිය. එම ප්‍රදේශය තුළ ව්‍යාපාරික කටයුතු සඳහා සහභාගී වී ඇත.

කාලයක් මේ ආකාරයෙන් ව්‍යාපාරික කටයුතු කරගෙන යද්දී ඔහුගේ ව්‍යාපාරයට නමක් ද පටබැඳිණි. අතීත ව්‍යාපාරිකයන් වංචනික ලෙස සොරකම් නොකළ පිරිසක් වූ අතර එසේ සිදුවුවා නම්, අල්ප ප්‍රමාණයක් ම විය. සෑම අවස්ථාවක දී ම තම ව්‍යාපාරික නාමය පිළිබඳ සැලකිලිමත්ව කටයුතු සිදු විය. වර්තමාන ව්‍යාපාරවල වෙළෙඳ නාමයෙහි දිස්නය පමණක් දක්නට ලැබෙන අතර ඇතැම් විට අභ්‍යන්තර ගුණාත්මක බවක් නැත.

නමුත් වර්තමානයට වඩා එදා වෙනස් බවක් තිබිණි. බොහෝ සෙයින් ගුණාත්මක වටිනාකමක් පැවතිණි. ඔහුගේ ව්‍යාපාර දියුණුවත් සමඟ ආර්ථිකමය වශයෙන් සමාජයේ කිසියම් ආකාරයක ඉහළ තත්ත්වයටද පත් විය. මුදල් යනු එක්තරා ආකාරයකට මිනිසුන්ගේ ජීවිතවලට අනවශ්‍ය බලපෑම් එල්ලකරන එක සාධකයක් ෙවි. මොළය නැති පුද්ගලයෙකුට මුදල් හම්බ වීම එක්තරා ආකාරයක භයානක ස්වභායක්. එය වඳුරාට දැලි පිහිය ලැබුණාක් මෙනි. එම සතාට දැලි පිහියෙන් තම ශරීරය කපාගැනීමට අවස්ථාව පවතින්නා සේ ම අවට සිටින පිරිස් ද කැපීමේ සම්භාවිතාව පවතී.

පුංචි මහත්මයාත් ටික කාලයක් ගත වන විට දුප්පත් මිනිසුන්ට මුදල් ලබාදීමට පටන් ගෙන ඇත. එම මුදල පොළියත් සමඟ ආපසු නැවත ලැබිය යුතු බවට මුදල ලබාදෙන මොහොතේ ම ඔහු විසින් ප්‍රකාශ කර ඇත. ඒ ආකාරයට ඔහුගෙන් මුදල් ලබාගන්නා පුද්ගලයන් පොළිය ආපසු ගෙවමින් මුදල් ලබා ගෙන ඇත. කාලය ගතවීමත් සමඟ ඉඩකඩම් පවා පොළියට ලබාදෙමින් මුදල් පොළියට ලබාගැනීම සිදු විය. සල්ලි හම්බකිරීම නිසාම ඔහුගේ සිත ද නිතරම මුදල් මුදල් යන සිතිවිල්ලෙන් පිරීමට පටන් ගත්තා මිස මුදල් ලැබීම්වල ඇති වීමක් නැති විය. එම නිසාම බොහෝ අකටයුතුකම්, අසාධාරණකම් ඔහුගේ අතින් සිදු විය. කාලයක් පුරා වරදක් සිදුකරගෙන ගිය විට එය වරදක් බව බොහෝ විට දැනෙන්නේ නැත. ඕනෑම වරදක් පුරුදු වීමත් සමඟ එම තත්ත්වය උද්ගත වෙයි. කාලය ගතවීමත් සමඟ ඔහු මහා ධනවතෙකු විය. ආර්ථික වශයෙන් දියුණු නිසාම ගමේ ජීවත් වුණ ඔහුගේ බිරිඳ පිළිබඳවත් එතරම් හැඟීමක් දැනීමක් නැත. කාලයත් සමඟ සමාජයේ ඉහළම තලයක ජීවත් වෙමින් අධික පොලියට මුදල් ලබාදී ඔවුන්ගේ ඉඩකඩම් පවා බලහත්කාරයෙන් ලියාගත් එම පුද්ගලයා වයස්ගතවීමත් සමඟ කිසියම් අසනීපයකින් පෙළීමට පටන් ගෙන ඇත. එම කාලයතුළ ඉතාම අලංකාර ලෙස අඳුමින් පැළදුමින් සැරසී ගමේ ඇවිදීමේ පුරුද්දක් ද තිබිණි.

