වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී
සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක - 08
පාරමී බලයෙන් මහ පොළොව කම්පා වෙයි
ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද
දිගන සුගතවංශ හිමි
එදා පටන් සත්‍ය සොයා ගෙන යන ගමනේ දී බෝධි සත්ත්වයන් වහන්සේ අත්තකිලමථානුයෝගය කියන
ශරීරයට දැඩි දුක් දීමේ ප්‍රතිපදාව පුරුදු වුණා. ඒ මොකද? ඒ කාලයේ සම්මතයක් තිබුණා
ශරීරයට දුක් දීමෙන් තමයි සත්‍ය අවබෝධ වෙන්නේ කියලා. උන්වහන්සේ උරුවෙල් දනව්වට
ගිහින් මහා දුෂ්කරක්‍රියාව ආරම්භ කරනවා. අවුරුදු පහකුත් මාස නවයක්. මේ
දුෂ්කරක්‍රියාව ආරම්භ කරන කාලයේ උන් වහන්සේට උපස්ථාන කළා. කොණ්ඩඤ්ඤ, භද්දිය,
වප්ප,මහානාම, අස්සජි කියල තාපසවරු පස්දෙනෙක්. කොණ්ඩඤ්ඤ තාපසයා කියන්නෙ වෙන කවුරුත්
නෙමෙයි එදා නම් තබන අවස්ථාවේ එක ඇඟිල්ලක් ඔසවලා ඒකාන්තයෙන් ම බුදුවෙනවා’ කියලා
කිව්ව කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණතුමා තමයි කොණ්ඩඤ්ඤ තාපස වෙලා හිටියේ.
ඉතින් උන්වහන්සේ සත්‍ය සොයාගෙන යන ගමනේ දී ආලාරකාලාම, උද්දක රාමපුත්ත යන ගුරුවරු
මුණ ගැහුණා. ඒ අයගෙන් ද අට්ඨසමාපත්ති ක්‍රම ඉගෙන ගත්තා. ඒත් ඒ ගුරුවරු ඉන්න කියද්දි
එය සත්‍ය නෙමෙයි. නිවන එතන නෙමෙයි තියෙන්නෙ කියල සියල්ලම අත්හැර පැමිණියා.
ඉතින් බෝසතාණන් වහන්සේ ශරීරයට දුක්දීමේ ප්‍රතිපදාවත් අනුගමනය කළා. එයිනුත් තමන්
වහන්සේට සත්‍ය අවබෝධ වුණේ නැහැ. ඒ මොහොතේ තමන් වහන්සේට මතක් වුණා කුඩා කාලයේ දී වප්
මඟුල් දවසක දී තමන් වහන්සේ පුරුදු කරගත් ආනාපාන සති සමාධි භාවනාව, ධ්‍යාන බලය, ගුණ
බලය එය මතක් වෙලා ශරීරය සැහැල්ලු කරගෙන දැන් භාවනාව දියුණු කරන්න පටන් ගන්නවා.
වෙසක් පුර පසළොස්වක පෝ දවස වෙනවාත් සමගම තමන් වහන්සේ සුජාතා දේවියගෙන් ලැබුණු
කිරිපිඬු දානය පිළිගත්තා. මේ කිරිපිඬු දානය ගුලි හතළිස් නවයකට කරලා, ආහාරයට ගෙන
තමන් වහන්සේට ලැබුණ
රත්තරන් පාත්තරය නේරංජනා නදියෙහි පා කර හරින්නෙ. “මම ඒකාන්තයෙන්
ම අද බුදුවෙනවා නම් මේ පාත්තරය අද උඩුගම් බලා යන්නට ඕනෙයි කියා, එසේ අධිෂ්ඨාන
කරගෙන, රත්තරන් පාත්‍රය ගඟට දානකොට ම අහෝ! පුදුමයක් සිදුවුණා. මේ පාත්තරය උඩුගම්
බලා ගිහිල්ලා නාග ලෝකයට යනවා. නාග ලෝකයේ මීට කලින් ලොව පහළ වුණ කකුසඳ, කෝණාගමන,
කාශ්‍යප කියන බුදුරජාණන් වහන්සේලා ද කිරි ආහාර වළඳා ඒ ඉවත්කර පාත්තරවලට ම ගිහිල්ලා
වඳිනවා. මේ පාත්තරේත් ආ වෙලාවේ නා රජ්ජුරුවෝ තේරුම් ගන්නවා බුදුවෙන උතුමන් වහන්සේ
නමක් ඉන්නවා, බුදුවෙන උතුමන් වහන්සේ නමක් පහළ වෙලා කියලා. ඉතින් තමන් වහන්සේ
කිරිපිඬු දානයත් වළඳලා අතර මඟදී සොත්ථිය බමුණාගෙන් ලැබුණ කුසතණ මිටි අටත් අරගෙන
පැමිණෙනවා. කොහේට ද? වජ්‍රාසනයට.
