Print this Article


යමක වග්ගය 04 : නොසිතන්නේ නම් මෙලෙසින්

යමක වග්ගය 04 :

නොසිතන්නේ නම් මෙලෙසින්

තිස්ස තෙරුන්ගේ කතා වස්තුව

මට බැන්නා – මට ගැහුවා වද දුන්නා – පාඩු කළා
නො සිතන්නේ නම් මෙලෙසින් වෛරය දුරුවෙයි විගසින්

අක්කොච්ජි මං අවධි මං
අජිනි මං අහාසි මෙ
යෙ තං න උපනය්හන්ති
වෙරං තෙසූප සම්මති

නින්දට යා යුතු වේලාව එළඹියෙන් නාරද තවුසා දේවල තවුසා නිදන තැන, නිදන දිශාව හා දොර තිබෙන තැන ද හොඳින් මතක තබාගෙන නින්දට ගියේ ය.

එහෙත් දේවල තවුසා එතැන වෙනස් කොට කෙළින්ම දොර ඇති දිශාවෙහි හරහට නිදා ගත්තේ ය.

ඒ බව නො දත් නාරද තවුසා මහ රැයෙහි නැගිට බැහැරට යනු කැමැතිව දොර දෙසට ගමන් කළේ ය. අවාසනාවට මෙන් ඔහුට දේවල තවුසාගේ ජටාමඩුල්ලෙහි වූ කෙස් පෑගිණි.

“කවුද මගේ කොණ්ඩය පෑගුවේ”

දේවල තවුසා කෑ ගැසීය

“ආචාර්යයන් වහන්ස, ඒ මම” යි නාරද තවුසා පැවසී ය. “හොර තාපසය,” කැලේ ඉඳලා ඇවිත් මගේ ජටා මඬුල්ලත් පෑගුවා” යි දේවල තවුසාට බැණ වැදුණේ ය.

“ආචාර්යයන් වහන්ස, මම දැනගෙන සිටියේ නෑ ඔබ මෙතන නිදි කියලා. වැරැදීමක්, සමාවන්න”යි පැවසූ නාරද තවුස් තෙම මිදුලට බැස්සේ ය.

“නාරද ආපසු එන කොට මාව පාගන්න තියන්න හොඳ නෑ “ යි සිතූ දේවල තවුසා හිස තිබූ අතට පා දමා නිදා ගත්තේ ය.

“ආ පැත්තෙන් ම ගියොත් ආයෙත් දේවලගේ ජටාව පෑගෙන්න පුළුවනි” යි සිතූ නාරද තවුස් තෙම මෙවර අනෙක් පැත්තෙන් යන්නට ගොස් දේවල තවුසාගේ ගෙල මත පා තැබීය “ඒ කවුද” දේවල විමසී ය.

“ඒ මම ආචාර්යයෙනි” යි නාරද පිළිතුරු දුන්නේ ය. “ හොර තාපසයා, මුලින් මගේ ජටා මඬුල්ල පෑගුවා. දැන් බෙල්ල ම පෑගුවා. මම තමාට සාප කරනවා” හෙතෙම මහ හඬින් පැවසී ය.

“ආචාර්යතුමනි, කෝප නොගන්න. මුල්වතාවේ ජටා මඬුල්ල පෑගුණු නිසා මේ සැරේ ඒ වගේ දෙයක් නොවෙන්න පය පැත්තෙන් ආවා. මම දැනගෙන හිටියේ නෑ ඔබ දිශාව මාරු කළ බව, මට සමාවෙන්න” යි නාරද තවුසා කී ය. එහෙත්, “මම නුඹට සාප කරනවා” යි දේවල තවුසා හඬනඟා කී ය.

“එපා එපා ඒක කරන්න එපා” යි නාරද නැවතත් අයැද සිටියේ ය. “ නෑ. සාප කරනවාමයි”

පැවසූ දේවල තවුසා” හෙට හිරු නැගෙන විට ඔබේ හිස හත්කඩයට පැලේවා”යි සාප කළේ ය.

