දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය - 2018
ආදර්ශ ප්‍රශ්නෝත්තර - බෞද්ධ සංස්කෘතිය -
1 අභ්‍යාසය
කුලියාපිටිය සාරානාත් විද්‍යාලයේ හිටපු ධර්මාචාර්ය
ශාස්ත්‍රපති පණ්ඩිත
උප්පලවත්තේ
විමලානන්ද හිමි
1. (1) විවිධ දාන වර්ග නම්කොට සාංඝික දානය හා ඊට අදාළ පුද සිරිත් විස්තර කරන්න.
ආමිෂ දාන ,අභය දාන, ධර්ම දාන වශයෙන් දානය විවිධ වේ. සංඝික දානය ආරාමයක දී හෝ
භික්ෂූන් වහන්සේ නිවසට වැඩමවා හෝ දිය හැකි ය. සාංඝික දානය දීමට බලාපොරොත්තු වන
තැනැත්තා දින ගණනකට පෙර භික්ෂූන් වහන්සේ වැඩ වසන විහාරස්ථානයට ගොස් දැහත් වට්ටියක්
දී භික්ෂූන් වහන්සේට ආරාධනා කළ යුතුය. මෙහිදී දායකයා විසින් දානය සඳහා අවශ්‍ය
භික්ෂූන් වහන්සේගේ සංඛ්‍යාව දැන්විය යුතුය. සාංඝික දානයක් සඳහා උපසම්පන්න භික්ෂූන්
අවම වශයෙන් සිව් නමක්වත් සිටිය යුතුය. දානයට පෙර දින විශේෂයෙන් ගේ දොර සෝදා පවිත්‍ර
කරනු ලැබේ.
ගම්බද පෙදෙස්වල දී ගෙදර වත්තට ඇතුළු වන තැන ආරුක්කුවක් නමා, ගොක්කොළ වලින්
සැරසිල්ලක් කෙරේ. ආහාර පානාදිය පිළියෙළ කිරීම ද කෙරේ. ගෙදර භික්ෂූන් වැඩමවා හිඳුවන
ස්ථානය උඩු වියන් බැඳ බිම පැදුුරු, කොට්ට අතුරා ඒ මත ඇතිරිල්ලක් එලා සකස් කිරීම ද
සිරිතකි. නියමිත දිනයේ කල්වේලා ඇතිව භික්ෂූන් වහන්සේගේ ධාතු කරඬුවත් සමඟ මහ
පෙරහරින් වැඩමවනු ලැබේ. දානය ඇතුළු පුජා වස්තු, සුදු රෙදි අතුරා ඒ මත තැන්පත් කරනු
ලැබේ. අනතුරුව භික්ෂූන් වහන්සේ නමක් විසින් පිරිස පන්සිල්හි පිහිටුවා බුද්ධ පූජාව
ධාතු කරඬුවට පුජා කිරීම කරනු ලැබේ. ගාථා කියා බුද්ධ පූජාව පූජා කිරීමෙන් පසු භික්ෂු
නමක් කෙටි අනුශාසනයක් පවත්වා දානය සාංඝික කරනු ලැබේ.
අනතුරුව පුණ්‍යානුමෝදනා කරනු ලැබේ. ඉන් පසු දන් පිළිගැන්වීමේ කටයුතු සිදු කෙරේ. දන්
වැළඳීමෙන් පසු සියලු පිරිකර පිළිගැන්වීම ද අවසානයේ දී දානානිශංස වර්ණනා කරමින්
භික්ෂු නමක් අනුශාසනාවක් පවත්වා පින්කමේ වැඩ කටයුතු නිමකරමින් “භවතු සබ්බ මංගලම් යන
ගාථාවෙන් ආශිර්වාද කොට නැවත විහාරස්ථානවලට වැඩම කරනු ලබයි.
(2) ධර්ම දානය හඳුන්වා දෙමින් සියලු දානයන්ට වඩා එය උසස් කොට සැලකීමේ හේතු සාධක
පැහැදිලි කරන්න.
