Print this Article


පහන් සිතක කවි

බව දුක නිවා දමමු

සසරෙහි අසරණව සරණා සත් වගට
පැතිර ගිය මහා කරුණා ගුණ නෙතට
නතර කර සසර බව දුක නිවන්නට
නිතර දහම් දෙසුවා සිත නිවෙන්නට

සසර කතර හැම දුක් ගිනි නිවේවා
විසිර ගිය සියලු සිත තැන්පත් වේවා
පැතුරු කරුණාව තුන්ලෝ නැහැ වේවා
නතර කර සසර බව දුක නිවී යේවා


එකම සරණ

ගැයුම්, වැයුම් එකිනෙක සුමිහිරි ලෙසට
කොතෙකුත් ගලා ආවත් දෙසවන් තුළට
සැනසිලි සුවය විඳගනු උදෙසා සිතට
බුදු බණ ඇසුම වැනි මිහිරක් නැත මෙ මට


අමාවක දාට කළුවර

අමාවක පොහොය දාට
සඳ නැත අන්ධකාරය
අසත්නන්ගේ අයහ ගුණ
දැකලා වත්දෝ අහසේ
කළුවර වූයේ
සිතුනි මා සිතට
සත් පුරුෂ දනන්ගේ
සත් යහ ගුණ දැක
අහස පිබිදෙයි
ආලෝකය පතුරාලයි
පසළොස්වක දාට
මහ හඳ පායා
ආ නිසා
යහ ගුණ දැකලා ම යි
පුරා සඳ පිබිදුණේ
සිතුනි මා සිතට


කෝ මේ නෑයෝ

අනේ! අනිච්චං සංසාරේ
බල්ලෙක් මැරිලා මහ පාරේ
කඳුළැලි නෙතගින් ගිය දොරේ
කෝ ඒ නෑයින් නොම තේරේ

අනේ! අපට කරදර නො කරන්
නයි හාමියෙ වෙනතක පලයන්
එලෙසින් පැවසූ ආදරයෙන්
කොහේද ඒ සුන්දර මිනිසුන්

වරදක් නො කරන් තුන් හිතිනා
ගහටත් වැලටත් පෙම් බඳිනා
නෑ සියනේ මුදු සිත් රැගෙනා
එනු මැන ආයෙත් ගිය තැනිනා


උඳුවප් පොහෝ අසිරිය

පන් දහස් කල් වර්ෂ රැකෙන බුදු හිමි බලේ
පින් පිරුන රටක් කරන්ට මගේ තුන් හෙලේ
රන් රුවන් බුදු කිරණ දසත විසිරෙන වෙලේ
තුන් වරක් වැඩි බවකි කරන්නට ඒ බලේ

අද අනුරපුර දෙසින් සැමට සදහම් ඇසේ
හද පුරා පැතිර යයි සුවඳ බුදු ගුණ තොසේ
පුදන ලද මල්වලින් පෙනෙයි අනියත දෙසේ
සඳ කිරණ පැතිර යයි සිසිල උඳුවප් මසේ


සිරිපා සමය එළඹෙයි

බුදු කරුණා මහිමයෙන් රට ඔකඳ වන
මගෙ සම්බුදු හිමිගේ අම ගුණ ගැයෙන
දස දහසින් මහා හිම තරණය කරන
මෙ සමය පින්බර ය මුනි සිරිපා වඳින

බුදු ගුණ ගීත මුලු ලොව දසතෙහි විහිදූ
නිම මෙත පතාගෙන නිවනට මඟ සෑදූ
සත වෙත දයාවෙන් සිත පවු මල සෑදූ
සිරිපා වඳුමු අපි සමනළ නැග සාධූ


භවය

ඇයිදෝ මනු සතුන් මෙලොවෙහි ඉප දෙන්නේ
නැහැ වෙනසක්, සතුන්ටත්, එය සම වන්නේ
ලෙඩ දුක් රෝග පීඩා සැම පොදු වන්නේ
ජරා පත් වී ඔවුන් මරු කැඳවා ගන්නේ

වළකා ගන්න හැකි නම් ලොව ඉප දීම
නැත ඔබ ජරා වන්නේ මේ ලොව දීම
වැළකී රෝග පීඩා ඔබ හට වීම
මරණය නොම වේවි ඔබ වෙත පැමි ණීම

වඩමින් බවුන් කළ හැකි නම් සිත දියුණු
හැකි වේ නැසීමට තණ්හා මුල් පිරුණු
නැසුවොත් සියලු මුල් , තණ්හාවෙන් තියුණු
වැළකේ ඉපදීම, ලොව නැවතත් සිතනු


මාරයාගේ ඉඩමේ සිට ලියමි

මරුට අයිති මහ පොළොවෙන්
වෙන් කරගෙන ඉඩම් කඩත්
තනලා නිවෙසක් මව්පිය අඹු දරුවන් හා සතුටින්
කකා බිබී නටා හැපී සිටියත් අපි ප්‍රීති වෙමින්
මරු යන්නට අණ කළ විට
පිට විය යුතුමයි නිසැකෙන්


මිතු සමර

බොදු මගේ සැරැසුම් පිරියන් ලෙසින්
මතු නොවේ, පටිවේදයෙනුත් කියා
බොදු පුවත් පතැ සක්විති පෙම්සිරී
‘භය සිහුන්’ නො එනා ගමනේ යෙදී

බොදු දහම් නියමේ ඉහමත්තෙ වූ
අනත, දුක්, අනිසේ පැටුමේ සැබෑ
ලොවටැ පා මෙලොවින් පිටැවී ගොසින්
සුරලොවේ නිවැසුම් පැතුවේ ද? හා...

ඔබ වෙතින් රසවත් මිහිරෙක් ලබා
සැනැසුමෙක් ලැබුවත් වෙතැ නෙත් නොලා
දිවි මගේ දසකේ ලැබ මෝ මුළා
ඔබ ගියේ නොගොසින් බැරි වූ නිස යි

මිය ගියත් තම නාමය කාලයක්
රඳවමින් ඇසුරේ සිටිවුන් හදේ
ලැබුව ජීවිතයේ ඵලයෙක් ලැබූ
කෙනෙකි යයි හැක කීමට සේ නොබා

බසැ රසින් සුවපත් කැරැ ලක් දනා
හරි මගේ යවමින් ඔබ පෑ බලේ
ඔබ වෙතත් පැවැරී ඉපැදුම් - මැරුම්
නැති නිවන් මිහිරේ සැනැසෙන්නැ කෝ


සිත

පුරවා ගනිමු අපි පින්බර සිතිවිලි
කෙලෙස් මලින් මුදාලන්න සිතිවිලි
යහපත කරා යොමු කරලමු සිතිවිලි
පිවිතුරු සිතක දියුණුව නිකලෙස් සිතිවිලි


පින්වත් කුමරෙක්

භාරත දේශේ ලුම්බිණි උයනේ
පින්වත් කුමරෙක් පහළ වුණේ
සිදුහත් ගෞතම සිරි පා තබනට
සත් පියුමක් පිපිලා තිබුණේ


පිය සෙනෙහස

උපයා සොයා ගත් දේ රැකගෙන මඩිය
තර කර ගත්තෙ නෑ තනිව ම බඩ ගෙඩිය
දූ දරුවන්ටම යි දුන්නේ වැඩි වැඩිය
පිය සෙනෙහස යි ලොව දිදුලන ජය කොඩිය