ආර්ථිකයෙන් බැබළෙන අවධියෙහි එම තත්ත්වයක් පැවතුණ ද, ඔහුගේ අසනීප තත්ත්වය හේතුවෙන් ශරීරයෙහි පවිත්‍රතාව තබාගැනීමට සිත දුන්නේ නැත. පිරිසුදු බව ගිලීහී ගොස් ඇත. ශරීරය පිරිසුදු කරගැනීමට, රෙදි සේදීමට, දත්මැදීමට, නියපොතු කැපීමට හෝ නෑමට සිත දෙන්නේ නැත. එය ඔහුට පැවතුණ අසනීප ස්වභාවය විය. ගමේ කඩපිලට යමින් එමින්, කනත්තට යමින් ඔබ මොඹ, ඇවිදිමින් සිටි ඔහු පිළිබඳව සෙවීමට කිසිවෙකු උත්සාහ කළේ ද නැත. ආර්ථික ශක්තිය පැවතුණ කාලයේ සිටි මිනිසුන් දවසින් දවස අඩුවෙමින් පැවතිණි. කිලිටි ඇඳුම් වැරහැලි අඳිමින් සමාජයේ බොහෝ පිළිකුලට පත්ව දුක් විඳිමින් පාරේ කානුවක මියැදුණි. බුදුරජාණන් වහන්සේගේ දේශනාවන්හි මිනිසුන් කළ කර්මය පැහැදිලිව දක්නට ලැබෙයි. ඔහු ඇතැම් වෙලාවට අනුන්ගේ ඉඩකඩම් පවා ලියාගෙන අනුන්ට ගිනිදෙමින් තමන් ගේ ජීවිතය පිරිසුදු කරගැනීමට උත්සාහ කරමින් ඒ බව පෙන්වීමට සුදුපැහැ වස්ත්‍ර හැඳීමටද පුරුදුව ඇත.

නමුත් ජීවිතයෙහි අවසාන සමයෙහි ඔහුට ඔහුගේ බිරිඳ අහිමි විය. ඔහුගේ දරුවන් ද අහිමි විය. මානසිකත්වය ද අහිමිව ගොස් අපිරිසුදු පුද්ගලයෙකු බවට පත්විය. අපිළිවෙළට වැඩ කරමින් රාත්‍රී කාලය කනත්තෙහි ගත කළ පුද්ගලයෙකු විය.

ගමතුළ ප්‍රසිද්ධව සිටි පුද්ගලයා ගමේ ම කිසිවෙකු නොදන්නා නන්නාඳුනනා පුද්ගලයෙකු ලෙස එම ගමේ ම කාණුවක දුක්ඛිත මරණයකින් ජීවිතය කෙළවර විය. තමා කළ දේ ම තමාට ලැබෙයි. තමන් සමාජයට ලබාදුන් දේ තමාට ම ලැබෙයි. සමාජයෙහි ජීවත් වන විට සිත කය වචනය යන තුන්දොරින් ම යහපත් දෙය ම සමාජයට තිළිණ කළ යුතු ය. එසේ නොකළ හොත් නොකරන කාලය සැපතක් සේ ගත කළ ද කරන කලට අකුසල් මිහිරි, මියුරු ලෙස දැණුන ද, වින්ඳ ද ඒවායෙහි විපාක ලැබෙනවා කියන බුදු බණේ සත්‍ය ධර්මතාවය එම කාරණාව තුළින් අපට පැහැදිලි වෙයි.