Print this Article


බුදුපිළිමයේ උපත - 87:  අන්තිම බුද්ධ වචනය

බුදුපිළිමයේ උපත - 87: 

අන්තිම බුද්ධ වචනය

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ 
හිටපු සහූකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 

සිරිසමන් විජේතුංග
 
පුරාවිද්‍යා 
Msc පර්යේෂණ

" ආනන්ද ඔබ එසේ කියන්නේ පැහැදීම නිසා ය. මේ භික්ෂු සංඝයා අතර එකම එක භික්ෂුවක් තුළවත් බුදුරජාණන් වහන්සේ හෝ ධර්මය පිළිබඳ හෝ සංඝයා හෝ ප්‍රතිපදාව පිළිබඳ හෝ සැකයක් විමතියක් නැත."

 

බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි කාලය ගැන විස්තර සඳහන් වන සූත්‍ර තුනක් පිළිබඳව දැක්වේ. 1. මහා පරිනිබ්බාන සූත්‍රය 2. මහා සුදස්සන සූත්‍රය (පිරිනිවන් මංචකයේ දී දෙසන ලදී) 3 ජනවසභ සූත්‍රය (බිම්සර රජුගේ මරණයෙන් පසු මෙලොව ඒම ගැන බුදුරජාණන් වහන්සේ වදාළ දෙසුම)


සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු බුදු පිළිම නිර්මාණයට පෙර බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරූපණය කිරීම සඳහා මූර්ති ශිල්පීන් නිර්මාණය කළ භාරුත් ස්තූපයට අයත් මූර්ති කැටයමකි

බුද්ධ චරිතය – මහාචාර්ය සුචරිත ගම්ලත් පි. 335 (2007)

වැසි සමය චරිකාවෙන් වැළකී කිසියම් ස්ථානයක නතර වී සිටීමත්, අවුරුද්දේ ඉතිරි කාලය ගම් නියම් ගම් ජනපද නගර, රාජධානිවල චාරිකා කිරීමත් බුද්ධ චරිතයේ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයකි. භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතයෙහි පශ්චිම භාගයේ ස්වාභාවික අයුරින් මහලු බවට ද, ලෙඩදුක් ආදියෙන් දුබල බවට ද පත් වූහ. ස්මෘතියෙන් හා ප්‍රඥාවෙන් වෙනසකට, සැලීමකට නොපත් වූහ. පරිනිර්වාණය තෙක්ම නොකඩවා බුද්ධ සේවාවෙහි යෙදුණහ. ධ්‍යාන සමාපත්ති සුවයෙන් වේදනා මැඩගෙන ස්මෘතියෙන් හා ප්‍රඥාවෙන් අවසන් මොහොත ද දක්වා ලෝකාර්ථයට කැප වූ මේ මහා පුරුෂයාණන්ගේ ජීවිතයේ අවසාන කාලය පිළිබඳ තොරතුරු රාශියක් ත්‍රිපිකටයෙහි සඳහන් වන අතර ඒ බොහොමයක් සංග්‍රහාත්මකව මහා පරිනිබ්බාන සූත්‍රයෙහි අන්තර්ගතව ඇත.

(බුදුන් වදාළ බුද්ධ චරිතය අති පූජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි හා කීර්ති නාරම්පනාව පි. 209- 1999)

පන්සාළිස් වසක් සියලු ලෝක සත්වයාටම අනුකම්පාවෙන් හා දයාවෙන් යුතුව අප අමාමෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කරන ලද සේවාව වසර දෙදහස් පන්සිය හැට එකක් ඉකුත් වී ඇතත්, අදත් සියලු ලෝකවාසී සැදැහැවත් බෞද්ධ ජනතාවගේ චිත්ත සන්තානයන්හි පරපුරෙන් පරපුරට අඛණ්ඩව අනුස්මරණය කිරීම සහ වැඳුම් පිදුම් කිරීමේ සත් ක්‍රියාවලිය පවතින්නේ බුද්ධ ශ්‍රාවකයාණන් වහන්සේලාගේ එම අනුපම සේවාව ද නිසා බව අප විසින් සදා කල්හිම සිහිපත් කළ යුතු වන්නේ ය.

