Print this Article


හිස් අතින් යනවා ද?

හිස් අතින් යනවා ද?

අපි කවුරුත් ජීවිතයේ විවිධ අවදි පසු කරමු. කෙළිලොල් බවින් පිරුණු ළමා විය නිදහස් ය. ලස්සන ය. තීරණාත්මක තරුණ වියේ දී අප ඉතාමත් වැදගත් තීරණවලට එළඹෙයි. ඉන්පසුව එළඹෙන්නේ වගකීම්වලින් පිරුණු පරිණත තීරණ ගතයුතු මැදිවිය යි. අකැමැත්තෙන් වුවත් ඊළඟට අප කරා එළඹෙන්නේ ජීවිතේ සැඳෑ සමය යි. එනම් මහලු විය යි.

මහලුවිය තමන් වෙත එන්නේ හිස් අතින් නම් නොවේ. ලෙඩ දුක් කරපින්නා ගෙන ය. අපි ආදරයෙන් වැළඳගත් කය රැළි වැටේ. දුර්වර්ණ වේ. නො සිතූ ලෙඩරෝග උරුම කර දේ.

ලස්සනට තිබුණ ඇස් යටට ගිලී ලෝකයේ සුන්දරත්වය නො පෙනී යයි. මිහිරි වදන් ඇසූ කන් නො ඇසේ. දිව්‍ය රස බොජුන් ආහාරයට ගත්ත ද දිවට ඒ රසය නො දැනේ. තාලයට චලනය කළ අත් පා සෙලවීමට පවා නො හැකි වෙයි. මහලුවිය වේගයෙන් අප වෙත පිය නගයි. කෙතරම් යාන වාහන, මිල මුදල්, ඉඩ කඩම් දේපල වස්තුව තිබුණත්, ඥාති මිතුරන් සිටියත් ඒ කිසිවකට මේ ජරා ජීර්ණ වීම නවතාලිය නො හැකි ය. කෙතරම් ආදරය කළද, දරු මුණුපුරන්ට දුකට පත්වීම බෙදා ගන්නට බැරි ය. මේ කය ජරාව වෙත කැඳවාගෙන ගිය පසු ආඩම්බරකම, මාන්නය, නම්බුනාම කිසිවකින් කිසිදු ප්‍රයෝජනයක් ද නොමැත.

පින් - පව්, කුසල් - අකුසල් ගැන නො තකා අයහපත් මඟ ගියේ නම්, නරක මිතුරන්ට අවශ්‍ය පරිදි ජීවත් වූයේ නම්, ඒ පුද්ගලයාගේ මහලුවිය අනතුරුදායක ය. මහලුවියට පත්වන විට ජීවිතයට ආරක්ෂාවක් සලසා ගත නොහැකි ද? ඇත්තෙන් ම ඒ සඳහා මාර්ගයක් ඇත. සැඳෑ සමය පසු කරමින් මරණය අභියස සිටින්නාට ද ඒ මාර්ගයට පිවිසිය හැකි ය.

එවිට අඳුරු මහලු විය සුන්දර කරගෙන නො බියව මරණයට මුහුණ දිය හැකි ය. එසේ කළ හැකි වන්නේ තෙරුවන් සරණ ගිය ආර්ය ශ්‍රාවකයෙකුහට පමණ ය. ඔහු සිය පණ දෙවැනි කොට තිසරණයේ පිහිටා සිල්පද රැකිය යුතුවෙයි. බුදුරජාණන් වහන්සේ සරණ ගිය පුද්ගලයා කායික මානසික පීඩා හමුවේ අසරණ නොවේ. කය ලෙඩ වුවත්, සිත ලෙඩ නො කර ගත යුතු යැයි ඔහු මෙනෙහි කරයි.

වයසට ගිය පසු කුමන ඉරණමකට මුහුණ දෙන්නට සිදුවේ දැයි කාටනම් කිව හැකි ද? පෙර පිනකින් ලැබු මනුස්ස ජීවිතයෙන් ප්‍රයෝජන නො ගෙන ලද සම්පතට මුළා වූයේ නම්, ඔහුගේ ජීවිතය මසුන් නැති හිස් මඩ වගුරක් දෙස බලාසිටින වයසට ගිය කොස්වාලිහිණින් වගේ ය. කිසිවක් කරකියා ගත නොහැකිව නිවැරැදි මාවතකට සිත යොමු කරගන්නට නො හැකිව බලාගත් අත ඔහේ බලාගන සිටින මහලු ජීවිත කෙතරම් නම් අසරණ ද?

අපි ජීවිතයේ දී ආපදා වැනි හදිසි දුෂ්කර අවස්ථාවක දී ප්‍රයෝජනයට ගැනීමට මිල මුදල් ධන ධාන්‍ය තැන්පත් කර තබා ගනිමු. ජරාවට පත් ව ලෙඩ ඇඳට පත් වූ පසුව ප්‍රයෝජනයට ගැනීමට තිබෙන්නේත් මිල මුදල් යාන වාහන වැනි භෞතික වස්තුන් නොවේ. තමන්ට ශක්තිය සවිය, බලය තිබෙන කාලයේ දන් දී, බොහෝ පින්කම් කොට සීල සංවරය ඇතිකරගෙන මෛත්‍රීය ආදී භාවනා හුරු පුරුදු කරගෙන රැස්කරගත් පුණ්‍ය සම්භාරය පමණි. මෙසේ ධර්මයේ හැසිරී පුණ්‍ය ධර්මයන් රැස් කරගත් පුද්ගලයා තමාගේ අවසන් කාලයේ කිසි විටක බියෙන් තැති ගැනීමෙන් සන්තාපයකට පත් වීමක් සිදු නො කර ගනියි. කිසිවක් කර කියා ගත නො හැකිව සයනයේ වැතිරී සිටිය ද, සතුටු සිතින් රැස් කරගත් පින ගැන සිතමින් සතුටු වෙයි. ලෙඩ දුක්වලින් ඔහුගේ කය යටත් කර ගත්ත ද, සිත යටත් කර ගැනීමට නො හැකි ය.

එනිසා ජරා දුකට ව්‍යාධියට පත්වීමට පෙර හොඳින් සිහිය නුවණ ඇති කාලයේ සවි ශක්තිය, ඥානය, බලය ඇති කාලයේ සැඳෑ සමයේදී සැනසීම පිණිසත්, පරලොව සුගතිය පිණිසත් අද අදම පුණ්‍ය ආයෝජනයන් කර ගැනීම අපගේ හිතසුව පිණිස ම පවතින්නේ ය.