ප්‍රමාදය හඳුනා ගන්න
සාම විනිසුරු
ශාස්ත්‍රවේදී
ඒ.ඩී.ටී. මෛත්‍රිපාල
"කවදා හෝ අපට මුහුණ දීමට සිදුවන මරණය ගැන සිතන්න. මරණ මොහොතේ දී පිහිටට පවත්නා එකම
කාරණය භාවනාව ප්‍රගුණ කර තිබීම ය. මරණයේ දී අපේ නෑදෑ හිත මිතුරෝ , ධනය, අපට පිහිට
නොවේ. අපේ ශරීරය ද අපට පිහිටට නොසිටිනු ඇත."
මිනිස් භවයක ඉපදුණේ පෙර කරන ලද විශාල කුසල කර්ම නිසා බව සිතන්න. මන්ද බුද්ධික නොවී,
අඟ පසඟ ඇතිව, බුද්ධෝත්පාද කාලයක ලබා ගත් ජීවිතය සාර්ථක කර ගැනීම අපගේ පරමාර්ථය විය
යුතු ය. මේ දුර්ලභ අවස්ථාව ක්‍රමයෙන් ගෙවී යමින් තිබේ. මරණය කරා ළඟා වෙමින් තිබේ. ඒ
ගැන සිහිකළ යුතු ය. මරණය කවර මොහොතේ ළඟා වේද කියා කිව නොහැකි බැවින් අද අද ම ඒ සඳහා
සූදානම් විය යුතු ය.
මේ සඳහා යහපත් ප්‍රතිපදාවන් දියුණු කිරීමට අදිටන් කර ගත යුතු ය. ඒ සඳහා අවශ්‍ය
වාතාවරණයක් අභ්‍යන්තරව සහ බාහිරව පැවතීම අවශ්‍ය වේ. අභ්‍යන්තර වශයෙන් මනුෂ්‍ය
ශරීරයක් හා ප්‍රබල සිතක් ඇත. බාහිර වශයෙන් හොඳ පරිසරයක්, නිදහසක් ඇත.
අපගේ කාය ශක්තිය හා මානසික ශක්තිය විස්මය දනවන සුළු ය. ඒ ශක්තීන් තමන්ගේ සහ
අන්‍යයන්ගේ යහපත සඳහා යොදවනු ලබන්නේ නම් ප්‍රතිඵල ඉමහත් ය. මනුෂ්‍ය ජීවිතයේ
ගුණාත්මක බව රඳා පවත්නේ කර්මයන්ගේ ස්වභාවයට අනුකූලව ය. කරන ලද යහපත් කර්ම යහපත්
ජීවිතයකට හේතු වන්නාක් මෙන් අයහපත් කර්ම අයහපත් ජීවිතයකට මග පාදයි.
යහපත් කර්ම හෝ අයහපත් කර්ම කළ විට එහි ප්‍රතිඵල විනාශයට පත් නොවී ඒ භවයේ දී හෝ
ඉදිරි භවවල දී විපාක දෙනු ඇත.
යහපත් කුසල කර්ම රැස්කර ගත හැකි වන්නේ හික්මීමක් සහිත සිතක් පවත්වා ගත හැකි වුවහොත්
පමණි. යහපත් ක්‍රියාවන්හි පමණක් නිරත වීම තම තමන්ගේ වගකීමකි. සිත යහපත් නම්,
කාරුණික නම් ඔබ ආශ්‍රය කරන සියලු දෙනාට ම ඔබ ප්‍රසන්න වෙයි. ඔබ වාසය කරන නිවස
ප්‍රසන්න වෙයි. ඔබේ නිවසට පැමිණෙන ඕනෑම කෙනෙකුට සතුටක් දැනෙයි. එහෙත් ඔබේ සිත දමනය
වී නොමැති නම්, ඔබ නිතර තරහ ගන්නේ නම්, වචන කර්කශ නම්, ඔබට ඉවසීමක් නොමැති නම් ඔබ
ආශ්‍රය කරන සියලු දෙනාටම ඔබ අපි‍්‍රය වෙයි. අප්‍රසන්න වෙයි. නිවස ද අප්‍රසන්න වෙයි.