ශාස්තෘවරයාණන් වහන්සේගේ පිරිනිවීමෙන් පසු ඒ තැන ධර්මයට හිමිවෙයි. තථාගතයන් වහන්සේ ද ගරුකාරයෙන් සලකන ලද්දේ ධර්මය යි. එබැවින් අත්තනෝමතිකව ක්‍රියා කිරීමට නුපුළුවන. තමන් භික්ෂූන්ගේ නායකයා හෝ පාලකයා නොවන බව පැහැදිලිව ප්‍රකාශ කළ තථාගතයන් වහන්සේ තමන්ගේ පරිනිර්වාණයෙන් පසුවත් පුද්ගලයෙකුගේ නායකත්වයට අයත් නොකළ සේක. විමුක්තිය සඳහා ක්‍රියා කිරීමේ දී අනඤ්ඤ සරණව අත්තසරණව උත්සාහවත්වීම අනුමත කොට වදාළ තථාගතයන් වහන්සේ ධර්මය ශාස්තෘත්වයෙන් සලකන ලෙස වදාළේ එහෙයිනි. භික්ෂු සමාජයේ අන්‍යෝන්‍ය වශයෙන් සුරක්ෂිත විය යුතු පි‍්‍රයශීලී බවත් ගෞරව සම්ප්‍රයුක්ත භාවයත් පිණිස වැඩිමහල්ලන් බාලයන්ට, බාලයන් වැඩිමහල්ලන්ට ඇමතීමේදී අනුගමනය කළ යුතු පිළිවෙළ ද මෙහි දක්වා තිබේ. භික්ෂූන්ගේ බලය පාසු විහරණය සළකා පනවන ලද ශික්ෂා අතර වූ කුඩා, අනුකුඩා ශික්ෂා පද සම්මුතියෙන් ඉවත් කර ගන්නා ලෙස ද අවසර දී ඇත. ආයති සංවරය සඳහා දඬුවම් කිරීම ද සංඝ සම්මුතියෙන් සිදුකිරීමේ අවසරය ද ලබා දී තිබේ. මෙසේ භාග්‍යවතුන් වහන්සේ ශාසන චිරස්තිථියට අදාළ පොදු අවවාද රැසක්ම එම පිරිනිවන් රාත්‍රියෙහි දුන් සේක. (ඉහත සඳහන් ග්‍රන්ථය) මහා පරිනිබ්බාන සූත්‍රයේ මෙසේ සඳහන් වේ.

භාග්‍යවතුන් වහන්සේගේ  අන්තිම වචන

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් ඇමතූ සේක. ආනන්ද, මේ ධර්මය හිටපු ශාස්තෘවරයෙකුගේ ය. අපට දැන් ශාස්තෘවරයෙකු නැතයැයි ඔබ සැමට සිතෙන්නට පුළුවන. නමුත් එසේ සැලකිය යුතු නැත. ආනන්ද යම් ධර්ම විනයක් මවිසින් පනවන ලද්දේ ද, ඒ ධර්ම විනය මගේ ඇවෑමෙන් ඔබ සැමගේ ශාස්තෘන් වෙයි. දැන් භික්ෂූහු ඔවුනොවුන්ට ඇවැත්නි, යනුවෙන් අමතති. මාගේ ඇවෑමෙන් පසු එසේ ඇමතිය යුතු නැත. ජ්‍යෙෂ්ඨ භික්ෂූන් විසින් නවක භික්ෂූන්ට, පුද්ගලනාමයෙන් ගෝත්‍රනාමයෙන් හෝ ඇවැත්නි යන යෙදුමෙන් ඇමතිය යුතු ය. කනිෂ්ඨ භික්ෂූන් විසින් ජ්‍යෙෂ්ඨ භික්ෂූන්ට හිමියනි, යනුවෙන් ඇමතිය යුතු ය.

ආනන්ද, සංඝයාට රිසි වේ නම් මගේ ඇවෑමෙන් පසු කුඩා අනුකුඩා ශික්ෂා පද සම්පූර්ණයෙන් ඉවත් කර ගත්තා වේ. මගේ ඇවෑමෙන් අනතුරුව ඡන්න භික්ෂුවට බ්‍රහ්ම දණ්ඩය දිය යුතු ය. එවිට ආනන්ද හිමියෝ බ්‍රහ්මදණ්ඩය නම් කුමක්දැයි ඇසූහ.