ධර්ම දානයට අදාළ මූලික ක්‍රම තුනක් පවතී. එනම් ධර්මය දේශනා කිරීම, දහම් පොත්
කියැවීම හා දහම් පොතපත ලිවීම යනුවෙනි. පැරැණි කාලයේ සිට ධර්ම දේශනය පැවතිණි. ලේඛන
ශිල්පිය දියුණු වීමත් සමඟ දහම් පොත් ලිවීමත් කියැවීමත් ආරම්භ කෙරිණ. ධර්ම දේශනය –
බෞද්ධයන්ගේ සන්නිවේදන ක්‍රමයකි. එමෙන්ම අධ්‍යාපන ක්‍රමයක් ද වෙයි. බෞද්ධයාගේ භෞතික
හා අධ්‍යාත්මික ගැටලුවලට මුහුණ පෑමට අවශ්‍ය මග පෙන්වීම හා උපදෙස් ලැබෙන්නේ ධර්ම
දේශනාව මගිනි. ධර්ම දේශනය ලෞකික අරමුණු සඳහා පමණක් නොව අවසාන විමුක්තියට ද උපකාරි
වේ.
(3) ධර්ම දේශනයක් පැවැත්වීමේ දී දේශකයන් වහන්සේ විසින් අනුගමනය කරන පොදු චාරිත්‍ර
මොනවා ද?
ධර්ම දේශකයන් වහන්සේ ශ්‍රාවකයන්ට වඩා උස් අසුනක වැඩ සිටීම, උන්වහන්සේ වැඩ සිටින
ආසනය මත සුදු ඇතිරිල්ලක් ඇතිරීම, රැස්ව සිටින සියලු දෙනාගේ සාධු නාදයෙන් පසු පිරිස
තිසරණ සහිත පංච සීලයෙහි පිහිටුවීම, අනතුරුව දේශකයන් විසින් දේවතාරාධනය කිරීම, ඉන්
පසු තෝරාගත් දේශනා පාඨය ඉදිරිපත් කිරීම, ධර්ම දේශනයේ අරමුණු, දේශනය ශ්‍රවණය කළ යුතු
ආකාරය විස්තර කිරීමෙන් පසු මාතෘකාවට අදාළව ධර්ම දේශනය පැවැත්වීම, දේශනයෙන් පසුව
කෙරෙන්නේ පුණ්‍යානුමෝදනය යි. මෙහි දී දේශනය ඇසූ පිරිස දෙවියන් හා මියගිය ඥාතීන්ට
පින් පමුණුවනු ලැබේ. දේශකයන් වහන්සේ විසින් “අභිවාදන සීලිස්ස” යන ගාථාවෙන් ආශිර්වාද
කොට විහාරස්ථානයට වැඩම කිරීම, ධර්ම දේශනයේ අනුගමනය කරන චාරිත්‍ර ය.
2.(1) පිරිත් යනු කවරේදැයි හඳුන්වා පිරිත් දේශනාවේ අරමුණ පැහැදිලි කරන්න
“පරි සමන්තතෝ රක්ඛතීති පරිත්තං “ යන දේශනා පාඨයට අනුව
පිරිත් යනු මනුෂ්‍යයා හාත්පසින්ම ආරක්ෂා කෙරෙන තෙරුවන් ගුණ ඇතුළත් දේශනා සමූහයකි.
පිරිත් දේශනාව ආරම්භ කිරීමට පළමුව “විපත්ති පඨිබාහාය” කියන ආරාධනා ගාථාවෙන් පිරිතේ
අරමුණ හෙළි වෙයි. එනම් සියලු විපත්ති, දුක්, භය හා රෝග විනාශ කොට සියලු සම්පත් ලබා
ගැනීම යි. විශාලා මහනුවර දී රතන සූත්‍රය දේශනා කරන ලද්දේ අමනුෂ්‍ය, දුර්භික්ෂ, හා
රෝග භය විනාශ කිරීම සඳහා ය. විහාරස්ථානවලද විවිධ පින්කම් පැවැත්වීමට පෙර පිරිත්
දේශනාව පැවැත්වේ. ගෙවල් තැනීම්,ගෙට ගෙවදීම්, ලෙඩ රෝග හා අපල උපද්‍ර දුරුකිරීම් සඳහා
ද පිරිත් දේශනා කරනු ලැබේ. පිරිත් කියන කාලය අනුව පිරිතට විවිධ නම් යොදා ගැනේ. මේ
අනුව වරු පිරිත්, තිස්පැයේ පිරිත්, තුන්තිස් පැයේ පිරිත්, සති පිරිත් ආදි නම්
ව්‍යවහාර කෙරෙනු ඇත.
