Print this Article


කේලාම් කීමේ ආදීනව

කේලාම් කීමේ ආදීනව

" වාග් දුශ්චරිතයට අයත් කේලාම් කීම (පිසුණා වාචා) බර පතල අකුශලයක් බව මෙම ප්‍රේත කථාවෙන් පැහැදිලි වේ"

කේලාම් කීමේ ආදීනව බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි පූතිමුඛ නම් ප්‍රේතයෙකු අරබයා මෙම කථාව ගෙනහැර දැක්වූහ.

අතීතයේ කාශ්‍යප බුදුරදුන් සමයෙහි කුල පුත්‍රයන් දෙදෙනකු බුදු සසුනෙහි පැවිදිව සීලයෙන් හා ආචාර සම්පත්තියෙන් ද ඔවුනොවුන් හා සමගියෙන් ද යුක්ත වූයේ එක්තරා පසල් ගමක පිහිටි ආරාමයක විවේක සුවයෙන් වාසය කළහ. කේලාම් කියා ඔවුනොවුන් බිඳවීමේ සිත් ඇති එක්තරා භික්ෂුවක් එම ආරාමයට පැමිණියේය. නේවාසික භික්ෂූන් දෙනම එම ආගන්තුක භික්ෂුවට වත් දක්වා උන්වහන්සේ පිළිගෙන සෙනසුන් සපයා දී පසු දින අළුයම උන්වහන්සේ ද කැටුව ගමට පිඬු සිඟා වැඩියහ. ගම්වැසි උවසු උවැසියෝ උන්වහන්සේලා කෙරෙහි පැහැදී ආහාර පානාදියෙන් මැනවින් සංග්‍රහ කළහ. පිණ්ඩපාතයෙන් අනතුරුව විහාරය බලා ආපසු පැමිණි ආගන්තුක භික්ෂුව තුළ “ මෙම ගොදුරු ගම ඉතා සුන්දරය. ගම් වැසියෝද ඉතා ශ්‍රද්ධා සම්පන්නය. ඉතා ප්‍රණීත ආහාර පානාදිය පූජා කරති. විහාරය ද අවශ්‍ය පහසුකම්වලින් යුක්ත ය. එබැවින් මෙහි පහසුවෙන් වාසය කළ හැකිය. එසේ වුවත් මෙම නේවාසික භික්ෂූන් දෙනම මෙහි වාසය කළහොත් මට පහසුවෙන් වාසය කළ නොහැකිය. අන්තේවාසිකයෙකු ලෙස වාසය කිරීමට සිදුවෙයි. එබැවින් උන්වහන්සේලා දෙනම ඔවුනොවුන් කෙරෙහි බිඳුවා විහාරයෙන් නෙරපා මා පමණක් මෙහි වාසය කළහොත් සැපෙන් විසිය හැකිය ” යනුවෙන් එක්තරා පවිටු සිතිවිල්ලක් හටගත්තේය.

එක් දිනක් මහා තෙරුන් වහන්සේ නේවාසික සහායක භික්ෂුවත් ආගන්තුක භික්ෂුවත් යන දෙනමම තමන් වහන්සේ වෙත කැඳවා අවවාදිය ලබා දුන්නහ. මහා තෙරුන්ගේ අනුශාසනයෙන් අනතුරුව නේවාසික භික්ෂූව උන්වහන්සේට නමස්කාර කොට තමන් වසන සෙනසුනට වැඩම කළ ද ආගන්තුක භික්ෂුවක මඳ වේලාවක් එහි රැ¼දී සිටියේ ය. තමා වසන සෙනසුනට නොගොස් එහි රැ¼දී සිටි ආගන්තුක භික්ෂුව දුටු මහා තෙරුන් වහන්සේ එයට හේතු විමසූහ. මහා තෙරුන් වහන්සේට යමක් පැවසීමට ඇතැයි පැවසූ ආගන්තුක භික්ෂුව උන්වහන්සේ වෙත ගොස් නේවාසික භික්ෂුව සම්බන්ධයෙන් කේලාම් බස් පැවසීය. මහා තෙරුන් අභියස හිතවත් කම පෙන්වන නමුත් උන්වහන්සේ නොමැති තැන පස මිතුරෙකු සේ දොස් පවරණ බවත් මහතෙරුන් වහන්සේ කපටි මායාකාර කුහකයෙකු මෙන්ම මිථ්‍යාජීවයෙන් යුක්ත අයෙකු යැයි පවසන බවත් දැන් වීය. ආගන්තුක භික්ෂුවගේ පිසුණු වදන් ඇසූ මහා තෙරුන් වහන්සේ මුල් අවස්ථාවෙහි එය විශ්වාස නොකළ අතර තමන් වහන්සේ සමඟ වැලි කෙලියේ පටන් මිතුරුව සිට පැවිද්දට පත් වීමෙන් පසුවත් සමගියෙන් හා අන්‍යෝන්‍ය ගෞරවයෙන් යුක්තව වාසය කරන කල්‍යාණ ගුණ ඇති තම සහායක භික්ෂුව කිසි දිනෙක එසේ නොකියන බවත් සපථ කළහ.