“ආනන්ද, ඡන්න භික්ෂුව තමන්ට කැමති දෙයක් කීවද, සෙසු භික්ෂූන් විසින් ඔහුට කිසිවක් කිව යුතු නැත. අවවාද අනුශාසනා කළ යුතු නැත. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක.

භික්ෂූණි, බුදුරජාණන් වහන්සේ පිළිබඳ ධර්මය පිළිබඳ හෝ සංඝයා පිළිබඳ හෝ මාර්ගය පිළිබඳ හෝ ප්‍රතිපදාව පිළිබඳ කිසියම් සැකයක් හෝ විමතියක් එකම එක භික්ෂුවක් තුළවත් ඇත්නම් විමසන්න. ශාස්තෘන්වහන්සේ අපට මුහුණට මුහුණ හමුවුණු සේක. එහෙත් උන්වහන්සේගෙන් විමසීමට අපට නොහැකිවිය යැයි පසුව පසු තැවෙන්න එපා.

මෙසේ වදාළ කල භික්ෂුහු නිහඬව උන්හ. දෙවැනි තුන්වැනි වරටත් භාග්‍යවතුන් වහන්සේ භික්ෂූණි, ශාස්තෘන් කෙරෙහි ඇති ගෞරවයේ හේතුවෙන් ඔබ නොවිමසනවා විය හැකි ය.

එසේනම් විමසන ලෙස මිත්‍ර භික්ෂුවකට දන්වන්න. එසේ වදාළ කල්හි භික්ෂූහු නිහඬව උන්හ. එවිට ආනන්ද ස්ථවිරයෝ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ. හිමියෙනි ආශ්චර්යයෙකි. පුදුමයකි. බුදුරජාණන් වහන්සේ පිළිබඳ හෝ ධර්මය පිළිබඳ හෝ සංඝයා පිළිබඳ හෝ මාර්ගය පිළිබඳ හෝ ප්‍රතිපදාව පිළිබඳ හෝ එකම එක භික්ෂුවක් තුළවත් සැකයක් හෝ විමතියක් නැතැයි මම මේ භික්ෂු සංඝයා කෙරෙහි පැහැදුණෙමි.

ආනන්ද ඔබ එසේ කියන්නේ පැහැදීම නිසා ය. මේ භික්ෂු සංඝයා අතර එකම එක භික්ෂුවක් තුළවත් බුදුරජාණන් වහන්සේ හෝ ධර්මය පිළිබඳ හෝ සංඝයා හෝ ප්‍රතිපදාව පිළිබඳ හෝ සැකයක් විමතියක් නැත. මේ පන්සියයක් භික්ෂූන් අතර අන්තිමයා ද අපාය ආදි දුගතියකට පත් නොවන නියත වශයෙන් ම සම්බෝධියට පත්වන සෝතාපන්න අයෙකැයි තථාගතයාණන්ට දැනුම ඇත.

(මහා පරිනිර්වාන සූත්‍රය - සිංහල පරිවර්තනය සනත් නානායක්කාර – පි. 93 – 94 )

මහණෙනි, දැන් මම ඔබලා අමතමි යනුවෙන් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක. එය බුදුරජාණන් වහන්සේගේ පන්සාළිස් වසරක බුද්ධ සේවාව නිම කර දේශනා කරන ලද ගාථාව ය.

හන්දදානි භික්ඛවේ ආමන්තයාමි
වො වය ධම්මා සංඛාරා අප්පමාදෙන
සම්පාදෙථ

මහණෙනි දැන් ඔබ අමතමි, සියලු සංස්කාරයෝ නැසෙන සුළුය. අප්‍රමාදව කුසල් සම්පාදනය කරව්.

(මහා පරිනිබ්බාන සුත්ත – පි. 244 )


පසුගිය සතියෙන්:  බුදුපිළිමයේ උපත - 86: බුදුරජාණන් වහන්සේ සඟ රුවන ඇමතීම