Print this Article


පිරිත් දේශනාව: පිරිතයි පෞරාණික සිරිතයි

පිරිතයි පෞරාණික සිරිතයි

ලද පස් මල්

මාර පරාජයේ දී බෝසතාණන් වහන්සේගේ ජයග්‍රහණය සැමරීම සඳහා දෙව් බඹුන් බෝධි මණ්ඩපයෙහි විළඳ, සුනුසාල්,අබ, සමන් කැකුළු, ඊතණ යන පස් මල් අතොරක් නැතුව විසුරුවා හැරිය බව සද්ධර්මාකරයේ සඳහන් වේ.

පුන් කලස

සම්පූර්ණයෙන් දිග හරින ලද පොල් මලක් දැමූ නැවුම් කළයක් පොල්තෙල් පහනක් පහන් තිර රෙදි සමඟ තබා පිරිත ආරම්භයේ දී ම දල්වනු ලබයි. ඇතැම් විට කළය ගොක් කොළවලින් සරසයි. පුන් කලස හෙවත් පූර්ණ ඝටය පෙරදිග කලාවේ ප්‍රමුඛ අංගයකි. සෞභාග්‍යයේ සංකේතයකි.

බුදුරදුන් සම්බුද්ධත්වයට පත්වු මොහොතේ දී මහී කාන්තාව බුදුරදුන් වෙනුවෙන් සාක්ෂි වශයෙන් පුන් කලසක් ගෙන පොළවෙන් මතු වූ බවට විශ්වාසයක් පවතී. මේ සිදුවීම සිහිපත් කිරීම සඳහා පිරිත් මණ්ඩපය වටා පුන් කලස් අටක් තබනු ලැබේ. පොළොව අට දිශාවේ පැතිරීම කළ අටක් තැබීමේ අදහසයි. සාංචි, භාරත, කැටයම් අනුව ශ්‍රී විෂ්ණුගේ භාර්යාව වන ලක්ෂ්මි සංකේතවත් කරනුයේ භද්‍ර ඝටය නම් වූ පුන්කලස මගින් බව ඇතැම්හු පවති. ගණ දෙවියන් හා සම්න්ධයක් ද ඇති නිසා කල්ප වෘක්ෂය ද මේ මගින් මතකයට නංවයි.

පොල්තෙල් පහන

පිරිත් මණ්ඩපය විදුලි බුබුළුවලින් ආලෝක කර තිබුණත් පොල්තෙල් පහනක් තැබීමත්, පුන්කලස්වල පහන් දැල්වීමත් සිරිතකි. අවිද්‍යා අන්ධකාරය දුරු කරන තුන් ලොවට ප්‍රදීපයක් වූ බුදුරජාණන් වහන්සේට පූජාවක් වශයෙන් මුල් යුගයේ සිට ම බෞද්ධයින් දීප පූජා පවත්වා ඇත. දීප දාන ගැන පාලි සාහිත්‍යයේ තොරතුරු සඳහන් වේ.

නාගවල්ලි , නාගලතා, නාගපල්ලව

පිරිත් මණ්ඩපයේ වියනේ එල්ලීමට ගන්නා මේ ද්‍රව්‍ය විශේෂ අර්ථයක් ඇතිව ම තෝරා ගෙන ඇත. බෞද්ධ සාහිත්‍යයේ නොයෙකුත් නාගයින් ගැන තොරතුරු දක්නට ලැබේ. බුද්ධ චරිතය සමඟ ද නාගයෝ සම්බන්ධ වෙති. නාගවල්ලි යනු බුලත් විශේෂයකි. නාගලතා ද බුලත් වර්ගයි. අනෝතත්තවිල අසල වැවෙන වැල් වර්ගයකි. නාගපල්ලව නම් නා දලුය. නා ගස ද, බෞද්ධ කතා හා බැඳේ, මෛත්‍රි බෝධිසත්ත්වයන් වහන්සේට සෙවන සලසන බෝධිය වන්නේ ද නා ගසකි. එහි නාගයින් ආරක්ෂාවට සිටිතියි ද මතයක් වේ. මුචලින්ද නා රජුගෙන් බුදුරදුන්ට වර්ෂාවෙන් ආවරණය වීමට සහාය ලැබුණු බවට තොරතුරු තිබේ.

පිරිත් හුය හා පිරිත් නූල

උතුරු මෙන් ම දකුණු භාරතීයන් අතර නූල් බැඳීමේ සිරිත පවතී. සිංහල ජාතියේ සමාරම්භක අවස්ථාවේ දී ද, මේ චාරිත්‍රය ඉටු කෙරිණි. පිරිත් නූල් බැඳීමෙන් ආරක්ෂාව සැලසුණු අයුරු විජය වෘත්තාන්තයෙන් කියවේ.

ධාතුන් වහන්සේ තැන්පත් කරඬුව

බුදුරජාණන් වහන්සේ ද පිරුවානා පොත් වහන්සේ, ධර්මස්කන්ධය ද, වැඩම කළ සම්මුති සංඝයා – මහා සංඝ රත්නයද, නියෝජනය වේ. පිරිත් මණ්ඩපය තෙරුවන් සහිත බෝධි මණ්ඩලය සංකේතවත් කරන හෙයින් ඒ වටා පිරිත් හුය ඇදීමෙන් එක්තරා නියමිත කාලයකට සුවිශේෂී අරමුණක් සඳහා වෙන් කරනු ලබයි.

පිරිත් හුය කිසිවිටක කඩනු නො ලැබේ. පිරිත් හුයට සම්බන්ධ කර ඇති පිරිත් නූල කැබලිවලට කඩා බඳිනු ලැබේ. ඒ පිරිත් පැනින් තෙත් කිරීම අතීතයේ දී සිදුකර තිබේ.

පිරිත්පැන් ලබා දෙන විට
යං කිඤ්චි විත්තං ඉධ වා හුරං වා
සග්ගේසු වා යං රතනං පණීතං
න නො සමං අත්ථි තථාගතේන
ඉදම්පි බුද්ධෙ රතනං පණීතං
යන ගාථාව දේශනා කරයි
පිරිත් නූල් බඳින විට
සබ්බේ බුද්ධා බලප්පත්තා
පච්චේකානඤ්ච යං බලං
අරහන්තානඤ්ව තේජේන
රක්ඛං බන්ධාම් සබ්බසෝ

යන ගාථාව අනිවාර්යයෙන් ම තුන්වරක් දේශනා කරමින් පිරිත් නූල් බඳියි. පිරිත් නූල පොටවල් තුනකින් යුක්ත ය. එයින් තෙරුවන් සරණ යෑම අදහස් කරයි. පිරිත් නූල ආයුධයකින් කපනු නො ලැබේ. බඳින ලද පිරිත් නූල දින කීපයකට පසු කඩා ගසක එල්ලා තැබීම හෝ වහලකට විසි කිරීම සිදු කරනු ලබයි. පිරිත්පැන් හා පිරිත්නූල් පෑගෙන තැනක නො දමයි.