ඔබගේ අගනා ශරීරය වටිනා වස්තුවක් බවට පත්කර ගත හැකි වන්නේ ඔබේ සිත සකස් කර ගැනීමෙන්
බව මතක තබා ගන්න. සාමාන්‍යයෙන් අප නිතර වෙහෙසෙන්නේ මේ දුගඳ හමන ශරීරය හැඩට තබා
ගැනීමට ය. ඒ සඳහා බොහෝ වෙහෙසෙන අතර නොකරන ක්‍රියාවක් නැත. පිරිසුදුව, පි‍්‍රයමනාප
ලෙස සිටීම අත්‍යවශ්‍ය ය. එමෙන් සිත රැක ගැනීම, දියුණු කර ගැනීම ද අත්‍යවශ්‍ය ය.
අපගේ දිවිය කෙටි වුව ද, දීර්ඝ වුව ද, ඒ කාලය තුළ ජීවිතයේ අර්ථය සපුරා ගැනීම අවශ්‍ය
වේ. ජීවිතය අර්ථවත් වන්නේ එය තමන්ටත් අන්‍යයන්ටත් ප්‍රයෝජනවත් වුවහොත් පමණි. සිත
කරුණාවෙන්, මෛත්‍රියෙන් පිරී ඇත්නම් ඔබගෙන් ඔබට හෝ අන්‍යයන්ට වරදක් සිදුනොවේ.
ආත්මාර්ථකාමී නම්, සිත අපිරිසුදු නම් ඔබ ඔබටත් අන්‍යයන්ටත් දුක, විනාශය කැඳවයි.
යම් ගුණධර්ම ප්‍රගුණ කිරීමක් නොකරමින් කමින් බොමින්, ඇවිදිමින්, රැකියාවේ නියුක්ත
වෙමින් දූ දරුවන් සමඟ සිටිමින්, මිතුරන් සමඟ සාද පවත්වමින් සිටින විට නොදැනීම
වයස්ගත වී , නොයෙක් රෝගාබාධවලට මුහුණ දෙමින් ඉතා දුබල අසරණ තත්වයකට පත්වේ. ඉන්පසු
ඇතිවන තත්ත්වය ඉතා දුක් සහගත විය හැකිය. එය සිත දියුණු කර ගැනීමට හැකි අවස්ථාවක්
නොවේ. ප්‍රමාද අවස්ථාවකි.
රෝගියෙකු “මරණය” යන වචනය ඇසීමට හෝ කැමැති නොවේ. ඥාතීන් ද එම වචනයට බිය වේ. එසේ
තිබිය දී මරණය කොයි තරම් දුක්ඛදායක විය හැකි ද?
ජීවිතයේ යථාර්ථය ලෙස අප බොහෝ දෙනෙකු සිතන්නේ ලෞකික ජීවිතය සාර්ථක කර ගැනීම ය.
මනුෂ්‍යයෙකු වශයෙන් සාර්ථක ලෞකික ජීවිතයක් ගත කිරීමට හැකිවීම භාග්‍යයකි. නමුත් එය
තාවකාලික ජයග්‍රහණයක් බව සිහිකළ යුතු ය. යමක් කොයිතරම් අසිරිමත් වුව ද එහි ද
අවසානයක් ඇති බව වටහා ගන්න. තවත් කල් ඇතැයි කිසි විටෙක නොසිතන්න.
කවදා හෝ අපට මුහුණ දීමට සිදුවන මරණය ගැන සිතන්න. මරණ මොහොතේ දී පිහිටට පවත්නා එකම
කාරණය භාවනාව ප්‍රගුණ කර තිබීම ය. මරණයේ දී අපේ නෑදෑ හිත මිතුරෝ , ධනය, අපට පිහිට
නොවේ. අපේ ශරීරය ද අපට පිහිටට නොසිටිනු ඇත. ඔබ කවර ආකාරයකින් අල්ලා ගෙන සිටියත්
මෙහි නැවතීමට කිසිදු ක්‍රමයක් නැත.
“කිසි විටෙක වෙනස් කළ නොහැකි දෙයක් ගැන බිය වීමෙන් ඇති ඵලය කුමක් ද?”
මේ බුදුවදන මතකයේ තබා ගන්න. |