එයින් නොනැවතුණු ආගන්තුක භික්ෂුව “ඔබ වහන්සේගේ පිරිසුදු සිත නිසා එසේ සිතන නමුත් සහායක භික්ෂුව ඔබ වහන්සේ හිතන ආකාරයේ යහපත් කෙනෙකු නොවන බවත් කලක් ගත වන විට ඔහුගේ යථා ස්වභාවය ඔබ වහන්සේටම වැටහේ වී ” යනුවෙන් තරයේ කරුණු ගෙන හැර දක්වමින් නේවාසික භික්ෂුව සම්බන්ධයෙන් මහා තෙරුන්ගේ සිත දැඩි ලෙස බිඳ වීය. මහා තෙරුන් වහන්සේ ද තම පුහුදුන් බව නිසා කරුණු ගැඹුරින් නොසළකා ආගන්තුක භික්ෂුවගේ අදහස් පිළිගෙන තම සහායක භික්ෂුව කෙරෙහි මහත් සේ කලකිරුණහ. එදින රාත්‍රියෙහිම ආගන්තුක භික්ෂුව පෙර පරිද්දෙන්ම සහායක භික්ෂුව වෙත ද ගොස් මහා තෙරුන් පිළිබද කේලාම් කියා උන්වහන්සේ කෙරෙහි සිත කලකිරවීය. මෙසේ කේලාම් බස් කියා ඔවුනොවුන් බිඳ වූ අතර නේවාසික භික්ෂූන් දෙනම පසු දින පිඬු සිඟා ගොස් ආපසු පැමිණ දන් වළදා ඔවුනොවුන් හා කිසිදු කථාවක් නොකර එදින රාත්‍රී කාලයේ කිසිවෙකුටත් නොදන්වා ම ආරාමයෙන් පිටව ගියහ. තම චිත්තාභිලාසය සඵල වීමේ සොම්නසින් යුක්ත වූ ආගන්තුක භික්ෂුව පසු දින ගමට පිඬු සිඟා වැඩියේය. නේවාසික භික්ෂූන් දෙනම පිළිබඳ විමසූ දායක පිරිසට දන්වා සිටියේ පෙරදින රාත්‍රියේ ඔවුනොවුන් හා දබර කොට අමනාප වී ආරාමයෙන් පලා ගිය බවයි. සමගි වන්නැයි තමා කොතෙක් කරුණු දැක් වුවත් එය නොපිළිගත් බවත් තවදුරටත් පැවසීය. ගම් වැසියෝද ආගන්තුක භික්ෂුවගේ කථාව විශ්වාස කොට, එම ආරාමයෙහි නේවාසික ව වාසය කරන මෙන් උන්වහන්සේට ආරාධනා කළහ. ආගන්තුක භික්ෂුව ද ආරාධනය සතුටින් පිළිගෙන නේවාසිකව එහි වැඩ සිටියහ. ටික දිනක් ඇවෑමෙන් තමා කළ දරුණු පාප කර්මය සිහි වීමෙන් දැඩි ලෙස චිත්ත සන්තාපයට පත් ආගන්තුක භික්ෂුව දැඩි සේ ගිලන් ව, මරණයට පත් වී අවීචිමහා නිරයේ උපන්නේය.

