Print this Article


පුෂ්ප පූජා

පුෂ්ප පූජා

එක් ශ්‍රද්ධාවන්ත උපාසිකාවක් දිනක් වැටකොළු වැලකින් මල් හතරක් නෙළාගෙන බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ නිධන් කළ ස්තූපයක් වන්දනා කිරීමට පිටත් විය. ශාස්තෘන් වහන්සේගේ උතුම් ගුණකඳ සිහි කරමින් අපමණ බුද්ධාලම්බන පී‍්‍රතියකින් ගමන් කරද්දී සිදුවූයේ අනපේක්ෂිත දෙයකි. ස්තූපයට යන අතරමඟදී ම කුලප්පු වූ ගවදෙනක් ඇන ඇය මිය ගියා ය.

එසේ අවාසනාවන්ත ලෙස මිය ගිය ද නිදා සිට පිබිදියාක් සේ ඇය තවුතිසා දෙව්ලොව උපන්නී ය. සක්දෙව් ඇයගේ පුණ්‍ය සම්පත්තිය දැක විමසද්දී ඇය කියා සිටියේ “ස්වාමිනි, මම වැටකොළු මල් හතරක් ගෙන භාග්‍යවතුන් වහන්සේ ගේ ධාතුන් වහන්සේ තැන්පත් සෑයක් වන්දනා කරන්නට යමින් සිටියදී ගව දෙනක් ඇන මා මරණයට පත් විය. ස්වාමිනි මට ඒ පුෂ්පයන් සෑයට පූජා කරගත හැකි වූවානම් මාගේ සැපය තවත් අනගි වන්නේය” කියා ය.

පුෂ්පයෝ. . . ඉතාමත් සුන්දරය පියකරුය . බුදු සසුනත්, මලත් අතර ඇත්තේ එකිනෙකට වෙන් කළ නොහැකි අන්‍යෝන්‍ය සබැඳියාවකි. යමෙක් බුදු පුදට සැරසෙද්දී මුලින් ම සිතට නැඟෙන්නේ මල් පූජාව යි. එය එතරම් අපට සමීපය . මලින් තොර ආමිස පූජාවක් නො මැති තරම් ය.

මල් පූජාව පුණ්‍ය ගංගාවකි. එය ශ්‍රද්ධාව සමඟ එක් වූ කල සුගති සැප ලබන්නට උපකාරි වෙන සොඳුරු යානාවක් වන්නේ ය. මලෙහි ඇති සුන්දරත්වය නිසා ම ඒ මල් නෙත ගැටෙන කල සිත සුපසන්ව සුන්දර වූ හැඟීම් සමුදායකින් ප්‍රමුදිත බවට පත්වේ. එවැනි සිතකින් අසිරිමත් ගුණ දරන දෙ තිසක් වූ මහා පුණ්‍ය ලකුණින් ශෝභමාන බුදුරජාණන් වහන්සේ උදෙසා කෙනෙක් මල් පූජා කරයි ද, එයින් රැස්වෙන පුණ්‍ය බලය අසිරිමත් වූවෙකි. ඒ පුණ්‍ය බලය සිත් සේ සියලු සැප ලබාදෙයි.

මේ ආකාරයට එදා සිට මේ දක්වා මල හා බුදු සසුන අතර ඇත්තේ මනා සබඳියාවකි. අනන්ත වූ ගුණ දරන මුනිඳුන් වෙනුවෙන් එකම මලක් හෝ සැදැහැ සිතින් පූජා කළොත් රැස්වන පින අපමණ වන්නේ ය.

සම්බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පා වදාළ පසු ශ්‍රාවක පිරිස සර්වඥ ධාතුන් නිදන් කොට මහා ස්තූපයක් කරවූහ. ඒ ස්තූපයට මහා වන්දනාවන් සූදානම් විය. එක් දුගී මිනිසෙක් ඒ බුදු සමිඳුන් කෙරෙහි මහත් ශ්‍රද්ධාව උපදවා ගෙන එක් දියබෙරලිය මලක් නෙළා ගෙන බුදුගුණ මෙනෙහි කරමින් ඒ මල ඒ සෑයට පූජා කළේ ය. පින කෙතරම් බලවත් ද යත් ඔහු දුගතියට නො ගොස් අසූ පස්වතාවක් ම සක්විති රජකම් කළේ ය. අප ගෞතම සම්මා සම්බුුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ දී ඉපද පැවිදි වී උතුම් රහතන් වහන්සේ නමක් බවට පත් වූ සේක. සුන්දර වන මලක් සුන්දරතම නිවන් මඟට උපකාරි වූ පින ආශ්චර්ය ය නො වෙන්නේ ද?

පුෂ්පයෝ කෙතරම් නම් පිපෙත් ද? කෙතරම් නම් සුන්දර වේ ද? කෙ තරම් දසත සුවඳ කරන්නේ ද? නමුත් ඒවා කෙටි කලකින් පරව යන්නේ ලොව ඇති සුන්දර, අසුන්දර සෑම දෙයක ම තිබෙන අනිත්‍ය බව මනා ලෙස පසක් කරමින් නොවේද?.