දැහැමි බව සතුටකි
හෝමාගම මුල්ලේගම
ශ්‍රී සීලාලංකාර මාවත
ආර්ය නිකේතන නිර්මාතෘ
අමරපුර විද්වත්
සංඝ සභාවේ ලේඛකාධිකාරී
ශාස්ත්‍රපති
මාවරලේ භද්දිය හිමි
ජීවිතයට අරමුණු ගොඩනඟා ගත යුත්තේ කෙසේද? යන කාරණාව පිළිබඳ අවබෝධයක් තිබිය යුතු ය.
අප භවයෙන් භවයට ගමන් කරන්නාවූ සංසාරික භව ගමන දුක බව සනාතනික සත්‍යයකි. දුකින්
නිදහස් වීම බෞද්ධයාගේ මූලික අරමුණ ෙවි. ආධ්‍යාත්මික ජීවිතය සුවපත් කරගැනීමටත්,
ලෞකික ජීවිතය සාර්ථක කරගැනීමටත් කටයුතු කළ යුත්තේ කුමන ආකාරයටද ? අරමුණක් ජයගැනීමට
අවශ්‍යම කාරණාව ශ්‍රද්ධාව ය.
අකුසල් කරමින් තමන්ගේ අරමුණට ළඟා විය නොහැකි ය. එහි දී තමාගේ මුඛ්‍ය අරමුණ වන,
සංසාරික දුකින් නිදහස් වීම මග හැරේ. ලෞකික අරමුණ ජය ගැනීමට උත්සාහ කරද්දී
ආධ්‍යාත්මික අරමුණ විනාශ වීමට ඉඩ නොදිය යුතු ය. ජීවත් විමට අවශ්‍ය පරිසරය ගොඩනඟා
ගැනීම නොකළ යුතු බවට බුදුපියාණන් වහන්සේ දේශනා කර නැත. ජීවත් විය යුතු බවට ඔබ
පෙළඹෙව්වද, එය යහපත්ව, මිථ්‍යා ආජීවයෙන් තොර ජීවිතයක් විය යුතු වේ. සම්මා ආජීවය
ඔබගේ ජීවිතයේ පදනම කර ගත යුතු අතර නිවන් මඟට බාධාවන ජීවිතයක්, කිසිවෙකු විසින් ගත
නොකළ යුතු ය. පැවැත්ම වෙනුවෙන් උපයන ලද කිසිවක්,බෞද්ධයාගේ මූලික අරමුණ විනාශ
කරන්නක් නොවිය යුතු අතර ම එම මූලික අරමුණ ඉතා දීර්ඝ කාලයකට ආපස්සට යාමක් නොවි ය
යුතු ය. ජීවත් වීමට ලබාගන්නා දේ හා උපායශීලිත්වය ඇතුළත ලෞකික අරමුණු සාධනය
කරගැනීමට උත්සාහ කරනවා නම්, ලෞකික අරමුණු සාර්ථක කරගැනීම වෙනුවෙන් සාරය නොඉක්මවන
බවට දැඩි අධ්ෂ්ඨානයක් තිබීම අත්‍යවශ්‍ය වේ. තමන්ගේ අවසාන පරමාර්ථය විය යුත්තේ සාරය
ඉක්මවා භෞතික ජයග්‍රහණයන් පසුපස හඹා නොයා යුතු බව ය.
භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ
ශ්‍රද්ධාව, ශ්‍රී සද්ධර්මය පිළිබඳ ශ්‍රද්ධාව, අර්යයන් වහන්සේලා පිළිබඳ ශ්‍රද්ධාව ,
ශීලය පිළිබඳ ශ්‍රද්ධාව පෙර භවය පිළිබඳ ශ්‍රද්ධාව , නැවත භවයක ඉපදීමට සිදුවෙන බවට
ශ්‍රද්ධාව බෞද්ධයෙකුගේ ශ්‍රද්ධාව ඇතුළත තිබිය යුතු ය. පෙර සහ පසු භව පිළිබඳ
විශ්වාසය බෞද්ධයෙකුට තිබීම අනිවාර්ය වේ. මේ ලෝකය තුළ සියල්ල සිදුවන්නේ හේතුඵල
ධර්මයකට අනුව බව ද අපගේ සියලු දුක් සඳහා හේතුඵල සම්බන්ධයක් තිබිය යුතු බවද සියලු
සාර්ථකත්වයන් හේතුඵල සම්බන්ධයකින් යුක්ත වන බවද විශ්වාස කළ යුතුය. සියලු ප්‍රශ්න
ද,හේතුඵල සම්බන්ධයක ප්‍රතිපලයක් වේ. බෞද්ධයෙකු ලෙස පට්ච්චසමුප්පාද ධර්මය පිළිබඳ
ශ්‍රද්ධාව තිබිය යුතු ය. එම පදනම තුළ පිහිටමින් ලෞකික ජීවිතය සාර්ථක කරගැනීම අපහසු
නැත. වේයෙක් තුඹසක් බඳිනවා වගේ යන උපමාව බුදුරජාණන් වහන්සේ වදාළ සේක. වේයන් තුඹස
බැඳීමේ කාර්ය සෙමින් සිදුකරන නිසා ම එහි පැවැත්ම දීර්ඝ කාලීන වේ. වේයන් තමන්ගේ
ජීවිත කාලය පුරාම කණ්ඩායමක් ලෙස කටයුතු කර විශාල ලෙස බඳින ලද තුඹස් දැකිය හැකිය.
අදටත් දැකිය හැකි මහාසෑයවල් ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය ගඩොල් කැපීමට පාවිචිචි
කරන ලද්දේ හුඹස් මැටි ය. එය දිගුකාලීන ය. වේයන් කෙතරම් සීරුමාරුවට තුඹස ගොඩනැඟුවද,
ඇතැම් අවස්ථාවලදී තුඹසෙහි අනන්‍යතාවය වේයාට අහිමි වන අවස්ථා ඇත. තුඹස කුඩා නම්, එය
වේයන්ගේ තුඹසක් වන අතර එය විශාල නම්, නයින්ගේ තුඹසක් ෙවි. ඉතාම අපහසුවෙන්,
කැපකිරීමෙන් ගොඩනඟන ලද තුඹස පසුකාලීනව නයි විසින් අල්ලා ගනී. අවසානයේ එය නයි තුඹසක්
ලෙස මිනිසුන් ද ව්‍යවහාර කිරීමට පටන් ගනී. තරුණ වේයන් ඊට එරෙහිව සටනක් ඇරඹුව ද,
තුඹසේ අයිතිය නයා සතු වුව ද, කලබල නොවිය යුතු බවට වැඩිමහළු නායකයා තරුණ වේයන්ට
ප්‍රකාශ කරයි. නයාට වඩා විශාල අභිමානයක් වේයාට හිමි වේ. නයා අල්ලා ගත් පසු වේයන්ට
කුමන අභිමානයක්ද? යනුවෙන් තරුණ වේයන් ප්‍රශ්න කරන විට අනුන්ගේ පදවලට අපි නටන්නේ
නැති බව වේ නායකයා ප්‍රකාශ කරයි. එය අපගේ අභිමානයනයි. වේ රජතුමා සහ නාග රජතුමාගේ
කවියෙන් විශාල පණිවුඩයක් ලබාදේ. දැහැමිව ගෙවල් දොරවල් සාදා නිමකළ අවස්ථාවල එම ගෙදර
වෙනත් අයට අයිති වන අවස්ථාවන් නැතිවාම නොවේ. තමන් දැහැමිව සාදන ලද ගෙය පිළිබඳ
වේයන්ට සතුටු විය හැකි ය.
එසේ නම් තිරසාරව ධරණි්යව ඔබ ඉදිරි්යට පැමිණිය යුතු ය. අනෙකාට කරදරයක් නොවන ආකාරයටත්
තමන්ගේ ආත්ම විමුක්තිය ආපස්සට නොයන ආකාරයටත් සෙමින් දැහැමිව ඔබ පොහොසත් වනවා නම්,
එය මුළු ලෝකයටම ගැලපෙන සංවර්ධනයක් බවට ලෝක බුද්ධිමතුන් පිළිගෙන ඇත.
- හේමමාලා රන්දුනු |