සද්පුරුෂ ඇසුර:
නුසුදුසු ඇසුර
ජීවිතය නීරස කරයි
පස්යාල නාබුළුවේ
සිරිමංගලාරාමාධිපති හා
මීරිගම – මිණිඔලුවේ විද්‍යාවාස පිරිවෙන් ආචාර්ය
පනාවල නාරද හිමි
මිනිසා මෙලොවට බිහිවන්නේද, මෙලොවින් නික්ම යන්නේද, තනිවම වුවද, ඔහු ජීවත් වන්නේ
තනිවම නොව, සාමාජික පිරිසක් සමඟය. තනිව ජීවත්වීම අපහසුසේම, එසේ ජීවත් වීමද සම්පූර්ණ
ජීවත්වීමක් ලෙස නොසලකනු ලැබේ. කෙලෙස් තවන වීර්යයෙන් යුතු භික්ෂූන් වහන්සේට, ආරණ්‍ය,
රුක්මුල්, ශූන්‍යාගාර ඇසුරු කිරීමට බුදුරජාණන් වහන්සේ, උපදෙස් දුන්නේ, තමාගේ
අභිමතාර්ථය, එනම් අර්හත්වය සාක්ෂාත් කරනතුරු පමණි.
ඒ භික්ෂුව රහතන් වහන්සේ නමක් වූ විට, සමාජගත වුවකු විය යුතු ය. මහජනයාගේ හිත සුව
පිණිස කටයුතු සම්පාදනය කරදෙන අයෙකු විය යුතු ය. එහෙයින් බලන කළ මිනිසාට සාමාජික
ජීවිතයෙන් මිදී කටයුතු කිරීම අපහසු බව පැහැදිලි වේ.
සමාජය වූ කලි සංකීර්ණය, විවිධය, විශ්මය. එහි ගැලී ක්‍රියාකිරීමද පහසු කාර්යයක්
නොවේ. එය යම් තරමක හෝ අස්වැසිල්ලක් වන්නේ, යහපත් අය ඇසුරු කරන්නට ලැබෙනවා නම් පමණි.
නුසුදුසු අයගේ ඇසුර ජීවිතය නීරස කරයි. කූටක, අමිහිරි අත්දැකීමක් බවට පත් කරයි. එක්
අතකට, මිනිස් සමාජය, වනාන්තරයක් බඳුය. වනයක ඇත්තේ එක සමාන ගස්, වැල් නොවේ.
පලු, වීර, සඳුන් හා සපු ආදී හරවත් ප්‍රයෝජනවත්, ගස්වැල් සේම, උණ, බට ආදී හරයක් නැති
ගස්වැල්වලින්ද වනය සමන්විතය.
කටු පඳුරු, හුල් ආදියෙන්ද වනය පෝෂිතය. මිනිස් සමාජය ද එබඳුය. වනයක් සඳුන් ගස්වැනි,
උදාර අදහස්වලින් පෝෂිත, මානව දයාවෙන් පිරුණු මිනිසුන් සේම, හරයක් නැති ගස්වැනි,
පාපී අදහස්වලින් පිරුණු, විෂමාචාර පැවතුම් ඇති, සමාජයට පිළිලයක් බඳු මිනිසුන්ද
ජීවත් වෙති. බුදු වදනට අනුව සමාජයේ වැඩිපුරම දක්නට ඇත්තේ එබඳු පාපීයෝ ය.
උදාර අදහස් ඇති, මානව හිතවාදී, දයාව, කරුණාව මෛත්‍රිය, අනුකම්පාව වැනි උසස් මානුෂික
ගුණදහම්වලින් පෝෂිත මිනිසුන් සත් පුරුෂ නාමයෙන්, ධර්මයේ උගන්වනු ලැබේ. සප්පුරිස,
සජ්ජන, සාධු යන පාලි වචන සත්පුරුෂ යන්නට බණ පොතේ නිතර යෙදෙන වචනය. කල්‍යාණ මිත්‍ර
යන වචනයද සත් පුරුෂ යන තේරුම දෙන්නකි.
ඇසුර නිසා, සතා, සිවුපාවා පමණක් නොව ගස්වැල්වල පවා විවිධ වෙනස්කම් ඇතිවන බවට ජාතක
පොත නිදසුන් සපයයි. එසේ නම් හිත් පිත් ඇති මිනිසා ගැන කවර නම් කතාවක් ද? එවැනි
ඇසුරට කෙනෙකු තෝරා ගැනීමේ දී බෙහෙවින් ප්‍රවේශම් වීම නුවණට හුරු ය. ආශ්‍රය කිරීම
සඳහා සුදුස්සෙකු නැතිනම් තනිව විසිම යහපත් බවත්, බාලයකු සමඟ නම් ඇසුරක් නොකළ යුතු
බවත් බුදුරජාණන් වහන්සේ වදාළහ.
බුදු – පසේ බුදු මහරහත් උතුමෝ ම සත්පුරුෂයෝ වෙති. එහෙත් එබඳු උතුමන්ගේ ඇසුර පරම
දුර්ලභය. බෞද්ධ විශ්වාසය එබඳු ඇසුරකට පෙර පින් අවශ්‍ය බවයි. අපගේ දෙමාපියෝ ද,
ගුරුවරු ආදීහුද පැවිදි උතුමෝ ද සත් පුරුෂ යන්නට ඇතුළත් වෙති. සත් පුරුෂ ඇසුර
ඇත්තෙකුට දියුණුව ම මිස පිරිහීමක් නොවන බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක.
තමා වෙත කළ සුළු උපකාරය පවා මතක තබාගෙන, පෙරළා උපකාර කිරීම සත්පුරුෂයන් තුළ දක්නට
ලැබෙන උතුම් ලක්ෂණයකි. සුභාෂිතයේ එන සුදන ගුණවලදී ඒ බව මෙසේ කියා තිබේ.
“නැණැති දනන් හට මද ගුණයක් කළ ද
පවතී ගලකෙටු අකුරක් මෙන් නිබ ද”
සුදන අය තමන්ට කළ මද උපකාරය පවා ගලෙහි කෙටූ අකුරක් මෙන් මතක තබාගෙන සිටිති. එහෙත්
අනික් පුරුෂයකුට කළ ලොකු උපකාරය ද දියෙහි ඇඳි ඉරක් සේ වහා අමතක කර දමති. තමා වෙත
නපුරක් කළ කෙනෙකුට පවා, අනුකම්පා කිරීම, මිතුරු බවම දැක්වීම, උතුම් සත්පුරුෂ
ගුණයකි. අසිරිමත් බුදු සිරිත එයට නිදසුනකි.
මිත්‍රත්වය පිළිබඳ බෞද්ධ විග්‍රහයේ දී කල්‍යාණ මිත්‍රයන් හතර දෙනෙකු දක්වා ඇත. එනම්
උපකාරක, සමාන සුඛ දුක්ඛ, අන්තක්ඛායි, අනුකම්පක යනු ඒ සතර දෙනායි.
එබැවින් හැම විටම සත්පුරුෂයන් ඇසුරු කරමු. පාප මිත්‍ර සේවනය දෙලොවම පරිහානියට පත්
කරන්නක් හෙයින් ඉන් වැළකෙමු. සත් පුරුෂ ඇසුරෙන් ඔබ ලැබූ දුලභ මිනිස් දිවියේ උසස්ම
ඵල ලබා දෙලොවම අර්ථවත්කර ගනිමු. |