ආර්ය පර්යේෂණ සූත්‍රය:
තථාගත බුදු උතුමෙක්ලොව පහළ වීම
බත්තරමුල්ල
සිරි සුදස්සනාරාම
සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක
ආචාර්ය
මිරිස්සේ ධම්මික හිමි
ජලයේ හටගත්තා වූ, ජලයේ වැඩුණා වූ, ජලය ඉක්මවා සිටියා වූ, ජලයේ නොතැවරුණා වූ ඇතැම්
උපුල් හෝ රත්පියුම් හෝ හෙළ පියුම් හෝ වේ ද? එසේ ම මහණෙනි, බුදු ඇසින් ලොව බලන්නා වූ
මම කෙලෙස් අඩු, කෙලෙස් වැඩි සත්ත්වයන් දුටුවෙමි. තියුණු ඉන්ද්‍රියයන් ඇති මෘදු
ඉන්ද්‍රියයන් ඇති යහපත් ආකාර ඇති අයහපත් ආකාර ඇති පහසුවෙන් අවබෝධ කරවිය හැකි,
පහසුවෙන් අවබෝධ කරවිය නොහැකි වූ ද සත්ත්වයන් දුටුවෙමි.
බුදුරජාණන් වහන්සේ විසින් මෙසේ දේශනා කරන ලදී. මහණෙනි, මෙසේ නුවණින් සලකන්නා වූ
මාගේ සිත මන්දෝත්සාහිභාවයට නැමේ, දහම් දෙසීමට නො නැමේ. ඉක්බිති සහම්පතී මහා
බ්‍රහ්මයා තමන් ගේ සිතින් මාගේ සිතේ වූ සිතිවිලි හෙවත් විතර්කය දැන සහම්පතී
බ්‍රහ්මයාට මේ අදහස පහළ වී තිබුණි.
එනම් යම් ලෝකයක තථාගත සම්බුදුරජාණන් වහන්සේගේ සිත අල්ප වූ උත්සාහයට නැමේ ද, දහම්
දෙසීමට නො නැමේ ද? ඒ ලෝකය නැසේ. ඒකාන්තයෙන් ම වැනසේ. ඉක්බිති සහම්පතී මහා
බ්‍රහ්මයන් යම් සේ ශක්තිමත් පුරුෂයෙක් හැකූළු අත දිගු කළේ ද, දිගුකළ අත හකුලන්නේ ද
එසැණින් ම බඹලොවින් අතුරුදන් ව මොහොතකින් මා ඉදිරියේ පෙනී සිටියේ ය.
ඉක්බිති සහම්පතී මහා බ්‍රහ්මයා උතුරු සළුව ඒකාංශ කොටගෙන මාවෙත පැමිණ ඇඟිලි බැඳ ගෞරව
කරමින් මට මෙසේ ප්‍රකාශ කළේ ය.
“භාග්‍යවතුන් වහන්ස, දහම් දෙසන සේක්වා. මද කෙලෙස්, රජස් හෙවත් කෙලෙස් දූවිලි සහිත
ස්වභාව ඇති සත්ත්වයෝ සිටිති. ධර්මය නො ඇසීමෙන් ඔවුහු පිරිහෙනු ඇත. ධර්මය අවබෝධ
කරන්නෝ ද ඇත්තෝ ය”.
සහම්පතී බ්‍රහ්මයා විසින් සඳහන් කළ එම අදහස් අප විසින් මෙනෙහි කර ගත යුතු වේ. “එනම්
බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වී දහම් දේශනා නොකළේ නම්, ඒ ලෝකය වැනසී යනු ඇත.
රාගාදී කෙලෙස්වලින් පිරිපුන් සත්ත්වයෝ බොහෝ දෙනා ප්‍රාණඝාත, සොරකම් ආදී පස්පව් දස
අකුසල් සිදු කරමින් ඔවුනොවුන් වනසාගෙන ලොවත් වනසා නැවතත් සතර අපායේ ඉපදෙන්නට හේතු
හදා ගනු ඇත.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළවන්නේ සියලු සත්ත්වයන් කෙරේ මහා
කරුණාවෙනි. එසේ පහළවී ද සත්ත්වයාට දුකින් නිදහස්වීමේ මඟ පෙන්වා දීමට තරම්
උන්වහන්සේට අවස්ථාවක් නොලැබුණේ නම්, එය ලෝක විනාශය ම නොවේ දැයි නුවණින් සිහිපත්
කරන්න. මේ නිසා සහම්පතී මහා බ්‍රහ්මයාගේ අදහස මෙහි දී ඉතා ම අගය කළ යුතු බව සිහිපත්
කළ යුතු ය.
සහම්පතී බ්‍රහ්ම තෙමේ මෙසේ ද ප්‍රකාශ කර ඇත්තේ ය.
