Print this Article


යෝනිසෝ මනසිකාරය - ආශ්‍රව දුරුකරන්න නුවණින් මෙනෙහි කරන්න

යෝනිසෝ මනසිකාරය

ආශ්‍රව දුරුකරන්න නුවණින් මෙනෙහි කරන්න

බුදුරජාණන් වහන්සේ ආර්ය මාර්ගය දියුණු කිරීමෙන් ලබන ප්‍රතිඵලයන් හතරක් දේශනාකොට වදාළා. ඒ සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, සහ අර්හත් යනුවෙන්.

සසරෙන් එතෙර වෙන්නට යන ගමනේ පළමුව හමුවන්නේ සෝවාන් ඵලය යි. සෝවාන්ඵලයට පත්වෙන ශ්‍රාවකයාට ලැබෙන උතුම් ලාභය නම් මේ සසර ගමනේ නියත වශයෙන් ජීවිත හතක් ඇතුළත සංසාර දුක නිමා කිරීම යි.

ශාසනය තුළ ඉගැන්වෙන පුණ්‍ය ප්‍රතිපදාවන් හෝ කුසල ප්‍රතිපදාවන් බොහෝ සෙයින් උපකාරි කර ගත යුතු වන්නේ කාම ලෝකවල උත්පත්තිය ලබා කාම සම්පත් විඳිනවාට වඩා, සංසාර දුකෙන් නිදහස් වන මාර්ගය තුළ ගමන් කිරීමට යි. සෝවාන්ඵලය ශාක්ෂාත් කර ගැනීම තුළින් මේ සසර ගමන තුළ දී අපට මහත් වු රැකවරණයක් සැලසෙනවා.

කල්‍යාණ මිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝමනසිකාරය සහ ධම්මානුධම්ම ප්‍රතිපදාව යන අංග හතර සෝතාපත්ති අංගයි. මෙයින් යෝනිසෝමනසිකාරය ගැන මෙසේ දැනුවත් වෙමු.

යෝනිසෝමනසිකාරය යනු නුවණින් මෙනෙහි කිරීම යි. බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රාවකයාට සද්ධර්මය ශ්‍රවණය කරන්නට ලැබෙන්නේ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය තුළිනි. ඒ ආශ්‍රයෙන් ලැබුණ ධර්මය ඔහු මැනවින් ශ්‍රවනය කර ඒ ධර්මය ජීවිතයේ කොටසක් බවට පත්කර ගන්නට, ඒ තුළින් ලැබෙන ඵලයන් නෙලා ගැනීමට අනිවාර්යෙන් යෝනිසෝමනසිකාරය අත්‍යවශ්‍ය වේ. ඒ වගේම ඕනෑම කරුණක් නුවණින් මෙන් ම අනුවණින් ද මෙනෙහි කළ හැකියි.

යෝනිසෝමනසිකාරයෙන් තොරව සිටින සෑම අවස්ථාවක ම යථාර්ථය අවබෝධ කර ගැනීමට නො හැකියි. සතර අපාය, මිනිස් ලොව, දිව්‍ය ලෝකවල ඉපදෙමින් මේ සංසාරේ අප දිගින් දිගටම ගමන් කර තිබෙනවා. ඒ සෑම තැනක දී ම නුවණින් මෙනෙහි කිරීම නිසි ලෙස සිදුකොට නැහැ. කුසලය, අකුසලය හඳුනා ගැනීමට, කෙලෙස් හඳුනා ගැනීමට පුළුවන්කම ලැබෙන්නේ, ඒ අකුසල් දුරු කරන්න, කුසල දියුණු කරන්න පුළුවන්කම ලැබෙන්නේ, යෝනිසෝමනසිකාරය තුළිනු යි.