(2) පිරිත් දේශනාවේ ආරම්භය දක්වා ලක්දිව පැරැණි නරපතියන් හා ප්‍රභූවරුන් පැවැත්වූ
පිරිත් පින්කම් ගැන සමාලෝචනයක් කරන්න.
පිරිත් දේශනාවේ ආරම්භය සිදු වන්නේ බුද්ධ කාලයේදී ම ය. එය විශාලා මහනුවර සිදු වූ
ත්‍රිවිධ භය දුරු කිරීම සඳහා බුදුරදුන්ගේ උපදෙස් පරිදි අනඳ හිමියන් ඇතුළු භික්ෂූන්
විසින් පවත්වන ලද්දකි. විජය කුමරු ලක්දිවට පැමිණි අවස්ථාවේ සක් දෙවිඳුන්ගේ නියමයෙන්
මෙරටට ආරක්ෂාව සැලසූ උපුල්වන් දෙවියන් ඇතුළු පිරිසට පිරිත් පැන් ඉස පිරිත් නූල්
බැන්ද බව කියැවේ. ලක්දිව උපතිස්ස රාජ්‍ය සමයේ දී ඇති වූ දුර්භික්ෂ හා රෝග භය දුරු
කිරීම සඳහා රතන සූත්‍රය දේශනා කරමින් පිරිත් පැන් ඉසීම තවත් සිදුවීමකි. මෙය
හැඳින්වෙන්නේ ගංගා රෝහණ පූජා නමිනි. 5 වන කාශ්‍යප රජතුමා ද දුර්භික්ෂ හා රෝග භය
දුරු කිරීම සඳහා පිරිත් කියවා ඇත.
(111) පිරිත් දේශනා පැවැත්වීමේ දී අනුගමනය කෙරෙන චාරිත්‍ර හඳුන්වා පිරිත් දේශනයක
ඇතුළත් අංගෝපාංග පිළිබඳ වර්ගීකරණයක් කරන්න.
පිරිත් දේශනයක් පැවැත්වීමේ දී පිරිත් මණ්ඩපයක් තනා ගත යුතුය. පිරිත් දේශනය
පැවැත්වෙන්නේ මේ මණ්ඩපයක් තුළදී ය. පිරිතට නියමිත දිනයේ දී ධාතු කරඬුව, පිරිත් පොත්
වහන්සේ හා පිරිත් හුය සමඟ භික්ෂූන් වහන්සේ අදාළ ස්ථානයට වැඩමවනු ලැබේ. පිරිත්පැන්
කළයක් හා නූල් පන්දු පිළියෙළ කරනු ලැබේ. මේ නූල් හා පැන් කළය ප්‍රධාන පිරිත් හුයට
සම්බන්ධ කරනු ලැබේ. පිරිත් ආරම්භ වන්නේ සන්ධ්‍යා භාගයේදී ය. මෙහිදී සහභාගි වන
භික්ෂූන් වහන්සේ පිරිස තිසරණ පන්සිල්හි පිහිටුවා කෙටි අනුශාසනයකින් පසු දායකයින්
ලවා “විපත්ති පඨිබාහාය” පිරිතට ආරාධනා වාක්‍ය කියවනු ලැබේ. අනතුරුව මුලින්ම
කෙරෙන්නේ පිරිත පිරීම හා මහ පිරිත කීමයි. ඉන්පසු භික්ෂූන් සිවු නමකගේ සහභාගිත්වය
අවශ්‍ය වේ. උදේ පාන්දර පිරිත හමාර කොට පිරිත් පැන් හා නූල් මහජනයා අතර බෙදා දෙනු
ලැබේ. පිරිත් පේ කිරීම, මහපිරිත කීම, යුග කීම, සරණාගමනය කීම, සූත්‍ර දෙසීම ,විහාර
,දොරකඩ අස්න හා අනුශාසනා ආදි වශයෙන් පිරිතේ අංග දක්නට ලැබේ. විහාර අස්න, දොරකඩ අස්න
හා අනුශාසනා අස්න ඇතුළත් වන්නේ සති පිරිත්වල දී පමණි. |