Print this Article


බුදුපිළිමයේ උපත - 86: බුදුරජාණන් වහන්සේ සඟ රුවන ඇමතීම

බුදුපිළිමයේ උපත - 86:

බුදුරජාණන් වහන්සේ සඟ රුවන ඇමතීම

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ 
හිටපු සහූකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසමන් විජේතුංග 
පුරාවිද්‍යා Msc පර්යේෂණ


බුදු සිරිතෙහි විශේෂ අවස්ථා නිරූපනය වන අමරාවතී ස්තූපයට අයත් අල්ප උන්නත මූර්ති කැටයමක්

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට පූර්වයෙන්, අනාගතයේ දී, භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ සහ ධර්මය පිළිබඳ ඇතිවිය හැකි අවස්ථාවන් ගැන ද භාග්‍යවතුන් වහන්සේ විශේෂ අවධානයක් යොමු කළ බව මහා පරිනිබ්බාන සූත්‍රයෙහි සඳහන් වන කරුණු වලින් පැහැදිලි වේ.

භාග්‍යවතුන් වහන්සේ, මේ කරුණු ගැන අන්තිම රහතන් වහන්සේ වූ සුභද්‍ර රහතන් වහන්සේ පිළිබඳව ද සඳහන් කරමින් ආනන්ද තෙරුන් වහන්සේට මෙසේ වදාළ සේක. ඒ බව මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වන්නේ මෙසේ ය. මෙහි දී භික්ෂු සංඝයාගේ යහපත පිණිසත්, ශාසන චිරස්ථිතිය පිණිසත් භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. ආනන්ද, ධර්මය අතීත ශාස්තෘක ය. දැන් අපට ශාස්තෘවරයෙකු නැතැයි ඔබ සැමට සිතෙන්නට පුළුවන. එසේ නොසිතිය යුතු ය. ආනන්ද, මා දේශනා කළ ධර්මයත්, පනවන ලද විනයත් මාගේ ඇවෑමෙන් ඔබ සැමට ශාස්තෘවරයාය. දැන් භික්ෂූහු ඔවුනොවුන්ට ඇවැත්නි, යනුවෙන් අමතති. මාගේ ඇවෑමෙන් පසු එසේ ඇමතිය යුතු නැත. ජ්‍යෙෂ්ඨ භික්ෂූන් විසින් නවක භික්ෂූන්ට පුද්ගලනාමයෙන්, ගෝත්‍ර නාමයෙන් හෝ ඇවැත්නි යන යෙදුමෙන් ඇමතිය යුතු ය. කනිෂ්ඨ භික්ෂූන් විසින් ජ්‍යෙෂ්ඨ භික්ෂූන්ට හිමියනි, යනුවෙන් ඇමතිය යුතු ය.


සම්බුද්ධ ශීර්ෂය ක්‍රි.ව. 5 වන ශතවර්ෂය
මථුරා කෞතුකාගාරය

ආනන්ද සංඝයාට රිසිවේ නම් මාගේ ඇවෑමෙන් පසු කුඩා, අනුකුඩා ශික්ෂාපද සම්පූර්ණයෙන් ඉවත්කර ගත්තාවේ. මාගේ ඇවෑමෙන් අනතුරු ව ඡන්න භික්ෂුවට බ්‍රහ්මදණ්ඩනය දිය යුතු ය. එවිට ආනන්ද හිමියෝ බ්‍රහ්මදණ්ඩනය නම් කුමක්දැයි ඇසූහ. ආනන්ද, ඡන්න භික්ෂුව තමන් ට කැමැති දෙයක් කීවා වේ. සෙසු භික්ෂූන් විසින් ඔහුට කිසිවක් කටයුතු නැත. අනුශාසනා කළ යුතු නැත. (මහා පරිනිබ්බාන සූත්‍රය සනත් නානායක්කාර, පිටුව 93 – 94)

ඉන්පසුව භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා ඇමතූ සේක.

භික්ෂූණි!

බුදුරජාණන් වහන්සේ පිළිබඳ ව හෝ ධර්මය පිළිබඳව හෝ සංඝයා පිළිබඳව හෝ මාර්ගය පිළිබඳව හෝ ප්‍රතිපදාව පිළිබඳ කිසියම් සැකයක් හෝ විමතියක් එකම එක භික්ෂුවක් තුළවත් ඇත්නම් විමසන්න. ශාස්තෘන් වහන්සේ අපට මුහුණට මුහුණ හමුවුණු සේක. එහෙත් උන්වහන්සේගෙන් විමසීමට අපට නොහැකි විය යැයි පසුව පසුතැවෙන්න එපා. බුදුරජාණන් වහන්සේ කොපමණ දුරට අනාගතය ගැන සිතා බලා මේ කරුණු මෙසේ වදාළේ ද? යන්න මෙයින් ඉතා පැහැදිලි වන කරුණකි.

“භාග්‍යවතුන් වහන්සේ එසේ වදාළ කල භික්ෂූහු නිහඬව උන්හ. දෙවැනි, තුන්වැනි වරටත් භාග්‍යවතුන් වහන්සේ භික්ෂූණි ශාස්තෘන් කෙරෙහි ඇති ගෞරවය හේතුවෙන් ඔබ සැම නොවිමසනවා විය හැකි ය. එසේ නම් විමසන ලෙස මිත්‍ර භික්ෂුවකට දන්වන්න.”

