Print this Article


බුදු කරුණාව සියලු සතුන්ටයි

බුදු කරුණාව සියලු සතුන්ටයි

බුදු දහමෙහි සුවිශේෂත්වය , අනන්‍යභාවය ප්‍රකට වන එක් ප්‍රමුඛතම කරුණක් වන්නේ එහි ශාස්තෘවරයා මනුෂ්‍යයෙකු වීම ය. දෙවියෙකු, බ්‍රහ්මයෙකු, ගැලවුම්කරුවෙකු හෝ නියෝජිතයෙකු නොවීම ය. මිනිස් දෙමාපියන් නිසා මෙලොව උපත ලද බුදුරජාණන් වහන්සේ මිනිසුන් අතර ජීවත්වෙමින් ඔවුන්ගේ ජීවිතය ද ඔවුන් වසන ලෝකය ද ගැඹුරින් දැන දැක ගත්හ. මානව ගැටලු විනිවිද දකිමින් අතිශයින් ම ප්‍රායෝගික වූ ද , ඵලදායක වූ ද සර්වකාලීන විසඳුම් පෙන්වා දුන්හ.

මිනිසා ශ්‍රේෂ්ඨ ය, බුදුවීමට, රහත්වීමට, හැකිවන්නේ ද, දේවත්වයට පත් වන්නේ ද මිනිසෙකැ’යි එහි ඉගැන්වෙයි. ඒ උපරිමයට වඩා වවාගත් සිය දැක්ම ද චර්යාව ද ඔස්සේ ය. මිනිසත් බව දුර්ලභ ය. උතුම් ය. මෙසේ නොයෙක් නයින් පින්කොට ලද හැකියැයි ඉගැන්වෙන මිනිසත් බව අගය කරමින් එයට කේන්ද්‍ර කොටගෙන දහම් දෙසූ නමුදු බුදුරජාණන් වහන්සේ විසින් මානව පැවැත්ම හා බැඳුණු තිරිසන් සතුන් සේම සප්‍රාණී තුරු ලතාවන් ද අමතක කොට නැත. උන්වහන්සේගේ අවධානය කරුණා, මෛත්‍රිය සියලු සත්ව ප්‍රජාවට යි.

සියලු සත්වයෝ යන්න සඳහන් කර ඇති බොහෝ තන්හි මිනිසුන්, දෙවියන්, තුරුලතා මෙන් ම තිරිසන් ගත සතුන් ද එමගින් අදහස් කර ඇති බව දේශනා තුළින් ඉතා පැහැදිලිව පෙනේ. “සබ්බේ සත්තා” යන්නට සියල්ලන් ඇතුළත්වන නමුදු එයින් ඇතැමුන් මග නොහැරෙනු පිණිස ‘සබ්බේ පාණා” සියලු ප්‍රාණීහු ‘සබ්බෙ භූතා” උපන් පැවැත්මක් ඇති සියල්ලෝ යන වදන් ද එක්කොට ඇත්තේ ය. ඒ සියල්ලෝ ම එනම් තිරිසන් සතුන් හා මිනිසුන් ද තුරු ලතාවෝ ද යහපත දකිත්වා, ඒ සියල්ලන්ට ම යහපතක් ම වේවා. කිසිවෙක් පවට නො යෙදේවා. නොපැමිණේවා යි. සිතමින් පතමින් සකල ජීව හිතවාදී වීමට මිතුරු සිත මෙත්තාව අපරිමාණව එනම් සීමා මායිම් ඉක්මවාමැ විශේෂිත වෙනස්කම් නොසලකොට පැතිරවීමට බුදුසමය මගපෙන්ව යි. පාද නැති ( උරගාදී, බඩගාන ගමන් ඇති) සතුනට මෛත්‍රිය, මිතුරු සිත වේවා.

