Print this Article


කළගුණ සැලකීම

කළගුණ සැලකීම

කෘතගුණ සැලකීමේ සද්පුරුෂ ගුණය තථාගත බුදුරජාණන් වහන්සේ විසින් ආදර්ශයෙන් පෙන්වාදෙන ලද සහ අනුශාසනාවෙන් ප්‍රශංසා කරන ලද උතුම් වූ ගුණාංගයකි.

උන්වහන්සේ බුද්ධත්වය ලබා දෙවෙනි සතියෙහි තමන් වහන්සේට බුද්ධත්වය ලැබීමේ දී සෙවන දුන් ඇසතු වෘක්ෂය දෙස සතියක් පුරා බලාහිඳිමින් කෘතගුණ සැලකීමේ සද්පුරුෂ ගුණය ලොවට පෙන්වා දුන්හ. එමඟින් උන්වහන්සේ පෙන්නුම් කළේ අජීවි වස්තුවකට මේ ආකාරයෙන් ප්‍රත්‍ය උපකාර කරන්නේ නම් ජීවි වස්තුවකට කොපමණ නම් ප්‍රත්‍ය උපකාර කළ යුතු ද කියා ය. එබැවින් සද්පුරුෂ ලෝකයක් නිර්මාණය වන්නට, සද්පුරුෂ මනුෂ්‍යයන් ජීවත්වන පරිසරයක් වන්නට නම් කෘතගුණ සැලකීම පැවතිය යුතු වූ මානුෂික ගුණයකි.

තථාගත බුදුරජාණන් වහන්සේ විසින් කෘතගුණ සැලකීමේ ගුණය තවදුරටත් තම චරිතාදර්ශයෙන් පෙන්නුම් කළ සේක. එනම් තමන් වහන්සේ අවබෝධ කරගත් චතුරාර්ය සත්‍ය ධර්මය මුලින් ම දේශනා කිරීමට අදහස් කළේ, සත්‍ය සොයා යන ගමනේ මුලින් ම උපකාරී වූ ආළාරකාලාම සහ උද්දකරාම පුත්‍ර නම් වූ ආචාර්යවරුන් දෙදෙනාට ය. ඒ වන විට ඔවුන් කළුරිය කොට තිබූ බැවින්, දුෂ්කර ක්‍රියා කරන සමයේ තමන් වහන්සේට උපස්ථාන කළ පස්වග මහණුන් වහන්සේලාට ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය මුල්කොට ගත් නිවන් මඟ, එනම් දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව බරණැස ඉසිපතන මිගදායේ දී දේශනා කළ සේක.

එලෙසින් ම මවුපියන්ගේ මනස සුවපත් කරමින් උපස්ථාන කළා සේ ම මුළු ලොවට ම මවුපිය උපස්ථානයෙහි අගය පිළිබඳව දේශනා කළහ. බුදුරජාණන් වහන්සේ මෙන් ම ශ්‍රාවක ශ්‍රාවිකාවෝ ද කෘතගුණ සැලකීමේ උතුම් ගුණය මැනවින් පෙන්නුම් කළ සේක.

වර්තමාන පරිසරය දෙස කාරුණික මනසකින් යුතුව විමසා බලමු. කුඩා කල සිට තමන් හදාවඩා පෝෂණය කළ මවුපියන් අමතක කරන දූ දරුවන් අද අප ජීවත්වන සමාජයේ ම කොපමණ නම් පිරිසක් සිටින්නේ ද? වර්තමානයේ වැඩිහිටි නිවාස වැඩිවෙමින් පවතී. මේවායේ සිටින්නේ බොහෝ විට කාත්කවුරුවත් නැති අය ම නොවේ. විවාහයට පත්, දරුවන් ඇති, මුනුබුරු, මිනිබිරියන් ද සිටින මවුපියන් ය. සමහර වැඩිහිටි මවුපියන්ගේ දරුවන් උසස් නිලයන් දරණ පහසුකම් ඇති ජීවිත ගත කරන අයයි.තමන් ලොකු මහත්වන විට කුමන පිරිසක් කුමන පරිසරයක ජීවිතයකට සමීප වූවත්, කුමන ආකාරයේ ධනයක් තමන් රැස්කර ගත්තත්, ජීවිතයේ මුලින් ම ‘මගේ පුතේ’, ‘මගේ දුවේ’ මුළු ලෝකයට ම වඩා මම නුඹට ආදරෙයි යැයි පැවසූ මවුපියන් අමතකවීම නම්, ඒ අසත්පුරුෂ කමකි.

ඉතාමත් ගුණැති මවුපිය ගුණ හඳුනන දරුවන් ද නැත්තේ නොවේ. අදටත් අසරණ වූ මවුපියන් සුරැකෙන්නේ ද ඔවුන්ගේ ළතෙත් හදවත් නිසා ය. එමෙන් ම සෑම මනුෂ්‍යයෙක් ම තමන්ට ශිල්ප ශාස්ත්‍රය ලබාදුන් ගුරු උතුමන් අමතක නොකළ යුතු ය. මෙම උතුම් බුද්ධ ශාසනයෙහි ආචාර්ය උපාධ්‍යායවරුන් ට සලකන්නේ හා උපස්ථාන කරන්නේ ද මවුපියන්ට කරන උපස්ථානය හා සමානව සලකමිනි.කෘතගුණ දන්නා, කෘතගුණ සලකන සද්පුරුෂ මනුෂ්‍ය රත්නයක් වීමට අපට හැකි නම් පරිසරය බොහෝ සෙයින් ම යහපත් වේවි. දහම් මගේ දී, මාර්ග බ්‍රහ්මචරියාවේ දී මෙම උතුම් වූ ගුණාංග ඉතාමත් ම වැදගත් ය.