Print this Article


ආර්ය පර්යේෂණ සූත්‍රය: ඇලෙන ගැටෙන ලොවක සැපත සෙවීම

ආර්ය පර්යේෂණ සූත්‍රය:

ඇලෙන ගැටෙන ලොවක සැපත සෙවීම

" ඇලෙන, ගැටෙන, හඬන, වැළපෙන ලෝකයක සැපත සෙවීම මිරිඟුවක් බව බෝධිසත්වයන් වහන්සේ මැනවින් තේරුම් ගත් බව පැහැදිලියි. මේ නිසා පැවිදි රුව කෙරෙහි සිත් අලවාගත් බෝධිසත්වයන් වහන්සේ ආර්ය පර්යේෂණයේ ඵලය ලබන්නට මේ නියම මාර්ගය බවට හේතු සාධක සොයා ගත් බව පැහැදිලියි.

"

අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ, සිද්ධාර්ථ කුමාර අවධියේ දී උයනට යන මොහොතේ දී ලෙඩෙක්, මහලු වූ අයෙක්, මළ සිරුරක් හා පැවිදි රුවක් දුටු අවස්ථාව, සතර පෙර නිමිති දැකීම ලෙසින් ධර්ම කතාවේ සඳහන් වේ. ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදියෙහි ආදීනව දැක හා දැන ඒවායින් නිදහස් වෙන්නට සොයමින් සිටින සිදුහත් මහ බෝසත්තුමාට ගිලන් වූ අයෙක්, දැක ගැනීමෙන් තමන්ගේ ආර්ය පර්යේෂණයට බොහෝ ම යහපත් වූ කරුණු රාශියක් එකතු වුණා.

දැනට තමන් ඉතා තරුණ වයසේ එනම් නව යෞවන වයසේ, ගිලන් නොවී, සිටියත් අර රෝගී වූ පුද්ගලයාගේ ස්වභාවයට කෙදිනක හෝ කුමන මොහොතක හෝ අනිවාර්යයෙන් ම මමත් පත්වෙන බව වටහා ගත්තා. “කුමන ආකාරයක පෙනුමකින්, වර්ණයකින්, සැපයකින් හා ශාරීරික ශක්තියකින් කාලය ගත කළත් මේ ශරීර කූඩුවේ ස්වභාවය ලෙඩදුක්වලට උරුමයි. ගිලන් ව, වෙව්ලමින්, සැරයටියක් අතට ගෙන තුවාලයන්ගෙන් යුතුව, අපහසුවෙන් ගමන් කරන පුද්ගලයා සේ ම මම ද ඒ ස්වභාවයට පත්වන්නෙමි.” බෝධිසත්වයන් වහන්සේ සොයමින් සිටින ආර්ය පර්යේෂණයට ඉතාම හොඳ උදාහරණ හා කරුණු, තොරතුරු ඒ මඟින් එකතු කර ගත් බව පැහැදිලියි. තමාගේ ආර්ය පර්යේෂණයේ ප්‍රතිඵලය ඉතා යහපත් ලෙස ඇතිකර ගන්නට එය ඉතා ම හොඳ අවස්ථාවකි.

“දෙවෙනි දවසෙහි මහලු වූ අයෙක් දුටුවිට ද මම සිදුකරන පර්යේෂණයට උපකාරක ධර්ම කරුණු එකතු කර ගත්තෙමි. මොනතරම් කළු කෙස් ඇතිව, පළවෙනි වයසේ, සොඳුරු යෞවනයෙන් යුතුව සිටියත් එලෙසින් ගිලන්වෙන බව, ලෙඩවෙන බව අවබෝධ කරගත්තෙමි.”

මළ සිරුරක් දුටු මොහොතේ දී කුමක් ද තේරුම් ගත්තේ. ඥාතීන් හඬද්දී, වැළපෙද්දී මියැදුණු පුද්ගලයා ශරීරයෙන් බැහැරව ගොස් ඇති බවයි. එනම් විඤ්ඤාණය බැහැර වී ඇති බවයි. “මේ මටත් මරණය නම් ස්වභාවය උරුම බව, ඒ මරණය දැකීමෙන් තේරුම් ගත්තෙමි. පැවිදි රුව දැකීමෙන් සිතේ ශාන්ත භාවයක් ඇති කර ගත්තෙමි.” ඇලෙන, ගැටෙන, හඬන, වැළපෙන ලෝකයක සැපත සෙවීම මිරිඟුවක් බව බෝධිසත්වයන් වහන්සේ මැනවින් තේරුම් ගත් බව පැහැදිලියි. මේ නිසා පැවිදි රුව කෙරෙහි සිත් අලවාගත් බෝධිසත්වයන් වහන්සේ ආර්ය පර්යේෂණයේ ඵලය ලබන්නට මේ නියම මාර්ගය බවට හේතු සාධක සොයා ගත් බව පැහැදිලියි.

