Print this Article


සදහම් දැනුම

ප්‍රශ්නය – මහා කාරුණික වූ බුදුරජාණන් වහන්සේ අසරණ වූ දරුවකු දැක අනුකම්පාව උපදවා ආලෝකයක් පතුරුවා ඔහුට පියවි සිහිය ලබා දී “දරුව මෙහි එව, තථාගතයන් දෙස බලව, රාහුගෙන් සඳ මිදුණාක් මෙන් මම නුඹ මුදා ගන්නෙමි” යි වදාළ සේක. මේ විපතට පත් දරුවා කවු ද? බුදුරජාණන් වහන්සේ මොහු මුදා ගත් ආකාරය පැහැදිලි කරන්න.

පිළිතුර - සෝපාක, රජගහනුවර සැඬොලෙකුට දාව පුක්කුස කුලයක ස්ත්‍රියක කුසින් උපන් දරුවෙකි. කුඩා කලම පියා මළ බැවින් සුළු පියා ඔහු ඇති දැඩි කළේ ය. තම පුතාට වැඩි සෙනෙහස දැක් වූ ඔහු පසුව සෝපාක විනාශ කිරීම සඳහා රාත්‍රියක සොහොනකට ගෙන ගොස් මළ මිනියක බැඳ තැබී ය. එහි දී ඉහත සඳහන් පාඨය දේශනා කොට බුදුරජාණන් වහන්සේ ඔහුට සරණ වූහ. පසුව ඔහුගේ මවට දේශනා කොට වදාළ බණ පදයෙන් මව සෝවාන් වූ අතර සෝපාක හිමියෝ ද රහත් ඵලයට පත් වූහ.

ප්‍රශ්නය – මාගම රජ පෙළපතකින් පැවැත ආ දුටුගැමුණු කුමරු අනුරාධපුරයෙහි කරවන ලද ස්තූප දෙක ප්‍රමාණයෙන් ද විශාලත්වයෙන්ද මීට පෙර ද කරන ලද ස්තූපවලට වඩා වැඩි ය. මෙම ස්තූප දෙක මොනවාද?

පිළිතුර – 1. මරිච්චවට්ටි – මිරිසවැටි, 2. රත්නමාලි (රුවන්වැලිසෑය)

ප්‍රශ්නය – “දිට්ඨි ධම්ම හිතාය” ව්‍යග්ඝපජ්ජ සූත්‍රයෙහි එන ධර්ම පාඨයකි. ධර්ම විවරණයක් කරන්න.

පිළිතුර - මෙලොව හිත සුව පිණිස පවත්නා යන්නය සරල අදහස. මේ සඳහා ජීවන මාර්ග 4 ක් ධර්මයෙහි සඳහන් වෙයි. උට්ඨාන සම්පදා, ආරක්ඛා සම්පදා, කල්‍යාණ මිත්‍ර සේවනය, සමජීවිකතාව

ප්‍රශ්නය – ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ සඳහන් වන පරිදි පරලොව ජීවිතය සැපවත් කර ගන්නා ක්‍රමය පැහැදිලි කරන්න.

පිළිතුර – පරලොව හිත සුව පිණිස පවත්නා ධර්මයෝ සතර දෙනෙක් වෙති. එනම් ශ්‍රද්ධා සම්පදා, ශීල සම්පදා, ත්‍යාග සම්පදා, ප්‍රඥා සම්පදා යනු මොහු ය.