“පෙර මගධ දනව්වෙහි කෙලෙස් මළ සහිත ශාස්තෘවරුන් විසින් සිතන ලද, ශුද්ධ නොවූ ධර්මයක්
පහළ විය. එනම් අපිරිසුදු ධර්මයක් පහළ විය. භාග්‍යවතුන් වහන්ස, නිවන් දොර විවෘත කරනු
මැනවි. නිර්මල වූ නුඹ වහන්සේ විසින් අවබෝධ කළ ධර්මය සත්වයෝ අසත්වා.”
“පෙර මගධ දනව්වේ කෙලෙස්මල සහිත ශාස්තෘවරුන් විසින් සිතන ලද, කියන ලද, ශුද්ධ නොවූ
ධර්ම ඕනෑ තරම් පහළ වී තිබුණි. එනමුත් එවැනි ශුද්ධ නොවූ අදහස්, ධර්ම, දෘෂ්ඨීන් අතර
නිවන් දොර විවෘත කරන ඔබ වහන්සේ ඒ අමා නිවන් දොරම විවෘත කරනු මැනවි. නිර්මල වූ නුඹ
වහන්සේ විසින් අවබෝධ කළ ධර්මය සියලු සත්ත්වයන් විසින් අසත්වා” යන්න මෙහි අදහසයි.
සහම්පතී බ්‍රහ්මයා මෙසේ ද සඳහන් කළේ ය. ‘යහපත් වූ, ප්‍රඥා ඇති සර්වඥයන් වහන්ස.
ගලින් නිර්මාණය වූ පර්වතයක් මුදුනෙහි සිටි කෙනෙක් හාත්පස ජන සමූහයා යම් සේ දකී ද’
එබඳු උපමා ඇති ධර්ම ප්‍රසාදයට නැඟ ඔබ වහන්සේ පහ වූ ශෝක ඇති සේක්, ශෝකයෙන් යුතු
ජාති, ජරා, ආදියෙන් මැඩුණා වූ දුක් විඳින්නා වූ සත්ත්ව සමූහයා දෙස බලන සේක්වා. මාර
සංග්‍රාමය දිනූූ වීර්යයන් වහන්ස! කාමච්ඡන්ද සංඛෙයාත ණය නැතිකළා වූ වීර්යයාණන්
වහන්ස, නැඟී සිටිනු මැනවි. ලෝකයේ හැසිරෙනු මැනවි. භාග්‍යවතුන් වහන්ස ධර්මය දේශනා
කරන සේක්වා! ඒ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරන්නා වූ පිරිස් ඇතිවන්නාහ.
මෙහි අදහස් පෙළ ද නුවණින් සිතා බලන්න. සහම්පතී මහා බ්‍රහ්මයා පෙන්වා දෙන අදහස ඔබට
මනාකොට වැටහේවි.
ශෛලමය පර්වතයක් මුදුනට නැඟ සිටින අයකුට ඒ අවට වටපිටාව, හා ජන සමූහයා මනා සේ දැක
ගන්නට පුළුවනි. ඒ වගේ ම ධර්ම ප්‍රසාදයට නැඟ සිටින ඔබ වහන්සේට නැති කළා වූ, බැහැර
කළා වූ ශෝක ඇති සේක. ශෝකයෙන්, ඉපදීමෙන්, දිරාගෙන යෑමෙන්, මරණයෙන්, දුක්විඳින සත්ත්ව
සමූහයා දෙස බලා ගන්නට පුළුවනි. එසේ බලනු සේක්වා.
ඔබ වහන්සේ ශෝක නැතිකොට ඇති බැවින් ශෝකයෙන් පෙළෙන සත්ත්වයන්ට පිහිට වන්නට ඔබ වහන්සේට
පුළුවන්කම ලැබෙන්නේ ය. සාරාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් පුරා පාරමී දම් සම්පූර්ණ කළේ
ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක පරිදේවයන්ගෙන් පීඩිත සත්ත්වයන් එයින් නිදහස් කරන්නට
නම්, ඔබ වහන්සේට ඒ අවස්ථාව දැන් සැලසී තිබෙන බව සහම්පතී මහා බ්‍රහ්මයාගේ අදහස විය.
සහම්පතී මහා බ්‍රහ්මයා නැවතත් මෙසේ සඳහන් කරනවා. මාර සංග්‍රාමය දිනූ වීර්යයන්
වහන්ස, කාමච්ඡන්ද සංඛෙයාත ණය නැතියාණන් වහන්ස, එනම් ඇස, කන ආදී ඉන්ද්‍රියන්ගෙන් රූප
ශබ්ද ආදී අරමුණුවලට ඇලී බැඳී ඒවාට සිතින් ණය වූ පුද්ගලයෙක් නොවී කාමච්ඡන්දයන්ගෙන්
නිදහස් වූ ණය නොමැත්තෙක් වූ ඔබවහන්සේ යන අදහසයි. නැගී සිටිනු මැනවි ලෝකයට වැඩම
කරන්න.
