Print this Article


නමස්කාර පාඨය සකස් වූයේ කෙසේද ?

වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක - 09

නමස්කාර පාඨය සකස් වූයේ කෙසේද ?

ශාන්ති නායක සම්මා සම්බුදු රජාණන් වහන්සේ කියලා කියන්නේ, මේ ලෝකයේ කිසිම කෙනෙකුට සමාන කරන්න බැරි අසම කියන ගුණයෙන් යුතු වූ උතුමන් වහන්සේ නමක්. මේ ලෝකයේ පහළවන තවත් බුදු කෙනෙකුට පමණක් සමකරන්න පුළුවන් අසම සම කියන ගුණයෙන් යුතු වූ උතුමන් වහන්සේ නමක්. මේ ලෝකයේ වාසය කරන කිසිම පුද්ගලයෙකුට සමාන කරන්න බැරි “අප්පටිපුග්ගල” ගුණයෙන් යුතුª උතුමන් වහන්සේ නමක්. උන්වහන්සේගේ රූපකාය සම්පත්තිය කැටිකරලා මේ ලෝකයේ කිසිම කෙනෙකුට නියම නිර්මිත බුදුරුවක් හදවන්ට, තනන්ට පුළුවන්කම නැති නිසා ‘අප්පටිම’ කියන ගුණයෙන් යුතු වූ උත්තමයාණන් වහන්සේ නමක්. මේ ලෝකයේ යම්කිසි කෙනෙක් සැදැහැති සිතින්, මලක්, පහනක්, සුවඳ දුම් ටිකක්, පැන් වීදුරුවක්, ගිලන්පස වීදුරුවක් පූජා කරනවා ද? දානෙ හැන්දක් පූජා කරනවා ද? ඒ පූජා කරන හැම දාන වස්තුවක් ම, පූජාවක් ම මහත්ඵල මහත් ආනිසංශ කර දෙන්ට පුළුවන් අග්‍රදක්ඛිණ්‍යෙය ගුණයෙන් සමන්වාගත මහෝත්තමයාණන් වහන්සේ නමක්,

මහණෙනි, දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, දෙවි මිනිසුන් සහිත, සමස්ත ලෝකයා සහිත, සියලු සත්වයා සහිත, සත්වප්‍රජාව සහිත මේ ලෝකයාගේ ම ශ්‍රේෂ්ඨතම, උතුම් ම උතුමන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. ඒ වාගේ ම මේ ලෝකයට පහළවෙන්න පුළුවන් ශ්‍රේෂ්ඨතම දුර්ලභ මහෝත්තමයාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේයි. ඒවාගේ ම දෙවියන්ට හිත සුව පිණිස, මනුස්සයන්ට හිතසුව පිණිස, ලෝකානු කම්පාවෙන් පහළ වුණා නම්, පහළ වුණේ මේ ලෝකයට සම්මා සම්බුදු රජාණන් වහන්සේයි. මේ විදිහට උන්වහන්සේගේ ගුණ කියව කියවා, සජ්ඣායනා කරමින් අපේ සිත් සතන් බුදු ගුණයෙන් සනසා ගැනීමටයි දැන් සූදානම් වන්නේ,

තථාගත ශාන්තිනායක අමා මෑණි බුදු පියාණන් වහන්සේගේ ගුණ කියන්න පුළුවන් වන්නේ තවත් බුදුකෙනෙකුට පමණයි.

මේ ලෝකයේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වී උන්වහන්සේගේ ආයුෂ කාලය පුරාවට තවත් බුදු කෙනෙකුගේ සම්බුදුගුණ පමණක් දේශනා කරනවා. පින්වතුනි, වෙනත් කිසිම ධර්මයක් දේශනා නොකර බුදුගුණ පමණක් ම දේශනා කර කර උන්වහන්සේ වැඩ සිටිනවා. උන්වහන්සේගේ ආයුෂ ගෙවිලා යනවා. පිරිනිවන් පානවා. නමුත් බුදුගුණ නම් අවසන්වන්නේ නෑ කියලයි දේශනාවේ සඳහන් වෙන්නේ.