මේ සාපය නිවැරැදිකරුවකුට කළ එකක් බැවින් කළවුන් වෙත ම ආපසු කැරකෙන එකක් බව නාරද තවුසා නුවණින් දැක ගත්තේ ය. එහෙයින් තම ධ්‍යාන බලයෙන් හිරු නො නැඟෙන පරිදි අධිෂ්ඨානයක් කළේ ය. එදින හිරු උදා නොවන්නේ කවර හෙයින්දැයි සොයා බැලු රජ තෙම කරුණු දැන නාරද තවුසාගෙන් සමාව ගන්නැයි දේවල තවුසාට බලකර කීවේ ය. එහෙත් හෙතෙම එයට අකැමැත්ත පළ කළේ ය. ඔහු ඇමතූ නාරද තවුසා මෙසේ පැවසී ය.

“ආචාර්යතුමනි, මම මගේ ඍද්ධි බලයෙන් හිරු නැගෙන්නට සලස්වන්නෙමි. ඔබේ හිස මත මැටි බෝලයක් තබාගෙන දියේ ගිලී වෙන තැනකින් මතුවනු මැනවි” යි කීවේ ය.

හිරු උදාවන විට ම දියෙහි සිටි දේවලගේ හිස මත වු මැටි ගුලිය සත්කඩකට පිපිරී ගියේය. දියේ ගිලී ගොස් වෙන තැනකින් මතුවු දේවල අසලකවත් නො රැඳී පලා ගියේ ය.

“මහණෙනි, එදා රජව සිටියෝ ආනන්ද ස්ථවිරයෝ ය. එදා හිතුවක්කාර වු දේවල තවුසා නම් අදත් අකීකරු මේ තිස්ස භික්ෂුව ය.නාරද තවුසා නම් මම ම වූයෙම් යි භාග්‍යවතුන් වහන්සේ කතාව නිමවූහ.

වෛරය අහිතකර ආවේගයකි. අපට විවිධ පුද්ගලයන් විසින් කරනු ලබන හිරිහැර, අවමාන, අලාභ ආදිය නිතර සිහියට නගා ගනිමින් වෛරය පෝෂණය කිරීමෙන් අනර්ථයක් මිස යහපතක් සිදු නොවේ. වෛර කිරීම හා පලිගැනීම වෙනුවට ඉවසීම, සමාව දීම හා මෛත්‍රිය ප්‍රගුණ කරන්නේ නම්, එය මානසික සුවයට මෙන් ම කායික සුවයට ද අදාළ වෙයි.

ඉවසීම, සමාව දීම හා මෛත්‍රිය ප්‍රබල පෞරුෂයක ලක්ෂණය. අපගේ අරමුණ නිරෝගී, ප්‍රසන්න මනසක් ඇතිව සිටීම නම්, දූෂිත සිත ඊට ඉඩ නො තබයි. ආවේග පාලනය කර ගන්නට හැකි වීම දක්ෂ කමකි. ආවේග නිසා මහත් විනාශයක් වූවාට පසු කනගාටුවීමට වඩා ඒවා පාලනය කර ගෙන අපගේ ජීවිතය වාසනාවන්ත කර ගැනීමට සමත්වීම ඥානවන්තකමකි.

මං :මට

අක්කොච්ජි :නින්දා පරිභව කළේ ය

මං : මට

අවධි :වධ හිංසා කළේ ය

මං : මා

අජිනි : පැරදවීය

මං :මට

අහාසි : පාඩු කළේ ය

(මා සතු දේ පැහැර ගත්තේ ය)

යෙ : යමෙක්

තං : මෙබඳු දේ

න උපනය්හන්ති : නිතර නිතර

මතක් කරමින් නොසිටියි නම්

තෙසං : ඔවුන්ගේ

වෙරං :වෛරය

සම්මති :සංසිඳෙයි