අයෝනිසෝමනසිකාරය අපගේ ජීවිතයට අයහපත උදා කරයි. මේ සංසාර ගමනේ අප බැඳ තබා ගන්නා, ආශ්‍රව ගොඩ නැගෙන්නේ අයෝනිසෝමනසිකාරය නිසයි. යම්කිසි කෙනෙකුට තව කෙනෙකුගේ රූපයක් හේතුවෙන් රාගයක් ඇති වුණා නම්, ඒ සුබ නිමිත්ත රාගය ඇතිවන කාරණය අයෝනිසෝමනසිකාරයෙන් නැතිනම් අනුවණින් මෙනෙහි කිරීමෙන් ඒ රූපය සටහන් වශයෙන්, වර්ණ වශයෙන්, ප්‍රනීත වශයෙන් දකිනවා. නමුත් ශ්‍රාවකයා අයෝනිසෝමනසිකාරයෙන් රූපය මෙනෙහි කිරීමේ දී රූපය පඨවි, අපෝ, තේජෝ, වායෝ යන සතරමහා ධාතුන්ගෙන් හට ගත් දෙයක් ලෙස නුවණින් තේරුම් ගන්නවා. ඒ රූපය සදාකාලික නො වන බව, මගේ නො වන බව තේරුම් ගන්නවා. ඒ රූපය මුල්කරගෙන යම් රාගයක් හට ගත්තානම්, ආශ්‍රව වශයෙන් ඒ රාගය දුරු වෙන්න, ආශ්‍රව ක්ෂය වෙන්න, නුවණින් මෙනෙහි කිරීම ඉතාමත් වැදගත්. නුවණින් මෙනෙහි කිරීම තුළිනුයි අප යථාර්ථය දකින්නේ.

අයෝනිසෝමනසිකාරය තුළ යථාර්ථය පෙනෙන්නේ නැහැ. මේ පොළොවට පස්වෙලා යන පස් පිඩක්, මෙය අනිත්‍ය දෙයක්, දුක් සහිත දෙයක්, අනාත්ම දෙයක් කියා නුවණින් නො දකින නිසා නැවත නැවත එය ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනා කිරීම තුළින් රාග, ද්වේශ, මෝහ මූලයන් නැවත නැවත ඒ සිත තුළ දියුණු වෙනවා. ඒ නිසා ශාස්තෘන්වහන්සේ වදාළා සසරේ අප ඇදබැඳ තබාගෙන සිටින මේ ආශ්‍රවයන් නැතිනම්, සංයෝජන ධර්මයන් නැති කිරීමට දන්නේ නැති කෙනාට, නො දකින කෙනාට දේශනා කරන්නේ නැහැ කියනවා. කුමක් දන්නේ නැති කෙනාට ද? කුමක් නො දකින කෙනාට ද? යෝනිසෝමනසිකාරයත්, අයෝනිසෝමනසිකාරයත් දන්නේ නැති කෙනාට, නො දකින කෙනාට යි.

යම් ආශ්‍රවයක් හට ගත් විට එය නැති කිරීමට හැකියාව ලැබෙන්නේ යෝනිසෝමනසිකාරය ඇති පුද්ගලයාට යි. යෝනිසෝමනසිකාරය බාහිරෙන් කරන දෙයක් නොවේ. එය අපගේ මනස තුළින් සිදුවන දෙයක්. ඇස, කන, නාසය, දිව, කය මනස කියන ඉන්ද්‍රියන්, නැත්නම් බාහිර ආයතන මුල් කරගෙන චිත්ත අභ්‍යන්තරයේ ගොඩනැගෙන ලෝභ, ද්වේශ, මෝහ ආදි ආශ්‍රවයන්ට තුඩු දෙන මේ අකුසල මූලයන් නුවණින් හඳුනා ගැනීමට යෝනිසෝමනසිකාරය තුළින් හැකියාව තිබෙනවා.

නුවණින් මෙනෙහි කිරීම එක පාරටම ජීවිතයක් තුළ ඇතිකර ගන්නට පුළුවන් දෙයක් නොවේ. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ සීලය, සමාධිය, ප්‍රඥාව කියන ත්‍රිලක්ෂණය වදාළා. සීලය තුළින් කය, වචනය සංවර කරගෙන, සමාධිය තුළින් නීවරණ ධර්මයන් යටපත් කරගෙන, ප්‍රඥාව තුළින් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් මෙනෙහි කිරීම නිසා යෝනිසෝමනසිකාරය යෙදෙන්නට අවශ්‍ය කරන මානසික ශක්තිය, ඒ පසුබිම ඇතිකර ගැනීමට ශ්‍රාවකයාට හැකියාව තිබෙනවා.