යම්කිසි මනුස්සයෙක් හද බැතියෙන් බුදුගුණ හඳුනාගෙන බුදුන් සරණගියේ නම්, කිසිම දවසක සතර අපා දුකකට පත්වන්නේ නෑ. මේ මනුස්ස කය මිනිස් කය අතහැර දමා ඒකාන්තයෙන් ම දිව්‍ය ලෝකයේ දිව්‍යමය කයක් ලබන්නට හේතු වෙනවා. සුගති ජීවිත ලබන්නට හේතු වෙනවා. ඒවාගේ ම බුදුරජාණන් වහන්සේ මහානාම ශාක්‍ය පුත්‍රයා අමතා දේශනා කළේ, ‘මහානාමයනි, යම් කිසි ආර්ය ශ්‍රාවකයෙක් බුදුගුණ මෙනෙහි කරනවා නම් දිනපතා කිසිම දවසක ඒ ඇත්තන්ගේ සිත රාගයෙන් පෙළෙන්නේ නෑ. ඒ ඇත්තන්ගේ සිත ද්වේශයෙන් පෙළෙන්නේ නෑ. ඒ ඇත්තන්ගේ සිත මෝහයෙන් පෙළෙන්නේ නෑ. ඒ ඇත්තන්ගේ සිත ඉතා අවංකව, ඍජුව, බුදුගුණ කෙරෙහි ම පවතිනවා. එය හේතුකරගෙන අර්ථ රස, ධර්ම රස, ප්‍රීතිය, ප්‍රමෝද්‍යය පස්සද්ධිය, සැපය ලබමින්, සමාධිය ලබා සව්කෙලෙස් නසා රහත් භාවය දක්වා ගමන් කරන්නට බුදු ගුණ ගැන සිතීම, බුදුගුණ ආවර්ජනා කිරීම, බුදුගුණ ඇසීම කියන උතුම් කුසල් උපකාරී වෙනවා කියන කරුණ මතක තබාගත යුතුයි. මේ බුදු ගුණ මට පුළුවන් හැටියට, මතක තියෙන හැටියට මම දේශනා කරන්නම්. මේ තථාගතයන් වහන්සේ ගේ අනන්ත අප්‍රමාණ ගුණ කදම්බය ගුණ නවයකට කැටි කරනවා.

‘අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජා චරණ සම්පන්නෝ
සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිසදම්ම සාරථි
සත්ථා දේවමනුස්සානං බුද්ධෝ භගවා’

‘සෝ භගවා ඉතිපි අරහං’ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අරහං කියන ගුණයෙන් සමන්නාගතයි.

‘සෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ’ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ කියන ගුණයෙන් සම්න්නාගතයි.

‘සෝ භගවා ඉතිපි විජ්ජා චරණ සම්පන්නෝ’ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ, විදුචරණ ගුණයෙන් සමන්නාගත වන සේක.

‘සෝ භගවා ඉතිපි සුගතො’ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සුගත ගුණයෙන් සමන්නාගත වන සේක.

‘සෝ භගවා ඉතිපි ලෝකවිදූ’ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝකවිදූ ගුණයෙන් සමන්නාගත වන සේක.

‘සෝ භගවා ඉතිපි අනුත්තරෝ පුරිස දම්ම සාරථි’ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනුත්තර පුරිසදම්ම සාරථි ගුණයෙන් සමන්නාගත වන සේක.

‘සෝ භගවා ඉතිපි සත්ථා දේවමනුස්සානං’ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙව් මිනිසුන්හට ශාස්තෘ ගුණයෙන් සම්න්නාගත වන සේක.

‘සෝ භගවා ඉතිපි බුද්ධෝ’ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බුද්ධ ගුණයෙන් සමන්නාගත වන සේක.

‘සෝ භගවා ඉතිපි භගවා’ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ භගවා ගුණයෙන් සමන්නාගත වන සේක.

මේ නව අරහාදී බුදුගුණ කියන්නට මත්තෙන් අප ඔය නමස්කාර පාඨය ගැනත් හිතන්නට ඕනේ. එහි පුදුමාකාර ගුණයක් අන්තර්ගත වී තියෙනවා.