ඒ අනුව බෝධිසත්වයන් වහන්සේගේ තීරණය වූයේ කුමක් ද? ‘කිං කුසලගවේසි’ – එනම් කුසලය නම් කුමක් ද? ‘කිං සච්චගවේසි’ - සත්‍ය නම් කුමක් ද? මේ සිදු කරන ආර්ය පර්යේෂණයේ ප්‍රතිඵලය සකස් විය යුත්තේ ඒ අනුවයි.

අප බෝධිසත්වයන් වහන්සේ ගිහි ගෙයින් නික්මීම පිළිබඳ, ඔබ අප මෙතෙක් අසා ඇති කතාවට වඩා වෙනස් කතාවක් ආර්ය පර්යේෂණ සූත්‍රයේ සඳහන් වේ. එනම් අප අසා තිබුණේ රාහුල කුමාරයා ඉපදුණු දවසේ රාත්‍රී කාලයේ දී යශෝධරාවටත් නොකියා ඡන්න ඇමැතිවරයා හා සමඟින් කන්ථක නම් අසු පිට නැග සිදුහත් බෝසතුන් පලා ගිය බවයි. එහෙත් මෙහි සඳහන් කතාව එයට වෙසෙසින් ම වෙනස් ය. එනම් තමන්ගේ ගමනට අකැමැති වූ, කඳුළු පිරුණු මුහුණු ඇති මව්පියන් හඬද්දී, කෙස් රැවුල් බා කසාවත් හැඳ ගිහි ගෙයින් නික්ම පැවිද්දට පැමිණි බවයි. මෙම දේශනාවන් හි වෙනසක් පැවතුණත් අපගේ ධර්ම කතාවට එය බාධාවක් නොකරගත යුතුයි.

බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කරනවා. “එසේ ගිහි ගෙයින් නික්මී, මම කුසලය යනු කුමක් ද? යන ප්‍රශ්නයට උත්තර සොයමින් පැමිණුනේ ඒ කාලයේ පැවතුණු ප්‍රසිද්ධ අධ්‍යාත්මික ගුරුවරයෙක් වූ ආලාරකාලාම නම් වූ බ්‍රාහ්මණයා වෙතටයි. එසේ පැමිණ ඔහුගේ යටතෙහි බඹසර රකින්නට කැමැති බව මම සඳහන් කළෙමි. ඉන් අදහස් කළේ කුසලය කුමක් ද? සත්‍ය කුමක් ද? කියා සොයන මට මේ ගුරුවරයා වෙත හැසිරෙමින් ඒ ශාන්ති පදය එනම් ඒ නිවන සොයා යන්නට පුළුවනි ද කියන අදහසයි.

මාගේ සෙවීම නිවනයි. ආලාරකාලාම තවුසා ළඟ එසේ නොමැතිනම් ඔහුගේ ඉගැන්වීම් හි මා සොයන නිවන පවතී දැයි, මම සොයන්නට වූයෙමි. ඒ වෙනුවෙන් ඔහු වෙත බ්‍රහ්මචර්යාවේ හැසිරෙමින් කාලය ගත කරන්නට අධිෂ්ඨාන කර ගත්තෙමි.”

භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරති. “මහණෙනි, මෙසේ කී කල්හි ඒ ආලාරකාලාම තවුසා මට මෙසේ සඳහන් කළා. ආයුෂ්මත් නුඹ මෙහි බඹසර වාසය කරන්න. යම් තැනක නුවණැති පුරුෂයෙක් නොබෝ කලකින් ම ස්වකීය ආචාර්යවරයන්ගේ ධර්මය ඉගෙන ගෙන ප්‍රත්‍යක්ෂ කොට වාසය කෙරේ ද? මේ ධර්මය එබඳු ය. මහණෙනි, මම නොබෝ දිනකින් ම ආලාරකාලාම තවුසාගේ ඒ ධර්මය ප්‍රගුණ කළෙමි. ආලාරකාලාම තවුසා කී දෙය මට ඉතාම හොඳින් ප්‍රත්‍යක්ෂ විය. ඒ තවුසා ඔහුගේ ධර්මය කියන්න තොල් සකස් කළ පමණින් ම ඒ නැවත කී පමණකින් ම මම දනිමි. අවබෝධ කරගත්තෙමියි, යන ස්ථිර කළ කතාවක් මම කීවෙමි. දනිම් ද, දකිම් ද, යැයි මම පිළිතුරු දුන්නෙමි. දැනුමෙන් දැනුම ඇති කර ගත්තා පමණක් නොවෙයි. අවබෝධයෙන් අවබෝධයක් ද ඇති කර ගත්තෙමි. එය දකිමි හැටියට සඳහන් කළෙමි. දනිම්, දකිම් යැයි මම දැනුම හා අවබෝධය පිළිබඳව ස්ථිර වශයෙන් ම ප්‍රත්‍යක්ෂ කරමින් පිළිතුරු දුන්නෙමි. අන්‍යයෝ ද මා ගැන එසේම කීහ. අනිත් අයත් මගේ මේ දැනීම හා අවබෝධය පිළිබඳව කතා කළහ”.