පින්වතුනි, මේ ලෝකය පහළවෙන, මේ ලෝකය හැදෙන ගමනේ දී මුලින් ම පස් පඬක් පහළ වන්නේ මේ
වජ්‍රාසනය පහළ වෙන තැනයි. හේතුව කුමක් ද? මේ මහා පොළොවෙ කිසිම තැනකට බුදු කෙනෙකුගේ
බුද්ධ ශක්තිය, බුද්ධ බලය, බුද්ධ ඍද්ධිය, බුද්ධ ධර්මය දරාගන්ට පුළුවන්කමක් නෑ. එය
දරාගන්ට පුළුවන් වන්නේ බුද්ධගයා ශුද්ධභූමියේ පිහිටි වජ්‍රාසනය ළඟ පමණයි. ඒ නිසා සෑම
බුදු රජාණන් වහන්සේ නමක් ම මේ ලෝකයේ බුදු වන්නේ දඹදිව බුද්ධගයා ශුද්ධ භූමියේ
වජ්‍රාසනය පිහිටන ස්ථානයේ කියන එක දේශනාවේ සඳහන් වෙනවා.
ඉතින් මේ වජ්‍රාසනයේ වැඩ හිඳගෙන තමන් වහන්සේ දැන් චතුරංගසමන්වාගත වීර්යයත් සමඟ භවනා
කරනවා. ඒ සමඟම මාර දිව්‍ය පුත්‍රයා මාර පිරිවර සමඟම පැමිණ බෝසතාණන් වහන්සේට නොයෙක්
වධහිංසා කරනවා. අඟුරු වර්ෂාවන්, ඊතල වර්ෂාවන්, ආයුධ වර්ෂාවන් නොයෙක් නොයෙක්
වර්ෂාවන් පවත්වමින්. බෝසතාණන් වහන්සේ ආසනයෙන් පලවා හරින්නටයි. දැන් මහන්සි ගන්නේ. ඒ
වෙලාවේ මාර දිව්‍ය පුත්‍රයා ඇතුළු පිරිවර සම්පත්තිය කියන්නේ, එතුමාගේ අනුගාමිකයන්
කියන්නේ “මේ වජ්‍රාසනය අයිති මාරයා වන මටයි. බෝසතාණන් වහන්සේට නෙමෙයි” කියලා ඒ කියන
විට අනිත් පිරිවර සම්පත්තියක් නැත්නම් මාර පිරිසක් මේ මාර පිරිසගේ පැත්තට කතා
කරනවා. මේ මාරයාගේ බලපෑම් අනුව සියලුම සම්‍යක් දෘෂ්ඨික දෙවිදේවතාවුන් එතනින් දුව
ගියා. එක් කෙනෙක්වත් හිටියේ නෑ. අර අචේතනික බෝ සමිඳුන් පමණයි, අස්වත්ථ වෘක්ෂය පමණයි
එතන තිබුණේ. තමන්ගේ ශ්‍රී හස්තය මහා පෙළොවට දික්කලා “මේ අචේතනික මහ පොළව අද මට
සාක්ෂි දරයි. අනාදිමත් කාලයක් මුළුල්ලෙහි ඇස්, මස්, ලේ දන්දෙමින් මම අප්‍රමාණ
උත්සාහයකින් උනන්දුවකින් පාරමී පුරාගෙන ආවේ මේ වජිරාසනයට උරුමක්කාරයෙක් වෙන්ටයි.”
සෝ සාගරේ ජලධිකං රුධිරං අදාස
භූමිං, පරාජිය සමං සමංස දානං
මේරුප්ප මාණමධිකඤ්ච සමොලි සීසං
ඛෙ තාරකාධිකතරං නයනං අදාසි”.