‘නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස’

‘තස්ස’ ඒ භගවතෝ’ භාග්‍යවත් ‘අරහතෝ’ අරිහත් ‘සම්මා සම්බුද්ධස්ස’ සම්මා සම්බුදු රජාණන් වහන්සේට ‘නමෝ අත්ථු’ මාගේ නමස්කාරය වේවා. මෙය පටන් ගන්නේ කොතැනින් ද? එදා බුදුරජාණන් වහන්සේට නමස්කාරය කරපු පිරිසක් විසින් සකස් කරගත්ත පාඨයක්.

‘සාතාගිරෝ නමෝ යක්ඛෝ
තස්ස ච අසුරින්දදො
භගවතෝ මහා රාජා
සන්තෝ අරහතො තථා
සම්මා සම්බුද්ධස්ස මහා බ්‍රහ්මා
එතෙ පඤ්ච පතිට්ඨිතා’

‘සාතාගිරෝ නමෝ යක්ඛෝ’ “සාතාගිර” කියන මේ යක්ෂයා තමයි මුලින් ම ‘නමෝ’ කියල තියෙන්නේ ‘තස්ස ච අසුරින්දො’ අසුරේන්ද්‍රයා තමයි ‘තස්ස’ කියන වචනය කියලා තියෙන්නේ ‘භගවතෝ මහාරාජා’ සතරවරම් දෙවියන් තමයි ‘භගවතෝ’ කියල කියා තියෙන්නේ ‘සන්තෝ අරහතෝ තථා.’ සක්දෙව් රජ්ජුරුවෝ තමයි ‘අරහතෝ’ කියලා කියා තියෙන්නේ. ‘සම්මා සම්බුද්ධස්ස මහා බ්‍රහ්මා’ මහා බ්‍රහ්මයා තමයි සම්මා සම්බුද්ධස්ස කියා කියලා තියෙන්නේ. දැන් පැහැදිලියි සාතාගිර යක්ෂයාගෙන්, අසුරේන්ද්‍රයාගෙන්, සතරවරම් දෙවිවරුන්ගෙන්, සක් දෙවිඳුන්ගෙන්, මහා බ්‍රහ්මයා කියන මේ පස් දෙනාගේ එකතුවෙන් සකස් වුණ පාඨය තමයි ‘නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස’ කියලා කියන්නේ.

අරහං

එහෙනම් අපි දැන් බලමු ‘අරහං’ කියන ගුණය. මේ අරහං කියල කියන මෙහි කෙටිම තේරුම නම් ‘සුදුසු’ කියන එකයි. යමක් ලබන්ට සුදුසු කියන එකයි. එහෙනම් මෙතන කියන්නේ දක්ෂිණාවක් ලබන්ට ප්‍රධාන වශයෙන් දානාදී දානදක්ෂිණාවක් ආමිස පූජාවක්, ප්‍රතිපත්ති පූජාවක් ලබන්ට සුදුසු නිසා අප කියනවා ‘අරහං’ කියලා. එතකොට දැන් දාන දක්ෂිණාව ගැන කතා කරන කොට ශ්‍රාවකයන් තුළත් මේ දක්ඛිණ්‍යෙය කියන ගුණය තියෙනවා. නමුත් ශ්‍රාවකයන්ගේ පවත්නා දක්ඛිණ්‍යෙය ගුණයට වඩා පසේ බුදුරජාණන් වහන්සේලාගේ දක්ඛිණ්‍යෙය ගුණය බලසම්පන්නයි. පසේ බුදුරජාණන් වහන්සේලාගේ දක්ඛිණ්‍යෙය ගුණයට සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දක්ඛිණ්‍යෙය ගුණය බලසම්පන්නයි. දැන් බලන්නට දක්ෂිණාවිභංග සූත්‍රය. දක්ෂිණාවිභංග සූත්‍රයේ දී තථාගතයන් වහන්සේ විස්තර කරනවා පුද්ගලික දාන සාංඝික දාන කියල කොටස් දෙකක්.

පසළොස්වක, අව අටවක, අමාවක සහ පුර අටවක යන සතර පෝදා දිනයන්හි ම පළවන ලිපි මාලාවේ නව වැනි කොටස මෙසේ පළවේ. මෙහි දහ වන කොටස දෙසැම්බර් 10 වන දා උඳුවප් අව අටවක පෝදා පත්‍රයේ පළවේ.