දෙපයක් ඇති ( දෙපයින් ඇවිදයන මානවයන් ඇතුළු) සතුන්ටද මාගේ මෛත්‍රිය වේවා. සිව් පා ඇති (පා සතරකින් යන) සුනඛ වෘෂභාදී සතුන්ටද, බහුපා (බොහෝ පා ඇති), පත්තෑ ආදී සතුන්ට ද මාගේ මෛත්‍රිය වේවා යි” කරන බෞද්ධ ප්‍රාර්ථනාවෙහි අපූර්වත්වය නම් වඩාත් අසරණ වූ තිරිසන් සතුන් පිළිබඳ වැඩි අවධානයක් ඇති බව ය. අපාදක, චතුෂ්පාද හා බහුපාද යන ගණ තුනම තිරිසන් සතුන් ය. මානව සත්වයෝ ද්විපාදිකයෝ ය. අප විසින් එකි සිව් ගණයටම අයත් සතුනට හිංසා නොකළ යුතු ය. ඔවුන් සැමගේම ජීවිතවලට ගරු කළ යුතුය. එම ජීවිත සුරැකිය යුතු ය. එබැවින් මගෙන් ඒ කිසිවෙකුට හිංසාවක් නොවේවා.

මට ද ඒ කිසිවෙකුගෙන් හිංසාවක් නොවේවා’ යි බෞද්ධයෝ ප්‍රාර්ථනා කරති. සුප්‍රකට මෙත්ත සූත්‍රයෙහිදී ද මෙත් වැඩිය යුතු සුහද විය යුතු, මිත්‍රත්වය පැතිරවිය යුතු සියලු සත්වයෝ යන්න තවදුරටත් විග්‍රහ කොට ඇත්තේ ය. එහි දී මෙත් වඩන්නේ ද හුදෙක් මිනිසුන්ට පමණක් නොවේ.

මානසික තත්ත්වය අනුව

තසා – (තැනිගන්නා, සැලෙන සිත් ඇති, කෙලෙස් සහිත වන්නෝ)

වාමතාවරා – තැති නො ගන්නා , නො සැලෙන සිත් ඇති කෙලෙස් රහිත වුවෝ)

ශාරිරික හැඩය හා ප්‍රමාණය අනුව

දිසා - දිග් ශරීර ඇති (උරගාදිහු)

මහන්තා – විශාල ශරීර ඇති (අලි ඇත් ආදීහු)

මජ්ක්‍ධිමා – මධ්‍යම ශරීර ඇති (මිනිසුන් ආදිහු)

රස්සා – කෙටි ශරීර ඇති ( කුරුමිණි ආදීහු)

අන – සියුම්, කුඩා සිරුරු ඇති ( කුහුඹු ආදිහු)

ථූලා – ස්ථූල ශරීර ඇති ( ගව මහිෂාදීහු)

දෘෂ්ටිය (පෙනුම) අනුව

දිට්ඨා – ඇසට පෙනෙන

අද්දිට්ඨා – ඇසට නොපෙනෙන

වසන තැන් අනුව

දූරෙ – දුර බැහැර ඈත වසන

අවිදූරෙ – ළඟ, සමීපයේ වසන

උපන් – නූපන් බව අනුව

භූතා (උපන් , ඉපිද සිටින) සම්භවේසී (නූපන්, උපතක් සොයන)

මෙහිදී සිවු දස (14) ආකාරයකින් සියලු සත්වයෝ යන්න සිරස්තල පහකට ගත හැකි සේ විග්‍රහ කොට ඇතත් දෙවැනිව ථාවරායන්ට දි හැර සෙසු වර්ගී කරදී තුදුසින් ( 13) මම අයත්වන තිරිසන් සතුන් ඇති බව පෙනේ. ඔවුන් පිළිබඳ පුළුල් අවධානයක් ඇතිව මෙත් වැඩීමට මෙහිලා ඉගැන්වෙ යි.