ආදී වශයෙන් සඳහන් වන්නේ ‘මේ මහා සාගරයේ ජලයට වඩා ශරීරගත ලේ දන් දෙමින්, මේ මහ
පොළොවේ පස්වලට වඩා මාංශ දන් දෙමින්, මහාමේරු පර්වතයේ උසට වඩා ඔටුන් පලන් හිස් දන්
දෙමින්, අහසේ පෙනෙන තාරකාවලට වඩා නේත්‍රා යුග්මයන් දන් දෙමින් පාරමී පුරාගෙන
පැමිණියා.” කියමින් බෝසතාණන් වහන්සේ සත්‍යක්‍රියා කරන වෙලාවේ ඒ අචේතකික මහා බොල්
පොළව යොදුන් දෙලක්ෂ හතළිස් දහසක් ගණකම කම්පාවෙන්න පටන් ගත්තා. ඒ කම්පාවත් සමඟ
මාරයාට උන්හිටිතැන් අමතක වී පලා ගියා. අන්න, බෝසතාණන් වහන්සේට පමණක් මේ වජ්‍රාසනය
අයිති වුණා. උන්වහන්සේ අධිෂ්ඨාන කරනවා “මගේ මේ ශරීරයේ මස්, ලේ නැතිවුණත් සම වියළී
ගියත්, මම බුදුවෙලා මිස මෙතනින් නැගිටින්නේ නෑ කියා චතුරංග සමන්නාගත වීර්යය පහළ
කරගෙන තමන් වහන්සේ දැන් සුපුරුදු ආනාපානාසති භාවනා මූල කර්මස්ථානය වඩනවා. ඒ භාවනා
කර්මස්ථානයෙන් කසිණ සමාපත්ති වඩනවා.
කසිණ සමාපත්ති වඩමින් විදර්ශනා වඩමින් උන්වහන්සේ පටිච්ච කසිණ සමාපත්ති වඩමින්
විදර්ශනා වඩමින් උන්වහන්සේ පටිච්ච සමුප්පාදය මෙනෙහි කරනවා. අන්න පූර්ව යාමයේ දී
පළමුවන අභිඥාව. ඒවාගේ ම මධ්‍යම යාමේ දී දෙවන අභිඥාව, තෙවන යාමේ දී තුන්වන අභිඥාව
පහළ කරගන්නවා. උන්වහන්සේ ප්‍රථම යාමේ දී ‘අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා
විඤ්ඤාණ’ ආදී වශයෙන් පටිච්ච සමුප්පාද අංගයන් මුල සිට අගට, අග සිට මුලට මෙනෙහි කරන
විට පුබ්බේ නිවාසානුස්සති අභිඥාව පහළ කරගත්තා. නැවතත් උන්වහන්සේ පටිච්ච සමුප්පාද
අංගයන් මුල සිට අගටත්, අග සිට මුලටත් මෙනෙහි කරන වෙලාවේ චුතූපපාත කියන මේ අභිඥාව
පහළ කරගත්තා.
අවසානයේ දී නැවතත් පටිච්ච සමුප්පාදානය මුල සිට අගටත් මෙනෙහි කරන වේලාවේ දී ආසවඛ්‍ය
ඤාණය සහිත සර්වඥතාඤාණ ප්‍රතිමණ්ඩිත අනන්ත අප්‍රමාණ ඤාණයන් සහිත ගුණයන් සහිත සම්මා
සම්බුද්ධත්වය සාක්ෂාත් කරගන්නට යෙදුණා. එසේ සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කරගත්
ලොව්තුරා ශාන්ති නායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ නව අරහාදී බුද්ධ ගුණයන්ගෙන්
සමන්නාගතයි. දසබල ඤාණ, චතුවිශාරද ඤාණ, චුද්දස බුද්ධ ඤාණ, සෝළස මහා ඤාණ, අට්ඨාරස
ආවේනික බුද්ධ ගුණ, එකුන් විසි ප්‍රත්‍යාවේක්ෂා ඤාණ, සමපණස් උදයව්‍යය ඤාන, තෙසැත්තෑ
ඤාණ, සත්සැත්තෑ ඤාණ, අනන්තනය සමන්නාගත සමන්ත පට්ඨාන මහාපකරණ විෂයාන්තර්ගත ගාම්භීර
ඤාණ ආදී මේ මහ පොළොවට දරාගන්න බැරි අප්‍රමාණ ඤාණ සම්භාරයකින් බුදුපියාණන් වහන්සේ
සමන්නාගතයි. එසේ අනන්ත පින් ඇති, අනන්ත ගුණ ඇති, අනන්ත පාරමී ඇති, අනන්ත ඤාණ ඇති
ශාන්ති නායක සම්මා සම්බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. මගේ ජීවිතය ද
පූජාකරමි පූජා වේවා..........
පසළොස්වක, අව අටවක, අමාවක සහ පුර අටවක යන සතර පෝදා දිනයන්හි ම පළවන ලිපි මාලාවේ
සත් වැනි කොටස මෙසේ පළවේ. මෙහි නව වන කොටස දෙසැම්බර් 03 වන දා උඳුවප් පුර පසළොස්වක
පෝදා පත්‍රයේ පළවේ |