“මහණෙනි, ඉන් පසුව මට මේ වගේ අදහසක් ඇති විය. ඒ ආලාරකාලාම තෙමේ මේ ධර්මය හුදෙක් ඇදහීම් පමණකින් තමන් විශිෂ්ට ඥානයෙන් ගෙන ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය කරමියි ප්‍රකාශනය නො කරයි. මම යම් කෙනෙක්, මම යම් දහමක් අනුගමනය කරනවා නම් ඒ ඇදහීම් පමණකින් නොව, විශිෂ්ට ඤාණයෙන් ප්‍රත්‍යක්ෂකොට ම දැන ගන්නට අවබෝධ කරගන්නට උත්සාහ කරනවා.

නමුත් ආලාරකාලාම තෙමේ ඒ ධර්මය හුදෙක් ඇදහීම් පමණකින් දේශනා කරනවා. විශිෂ්ට ඤාණයෙන් දැන ඊට පැමිණ වාසය කරමියි ප්‍රකාශ කරන්නේ නැහැ.” ඉන් අදහස් කරන්නේ තමා ප්‍රත්‍යක්ෂයෙන් ම සඳහන් නොකොට මේ ලෙසින් මේ ලෙසින් පවතින්නට පුළුවනි යැයි යන අදහසක් පමණක් සඳහන් කිරීමයි.

“මට මෙසේ සිතුණා, ඒකාන්තයෙන් ම ආලාරකාලාම මේ ධර්මය දන්නේ, දක්නේ, වාසය කෙරේ යැයි කියා ය. මහණෙනි, ඉක්බිති මම ආලාරකාලාම කරා පැමිණියෙමි. පැමිණ ආලාරකාලාමයන්ට මෙසේ පැවසියමි. ඇවැත්නි කාලාමයනි, කොපමණකින් මේ ධර්මය තමන් ප්‍රත්‍යක්ෂ කොට දැන ඊට පැමිණ ප්‍රකාශ කෙරෙයි ද?” මෙසේ කී කල්හි ආලාරකාලාම තෙමේ “ආකිඤ්චඤ්ඤායතනය” ප්‍රකාශ කළේ ය. එහි මට අදහස වූයේ, “ශ්‍රද්ධාව ඇත්තේ ආලාරකාලාම ට පමණක් නොවේ මට ද ශ්‍රද්ධාව ඇත. ආලාරකාලාමයන්ට පමණක් ම වීර්යය ඇත්තේ නොවේ. මට ද වීර්යය ඇත. ආලාරකාලාමයන්ට පමණක් ම සිහිය ඇත්තේ නොවේ. මට ද සිහිය ඇත. ආලාරකාලාමයන්ට පමණක් ම සමාධිය ඇත්තේ නොවේ. මට ද සමාධිය ඇත. ආලාරකාලාමයන්ට පමණක් ප්‍රඥාව ඇත්තේ නොවේ. මට ද ප්‍රඥාව ඇත. ආලාරකාලාමයන් යම් ධර්මයක් තමන් විසින් විශිෂ්ට ඤාණයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වෙසෙමියි කියා නම් මම ද ඒ ධර්මය ප්‍රත්‍යක්ෂ කිරීමට උත්සාහ කෙරේ නම් මැනවයි කියා ය. මහණෙනි, මම නොබෝ කලකින් ම වහාම ඒ ධර්මය තම විශිෂ්ට ඤාණයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කෙළෙමි.

බෝධිසත්වයන් වහන්සේ ආලාරකාලාමයන්ගෙන් ඇසුවේ තමන් ප්‍රත්‍යක්ෂකොට පවත්නා දැනුම කොපමණ ද? කියා ය. එවිට ආලාරකාලාමයන් සඳහන් කළේ “ආකිඤ්චඤ්ඤායතනය” පිළිබඳවයි. එනම් අරූපධ්‍යානය, බඹළොව පිළිබඳවයි. ආකිඤ්චඤ්ඤායතනය යනු කිසිවක් නැත්තේ කියන ධ්‍යානය පුරුදු කිරීමයි.