බෞද්ධ ඉගැන්වීමෙහි අකුසල් හා පව් අතර විශාල වෙනසක් නො පෙනේ. හිතා මතා, සචේතනිකව කරනු ලබන ක්‍රියාවෝ නරක, සාවද්‍ය, වන්නෝ ය. එසේ සාවද්‍ය ක්‍රියා දක්වන බුදුරජාණන් වහන්සේ විසින් පළමුකොට දක්වන්නේ ප්‍රාණඝාතය යි. පර පණ නැසීම යි. ඒ අනුව නො මරා සිටිය යුත්තේ, අභය දානය දිය යුත්තේ මිනිසුන්ට පමණක් නොවේ. තිරිසන් සතකු වුව ද මරා දැමීමෙන් වැළකිය යුතු ය. එබඳු සතෙකු වුව ද ඝාතනය කිරීමෙන් වැළකීම, ඒ සඳහා දඬු මුගුරු දැරීම,අවි ආයුධ භාවිතය, හිංසාව පාපයෙකි. අකුසලයෙකි. මිනිසෙකු ඝාතනය කිරීම මෙන් ම, මිනිසෙකුට හිංසා පීඩාවන් කිරීම මෙන් ම, තිරිසන් ගත සත්වයෙකුට එසේ කිරීමද වරදකි. පවකි. අකුසලයෙකි. නො කළ යුක්තකි. එසේ කිරීම අපාය යැයි කියන පිරිහී මට පත්වීමට ද දෙලොව බොහෝ දුක් ගැහැටට ලක්වීමට ද හේතුවන්නේ යැයි බුදුදහම අවධාරණය කරයි. බෞද්ධ ඉගැන්වීමෙහි කුසල් ලෙස දක්වා ඇත්තේ හිතාමතා සචේතනිකව කරනු ලබන අකුසල නො වන ක්‍රියාවන් ය. දස කුසල් මීට නිදසුන් වන අතර එහි දී ද පළමුව දක්වා ඇත්තේ පර පණ නොනැසීම යි.

අද්විතීය ශ්‍රේෂ්ඨ ආචාර්යවරයෙකු වූ බුදුරජාණන් වහන්සේ අප නො දන්නා, නුදුටු තැනට ගෙන යන්නේ දන්නා, දුටු, ව්‍යවහාරික, කරුණු ඇසුරෙනි.

තුරුලතාවන් වර්ග කළ හැකි ය. තිරිසන් සතුන් ද වර්ගීකරණය කළ හැකි ය. ඒ බාහිර ලකුණු අනුව යි. තුරුලතාවල මෙන් ම සතුන්ගේ ද විවිධත්වයක් බැහැරින් ම පෙනේ. ඔවුහු විවිධ ජාති( කුල) වලට අයත් වෙති. එහෙත් මිනිසුන් එසේ බාහිර ලෙස ජාති කුල වශයෙන් වර්ග කළ නො හැකි ය. බුද්ධ දේශනයෙහි තිරිසන් සතුන් පිළිබඳව මෙසේ සඳහන් වෙයි.

“වාසෙට්ඨයෙනි, මම ජාති විභාගය ඇති සැටියෙන් දේශනා කරන්නෙමි. ඒ ඒ ප්‍රාණීහු නානා ප්‍රකාර වෙත්”

“තෘණ හා වෘක්ෂයන් අනුව, ඔවුන් ලකුණු අනුව දත හැකි ය. තම ජාතිය නො පවසන ඔවුහු නානා ප්‍රකාරවෙත්.”

“කුහුඹුවන් අවසන් කොට ඇති කෘමි පළගැටියන් ද අනුව ලොකු කුඩා සිවුපා සතුන් ද අනුව, දික් පිට ඇති උදරය පාද කොට ඇති උරගයන්ද අනුව, දියෙහි ම වසන මත්සළු ආදීන් ද අනුව පියාපතින් කරන ගමන් ඇති පක්ෂින් ද අනුව, ඔවුන්ගේ බාහිර ලක්ෂණ අනුව ජාතිය දත හැකි ය. “එහෙත් මිනිසුන් පිළිබඳ එබන්දක් පැනවිය නො හැකි ය.”

ඇතැම් මිනිසුන්ට වඩා අව්‍යාජ වූ අවංක වු ගතිගුණ ද, යහපත් පැවතුම් ද, ඇතැම් තිරිසන් සතුන් වෙතින් දක්නා ලැබෙන බව, කියැවෙන තැන් පාලි සූත්‍ර දේශනාවල හමුවෙයි.