එසේ වදාළ කල්හි භික්ෂූහු නිහඬව උන්හ. ඒ අවස්ථාවේ දී ආනන්ද හිමියෝ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ.

“හිමියනි, ආශ්චර්යයෙකි. පුදුමයෙකි. බුදුරජාණන් වහන්සේ පිළිබඳ හෝ ධර්මය පිළිබඳ හෝ මාර්ගය පිළිබඳ හෝ ප්‍රතිපදාව පිළිබඳ හෝ එකම භික්ෂුවක් තුළවත් සැකයක් හෝ විමතියක් නැතැයි මම මේ භික්ෂූ සංඝයා කෙරෙහි පැහැදුණෙමි.” ඉන්පසුව බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන් අමතා භික්ෂු සංඝයා පිළිබඳ මෙසේ වදාළේ බොහෝ කරුණා මෛත්‍රියෙනි.

ආනන්ද, ඔබ එසේ කියන්නේ පැහැදීම නිසාය. මේ භික්ෂු සංඝයා අතර එකම එක භික්ෂුවක් තුළවත් බුදුරජාණන් වහන්සේ පිළිබඳ හෝ ධර්මය පිළිබඳ හෝ සංඝයා පිළිබඳ හෝ මාර්ගය පිළිබඳ හෝ සැකයක්, විමතියක් නැත. මේ පන්සියයක් භික්ෂූන් අතර අන්තිමයා ද අපාය ආදී දුගතියකට පත්නොවන නියත වශයෙන්ම සම්බෝධියට පත් වන සෝතාපන්න අයෙකැයි තථාගතයාණන්ට දැනුම ඇත.

මේ දේශනයෙන් පසුව භික්ෂු සංඝයා ඉතා නිහඬව සැදැහැසිතින් භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කරමින් සිටියහ.

බුදු දහමෙහි ඉගැන්වෙන පරිදි සැක සංකාව හෙවත් විචිකිච්ඡාව නීවරණයකි. එනම් විමුක්තිය අවුරාලන මානසික ආවරණයකි. බුද්ධිමත් විචාරයෙන්, විමර්ශනයෙන් මෙය දුරු කළ යුතු බව බුදුදහමින් අවධාරණය කොට තිබේ. ඒ සඳහා ශාස්තෘවරයා ,ධර්මය පවා නිදහසේ විමර්ශනයට ලක් කිරීමේ නිදහස අනුගාමිකයන්ට බුදුදහමින් ලබා දී ඇත. බුද්ධ සේවාව පිළිබඳ අවසන් රාත්‍රියෙහි පවා තථාගතයන් වහන්සේ එම ඥාන මාර්ගය විවෘතව පවත්වා ඇති සැටි පෙන්වා දුන් අයුරු මෙයින් සිතාගත හැකි ය.

(බුදුන් වදාළ බුද්ධ චරිතය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි සහ කීර්ති නාරම්පනාව පි. 235 – 1999)

ඒ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ සේවාව පිළිබඳව අප රටේ ලියැවුණු පුරාණ ග්‍රන්ථ රැසකම සඳහන් වේ.

“බුදුව වැඩහුන් පන්සාලිස් හවුරුද්දෙහිම මෙසේ ලෝවැඩින් යෙදී විලි පිලි නොදක්වා අශීනි වර්ෂයක් ජීවත්ව ලක්ෂයක් හවුරුදුන් ජීවත් වන්නා වූ බුදු කෙනෙකුන් කළමනා වූ බුද්ධ කෘත්‍යයන් වේදතුරෙහි නිමවා සූවිසි තෙනෙක වැඩිහිදූ වදාළ වූ බණින් සූවිසි අසංඛ්‍යෙයයක් සත්ත්වයන් සෝවාන් කොට සූවිසි අසංඛ්‍යෙයයක් සතුන් සෙදගැමි (සකෘදාගාමි) කොට සුවිසි අසංඛ්‍යෙයයක් අනාගාමි (අනාගාමි) කොට සූවිසි අසංඛ්‍යෙයයක් සතුන් අමාමහ නිවන්දක්වා එකෙක, දසයෙක, සියයෙක දහසෙක ලක්ෂයෙක කෝටියෙක යනාදීන් නොයෙක් වාරයෙහි නොඑක් දේශනාවෙහි සත්ත්වයන් නෑර අසංඛ්‍යෙය වූ පථයෙන් ම සයානු අසංඛ්‍යෙයයක් ප්‍රාණීන් සංසාර සාගරයෙන් එගොඩ කළ සේක.

පූජාවලිය, මයුරපාද පරිවෙනාධිපති බුද්ධ පුත්‍ර මාහිමි සංස්කරණය - කීර්ති නාරම්පනාව, පි. 720 - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය)


පසුගිය සතියෙන්:  බුදුපිළිමයේ උපත - 85: බුදුරදුන් ජීවමාන දවස අවසන් රහත් ශ්‍රාවකයාණන් වහන්සේ