Print this Article


පහන් සිතක කවි

අසිරිමත් පූජාව

සම්බුදු හිමි දෙසූ සදහම් අමා රස
අන් සැප කොහිද මේ ලොව දම් රසම මිස
කඨින චීවරයට යොමු කරල ඇස
බුදු හිමි නමදිමු අපි සැම නමා හිස


අපිම අපිට නැතිනම් ...

දිවියෙන් තොරවී යහගුණ පිරුණු
පස් පව් දස අකුසල් කොට දරුණූ
මිත්‍යාවෙන් අන්ධව සිට මැරුණු
පිරිසට ඇත දුගතිය දොර ඇරුණු

පමා වුණොත් දිවියෙහි නෑ හරය
තමා වෙසෙන ගේ සමවෙයි නිරය
අපිම අපට නැතිනම් ආදරය
නිවන කියන අරමුණ බෝ දුරය

ලැබුවම අපලය පලදෙන යෝගේ
දුක ලුහු බැඳ එයි රියසක වාගේ
යහ ගුණ දම් තැකු දුහුවිලි වාගේ
අපේ මිසක් වරදද වෙන කාගේ


අවසරයි ...මට

පොඩි හාමුදුරුවො ඇමදූ මළුවේ
ඇවිද යන්න මට දුක සිතුණා
රටා මැකෙයි සිතලා...
ගෙනාව තෙල් මල් දෑත දරාගෙන
පඩිපෙළ කෙළවර නතර වුණෙමි මම
අවසර ගන්නට ඔබ පා වැඳලා..
අවසරයි මට...
පොඩිහාමුදුරුවනේ!


අමතක ද? සිල්

බුදුගුණ කියනා දහම් පොතින්
ගාථා කියනා මහා හඬින්
බෝ මැඩ වකුටුව දණ බිම ඇනලා
මෙත් වඩමින් සව් සත වෙනුයෙන්
පා තබමින් වැලි මළුව උඩින්
සෙමින් සෙමින් යයි නිවුණු සිතින්
ගත ගැටුණොත් හෙම අත් වැරදීලා
මුහුණ බලන්නේ රකුසු වෙසින්
පවාරණය වී වැඩූ සීලෙන්
නිවසට ගොඩ වී සැදැ සිතින්
හනිකට, ඇඳි සුදු සළු ගලවාලා
අඳුරේ ඕවිට දෙසට ගොහින්
පෙර සැදෑවෙ තිබු ගෙඩි අතරින්
වරකා ගහේ ගෙඩි අඩු දකිමින්
සීල වැඩූ බව අමතක කරලා
සකු භාෂාවෙන් වදන් දොඩන්
මහ රෑ දොළහට අවදි වෙමින්
පෝය ගෙවීලා ඇති සිතමින්
පෙට්ටගමේ අඩියට අත දාලා
හැඹිලියෙ ඇති පොඩි සල්ලි ගනින්


පරාර්ථචර්යා

මසුරුකම් දුරුකරමු නැති බැරි අයට දන්දෙමු
යමක් ඉල්ලා එන අයට ශක්ති පමණින් උදවු කරමු
පිළිසරණ නැති අයට පිහිට පිළිසරණක් වෙමු
ඉන්න තැන නැති අයට ඉන්න තැනකින් ඉඩ දෙමු

නිති පන්සිල් සුරැක පොහොය අටසිල් රකිමු
සිත් පිරිසුදු කරමු බණ භාවනා කරමු
නිතර සිහියෙන් ඉඳිමු සසර දුක් නැති කරමු
ගුණ නැණ දියුණුවට පාරමී දම් පුරමු


අඳුර විනිවිද

වැසුන සඳ – සඳවලා සළුවෙන්
අවට තරුමල් පිපුණු රැයෙහි
එදා රහතන් වැඩිය මාවත
සොයා යනු සොම්නසින් පිබිදී
සසර බැඳි සුදු රැහැන් බිද හැර
සතරමග පල ලබනු සඳහා
සබඳ යනු මැන
අඳුර විනිවිද