තිරිසන් ගත සතුන්ගේ චරිත ඇතුළත් ජාතක කථා රාශියෙකි. ඉන් සමහරක් ඔවුන් තුළ පැවැති මිනිසුන් ඉක්මවාගිය යහපත් ගති පැවතුම් හෙළිදරව් කරයි. ‘වට්ටක ජාතකය” එබන්දෙකි. එහි ගොස් වටු කුරුල්ලෙකු ද, හමුවෙයි. ඔහුගේ උපදෙස් ඇතිව සාමූහිකව, සමගි සම්පන්නව ක්‍රියා කිරීමෙන් වටුකුරුලු රැළ මුලදි වටු වැද්දාගෙන් බේරී වැද්දා දැමූ දළ ඔසවාගෙන ගිය හැටි ද, පසුව ඒ සමගිය බිඳ වැටී සාමූහික බලය නැතිව වටු වැද්දාගේ ග්‍රහණයට හසුවූ සැටිද එහි දක්වා තිබේ. මේ මිනිසුන් වෙනුවට තිරිසන් සතුන් ලවා අගනා ආදර්ශ සමාජයට ලබාදෙන එක් ජාතික කථාවක් පමණි. ජාතකට්ඨ කථාවෙහි මිග ජාතක රාශියකි. කුරුංග මිග, ලක්ඛණ, මිග, කණ්ඩිත ආදිය නිදසුන් ය. ඒ හැමකෙක ම බෝසත් මුවෝ හමු වෙති. මුව කණ්ඩායම් වල ක්‍රියාකාරකම් ද දක්වා තිබේ. කච්ඡය, මකස, තින්නිර , බක,කාක, මහාකසි, ස්වර්ණ, හංසා දී ජාතක කථා රැසකම තිරිසන් සතුන්ගේ චර්යාවන්ද ඔවුන් විවිධ ගැටලුවලට මුහුණ දුන් හා ඒවා විසඳාගත් අයුරු ද දක්වා තිබේ.

බුද්ධ දේශනා තුළ මිනිසුන්ට සාරධර්ම ඉගැන්වීම පිණිස තිරිසන් සතුන්ගේ චර්යාවන් උපමා කොට දැක්වූ තැන් බොහෝ ය. සිංහයා, මොණරා, ඇතා, අශ්වයා, ගවයා, සුනඛයා, බළලා, නයා, මීයා, කපුටා ආදී විවිධ සතුන්ගේ චර්යාවන් ඇතැම් විට සාරධර්ම ද ඇතැම් විට අසාර ධර්ම ද පැහැදිලි කිරීමට දක්වනු ලැබ ඇත. අසවල් සතා බුදුදහමෙහි අවධානයට ලක්ව නැතැ’යි කිව නො හැකි තරම් ය. ගිහියාගේ පැවැත්ම මොණරාගේ පැවැත්මට ද, පැවිද්දාගේ පිළිවෙත හංසයාගේ පිළිවෙතට ද, මෝඩ අලසයාගේ පැවැත්ම මස් වැඩුණු නුවණ නො වැඩුණු ගවයෙකුට ද, මෙලොව සුව පහසුව සොයන්නාගේ පැවැත්ම කවුඩෙකුට ද, අභියෝගවලට නො බියව මුහුණ දෙන්නාගේ පැවැත්ම ඇතෙකුට ද ආදී වශයෙන් උපමාකොට දක්වා තිබේ. කිකිළිය බිජු රකින්නා සේ, සෙබඩ වල්ගය රකින්නාගේ සිල් රැකීමට ද උගන්වා ඇත. මේ නිදසුන් කිහිපයක් පමණි.

කෙසේ වුවද තිරිසන් ගතියෙහි උපදිනුයේ පව්කම් කිරීමෙනි. එය ද එක්තරා අපායෙකි. එහි ඇති දුක අපමණ ය. මනුෂ්‍යත්වයම උත්තරීතරයැ’යි බුදුදහම උගන්ව යි. ඒ සමඟම මිනිසුන් විසින් තිරිසන් සතුන් අරබයා මෛත්‍රිය සහගත කාරුණික සානුකම්පිත ආකාරයෙකින් ක්‍රියා කළ යුතු බව ද අවධාරණය කෙරේ.