ආරාමයෙන් බැහැර ගිය නේවාසික භික්ෂූහූ දෙනම පිළිවෙලින් ගම් නියම්ගම් පසු කරමින් යන්නේ එක් තැනකදී නොසිතූ පරිද්දෙන් ඔවුනොවුන් හමු වූ අතර සිදු වූ සියල්ල මැනවින් අවබෝධ කර ගත්හ. ඉක්බිති උන්වහන්සේලා පෙර පරිද්දෙන් සමගිව තමන් වැඩ විසූ ආරාමයට පැමිණ වාසය කළහ. උන්වහන්සේලාගේ පුනරාගමනයෙන් සොම්නස් වූ දායක පිරිස නිතර සිව් පසයෙන් උපස්ථාන කරමින් අවශ්‍ය පහසුකම් සැලසීය. ප්‍රත්‍ය පහසුකම් මෙන්ම විවේක සුවයත් ලැබූ නේවාසික භික්ෂූන් දෙනම විදසුන් වඩා නොබෝ කලකින් ම රහත් වූහ. මේ අතර කේලාම් කියා ඔවුනොවුන් බිඳ වූ ආගන්තුක භික්ෂුව බුද්ධාන්තරයක් නිරයේ දුක් විඳ මෙම කල්පයෙහි රජගහ නුවර සමීපයේ පූතිමුඛ නම් ප්‍රේතව උපන්නේය. ඔහුගේ කය රන්වන් පැහැයෙන් යුක්ත වූයේ නමුදු මුඛය පණුවන්ගෙන් ගැවසී ගත්තේය. එසේම මුඛයෙන් හමන දුර්ගන්ධය ඉතා ඈතට පැතිර ගියේය. එක් දිනක් නාරද මහා තෙරුන් වහන්සේ මෙම පූති මුඛ ප්‍රේතයා දුටු අතර කවර කර්මයක් නිසා මෙසේ වී දැයි ඔහුගෙන් විමසූහ. නාරද තෙරුන්ට පිළිවදන් දුන් පූතිමුඛ ප්‍රේතයා, තමා පෙර ආත්ම භාවයේ පැවිදිව අවාස මච්ඡරිය හා ලාභ මච්ඡරිය හේතුවෙන් කේලාම් කියා සිල්වත් භික්ෂූන් දෙනමක් බේද කොට ආරාමයෙන් පලවා හල හෙයින් මෙසේ දුක් විඳින ප්‍රේතයෙකු බවට පත්ව සිටින බවත් එබැවින් කේලාම් බස් කීමෙන් වළකින ලෙසත් පැවසීය. ඉක්බිති නාරද තෙරණුවෝ පුතිමුඛ ප්‍රේතයා පිළිබඳ පුවත බුදුරදුන්ට දැන් වූහ. බුදුරජාණන් වහන්සේ එම පුවත පදනම් කරගෙන කේලාම් කීමේ ආදීනව දක්වමින් ධර්මය දේශනා කළහ.

වාග් දුශ්චරිතයට අයත් කේලාම් කීම (පිසුණා වාචා) බර පතල අකුශලයක් බව මෙම ප්‍රේත කථාවෙන් පැහැදිලි වේ. ගිහි වුවද පැවිදි වුවද කේලාම් කීම නිරයේ පමණක් නොව ප්‍රේත ලෝකයක ඉපිද දුක් වීමට සිදුවන අකුශල චර්යාවකි. තෘෂ්ණාවෙන් හා ලාභාපේක්ෂාවෙන් පිරුණු පුද්ගලයා කෙතරම් උපක්‍රම ශීලිව ඔවුනොවුන් බිඳවමින් කටයුතු කරන්නේද යන්න ආගන්තුක භික්ෂුවගේ සිතුම් පැතුම් හා හැසිරීම් රටාවන්ගෙන් පැහැදිලි වේ. කොතරම් යහපත්ව සමගියෙන් වාසය කළත්, පුහුදුන් බව නිසා කේලාම් ඇසීමෙන් ආචාර්ය උපාධ්‍යාය අන්තේවාසික සද්ධිවිහාරිකයන් අතරත් භික්ෂූන් හා දායක දායිකාවන් අතරත් ගැටුම් ඇතිවේ. ගිහි සමාජයට ද මෙය එකසේ ම සාධාරණ වේ. කේලාම් කියමින් ඔවුනොවුන් බිඳවන පුද්ගලයන්ගේ බස් පිළිගත් බොහෝ දෙනෙක් භේද භින්නව විනාශයට පත් ව තිබේ. කේලාම් කියන්නාට එයින් තාවකාලික සතුටක් ලැබුණත් එයට අනුරූප අයහපත් විපාක කල්පයකින් වුව ගෙවා නිම කළ නොහැකි බව ඉහත කථාවෙන් ද සනාථ වේ. පිසුණු බස් කීමේ ආදීනව රැසක් සූත්‍ර දේශනාවල මෙන්ම පසු කාලයට අයත් බණ කථා සාහිත්‍යයේ ද දක්නට ලැබේ. කෙනෙකු බිඳවන අදහසින් කියන සෑම වචනයක්ම කේලමක් වේ. එබැවින් එය මහා සාවද්‍ය අකුශල කර්මයක් වේ. එයින් වැළකීම සමගිය හා සාමය පිණිස හේතුවේ.