භාග්‍යවතුන් වහන්ස, ධර්මය දේශනා කරන්න. ධර්මය අවබෝධ කරගන්නෝ ඇතිවන්නා හ.
අනිවාර්යයෙන් ම බොහෝ සත්ත්වයන් ඔබ වහන්සේ දේශනා කරන ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක
පරිදේවයන් බැහැර කරන ඒ අමා නිවන අවබෝධ කර ගන්මෝය යන අදහසයි.
ඉක්බිති මහා බ්‍රහ්මයාගේ ආරාධනාව ලැබ සත්ත්වයන් කෙරෙහි වූ මහා කරුණා ගුණයෙන්,
බුදුරජාණන් වහන්සේ මෙසේ පැවසූහ. ආසයානුසය හා ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානයන් ද ඇතුළුව
ලෝකය බලන්නා වූ මම අල්ප වූ කෙලෙස් ඇති අය ද, මහා කෙලෙස් ඇති අය ද, දුටුවෙමි. තියුණු
වූ නුවණැතියන්. ඒ වාගේ ම ශ්‍රද්ධා ආදී ඉන්ද්‍රියන් ඇත්තා වූ අය ද, මෘදු ඉන්ද්‍රියන්
ඇත්තා වූ අය ද දුටුවෙමි. යහපත් වූ ශ්‍රද්ධා ආදී ආකාර ඇත්තා වූ ද අයහපත් වූ
ශ්‍රද්ධාදී ආකාර ඇත්තා වූ ද මිනිසුන් දුටුවෙමි. පහසුවෙන් අවබෝධ කරවිය හැකි වූ ද
පහසුවෙන් අවබෝධ කරවිය නොහැකි වූ ද සත්ත්වයෝ ද දුටුවෙමි. පරලොව හා වරද බිය වශයෙන්
දක්නා සුළු වූ හා පරලොව හා කෙලෙස් වරද බිය වශයෙන් නොදැක වාසය කරන්නා වූ අය ද
දිටිමි.
භාග්‍යවතුන් වහන්සේ සියලු සත්ත්වයන්ගේ සිත්හි සකස්වන්නා වූ කෙලෙස් හා ඔවුන්ගේ
ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන් හි ස්වභාවය පිළිබඳව නුවණින් දුටු බව ඉන් අදහස් වන්නේ ය.
ආසයානුසය හා ඉන්ද්‍රිය පරෝ පරියත්ත ඥානයන්ගෙන් සත්ත්වයන්ගේ ඒ ඒ ස්වභාවය දුටු බව ඉන්
පැහැදිලි කරන්නේ ය. එසේ දුටු බුදුරජාණන් වහන්සේ ධර්ම අවබෝධයට හැකියාවක් ඇති හා නැති
සත්ත්වයන් පිළිබඳව මනා අවබෝධයක් ලැබූ බව ඒ දහම් කතාවෙන් පැහැදිලි වේ.
“යම් සේ උපුල් විලක හෝ පියුම්විලක හෝ හෙළ පියුම්විලක හෝ දියෙහි හටගත්තා වූ දියෙහි
වැඩුණා වූ දියෙන් උඩට නොනැඟුණා වූ දියෙහි ගැලී පෝෂණය වන්නා වූ ඇතැම් උපුල් හෝ
රත්පියුම් හෝ හෙළ පියුම් හෝ ජලයේ හටගත්තා වූ ජලයේ වැඩුණා වූ ජලය හා සමව සිටියා වූ
ඇතැම් උපුල් හෝ රත්පියුම් හෝ හෙළ පියුම් හෝ වේ ද? ජලයේ හටගත්තා වූ ජලයේ වැඩුණා වූ
ජලය ඉක්මවා සිටියා වූ ජලයෙන් නොතැවරුණා වූ ඇතැම් උපුල් හෝ රත්පියුම් හෝ හෙළ පියුම්
හෝ වේ ද? එසේ ම මහණෙනි, බුදු ඇසින් ලොව බලන්නා වූ මම කෙලෙස් අඩු, කෙලෙස් වැඩි
සත්ත්වයන් දුටුවෙමි. තියුණු ඉන්ද්‍රියන් ඇති මෘදු ඉන්ද්‍රියයන් ඇති යහපත් ආකාර ඇති
අයහපත් ආකාර ඇති පහසුවෙන් අවබෝධ කරවිය හැකි, පහසුවෙන් අවබෝධ කරවිය නොහැකි වූ ද
සත්ත්වයන් දුටුවෙමි.
පරලොව හා කෙලෙස් බිය වශයෙන් දක්නා සුළුව වසන ඇතැම් සත්ත්වයන් ද පරලොව හා කෙලෙස් බිය
වශයෙන් නොදක්නා සුළුව වසන්නා වූ ඇතැම් සත්ත්වයන් ද දිටිමි යි බුදුරජාණන් වහන්සේ
දේශනා කළහ.
- දීපා පෙරේරා |