තමන්ගේ සැපතට අනුන් විපතට හෙළන්නෝ
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ
සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
අත්තනායක එම්. හේරත්
ජාතක කතා පොත් වහන්සේ තුළ එන නවසාර ජාතක කතාවත්, සාලිය ජාතක කතාවත් එක ළඟ හමුවන
සමාන කතා දෙකකි. ඇත්තේ සුළු අසමානකමකි. එක් වෙද මහතෙක් වෙදකම් කරන්නට රෝගීන් සොයා
යයි. බොහෝ දුර ඇවිදගෙන ගිය ද එකම රෝගියකු හෝ හමු නොවෙයි. අතරමඟ තැනෙක ළමයින්
පිරිසක් සෙල්ලම් කරමින් සිටින සැටි වෙද මහතා දකියි. ඒ අසළ නුග ගසකි. එහි බෙනයක
සර්පයෙකි. වෙද මහතා ඒ දකියි. උපායක් සිහිවෙය “දරුවනේ..... අර බලන්න. අර ගස් බෙනයේ
සැළලිහිණියෙක් ඉන්නවා. ගිහින් අල්ලා ගන්න.”
වෙද මහතා සිතුවේ සැළලිහිණියා ගන්නට ගස් බෙනයට අත දමනවිට නිසැකව ම සර්පයා දෂ්ට කරන
බව ය. එවිට රෝගියාට ප්‍රතිකාර කොට මුදලක් සොයා ගත හැකි වන බව ය. සිදුවූයේ නො
සිතූවකි. ගස් බෙනයට අත දැමූ ළමයාට ඒ සැළලිහිණියෙක් නොව සර්පයෙක් බව දැනුණි.
බෙල්ලෙන් අල්ලා සැණින් සර්පයා එළියට වීසි කළේ ය. අවාසනාවට සර්පයා වැටුණේ වෙද මහතාගේ
සිරුර මතට ය. කෝප වූ සර්පයා ඔහුට දෂ්ට කළේ ය. වෙද මහතා විෂ නැගී මරණයට පත් විය. මේ
සාලිය ජාතකයේ එන කතා පුවතේ සාරාංශය යි.
නවසාර ජාතකයේ එන කතා පුවත ද ඊට සමානය. එහෙත් සර්පයා ඇඟට වීසි කොට වෙද මහතා මරා
දැමුවේයැයි ඒ ළමයින්ට චෝදනා නැගුණි. වරදකරුවන් ලෙස රජු වෙත ගෙන යන්නට සැරසුණි. ළමයි
බිය වූහ. තැති ගත්හ. එහෙත් එක් තරුණයෙන් ඔවුන්ට මෙසේ කීවේ ය.
“බය වෙන්න එපා. කලබල වෙන්න එපා. අපි සිනහවෙමින් සතුටින් රජු වෙත යමු.”
“මෙ තරම් දෙයක් සිදුවීත් සිනහසෙන්නේ කෙසේ ද? ළමයි ඇසූහ. එවිට තරුණයා මෙසේ කීවේ ය.
“අපි බියේ සිටියේ නම් අපි තමයි වෙද මහතා මරා දැමුවේ යැයි ඒ අය සැක කරනවා. අපි හිතා
මතා ඔහුගේ ඇඟට සර්පයා විසි කරන්නට සැලැස්මක් තිබුණේ නෑ. බෙනයට අත දාන්නට කීවේද ඔහුම
යි. සර්පයා දෂ්ට කරනවාට බියේ ඌ එළියට ඇද වීසි කළා පමණයි. අත් වැරැද්දක් වුණා. වෙද
මහතා අප ළඟට ආවා මිස අපි ගියේ නෑ.” ඒ අසා ළමයින් ධෛර්යවත් විය.
රජු නඩුව විසඳන්නට සූදානම් විය. මරණ බියෙන් වෙව්ලන වරදකරුවන් දකින්නට අපේක්ෂා කළත්,
සිනහවෙමින් සිටින ළමයින් දැක රජු පුදුම විය. මේසා වරදක් කර තිබියදීත්, ඔබ
සිනහසෙමින් සිටින්නේ කෙසේද?”
රජු ඇසුවේ ය.
“රජතුමනි, අප වරදක් නො කළ නිසා සිනහසෙමින් සිටිමු.”
ඔවුහු සිදු වූ දෙය විස්තර කළහ. රජු ළමයින් ගැන සහ ඔවුන් ප්‍රශ්නයට මුහුණ දුන් ආකාරය
ගැන පැහැදුණි. ඔවුන් අගය කෙරුණි.
නවසාර ජාතකයත්, සාලිය ජාතකයත් මේ කියන්නේ අපගේ ජීවිතය පිළිබඳ කතාව ය. ජීවත්වීමේ දී
මුහුණ දෙන්නට සිදුවන අභියෝග පිළිබඳ කතාව ය. එක් එක් මිනිස් චර්යාවන්ගේ ස්වභාවය.
වෙසෙසින් මවුපියන්ට, තරුණ දූ පුතුන්ට ඉන් දෙන ආදර්ශය ඉමහත් ය.
ජීවිතය ගෙන යන්නට ජීවිකාව සරු නොවූ කල උපායෙන් මුදල් උපයන්නට සිතූ වෙද මහතා උගසට
තැබුවේ සෙල්ලම් කරන දරුවෙකුගේ ජීවිතයකි. කුරුලු පැටවුන්ට ළමයින් බොහෝ කැමැති ය. ඒ
අවස්ථාවෙන් ප්‍රයෝජනගත් වෙද මහතා මුසා පවසමින් පොළඹවන්නේ. ඔවුන් අනතුරේ හෙළන්නට ය.
එමගින් මුදල් උපයා ගන්නට ය.
ස්වරූපය වෙනස් වුවද අද ද මෙ වැන්නෝ වෙති. තමන්ගේ ඕනෑකම් වෙනුවෙන් අනෙකාට, අනුන්ගේ
දරුවන්ට කුමක් වුවද ආත්මාර්ථකාමී පුද්ගලයින්ට කම් නැත.
මිතුරු වෙසින්, මහත්වරුන්ගේ වෙසින්, කරුණාබර පුද්ගලයින්ගේ වෙසින් දරුවන්. රවටා
ගන්නෝ බොහෝ වෙති. පිරිමි මෙන්ම ගැහැනු ද වෙති. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඒ අතර එක්
උදාහරණයක් පමණි. දරුවන් මත් රකුසාට පොළඹවන්නට මේ අය ඕනෑම වංචාවක්, රැවටීමක් කරති.
මවුපියන් දරුවන් ගැන නිරන්තර විමසිලිමත් විය යුතු වන්නේ එහෙයිනි.
දරුවන්ට ද වගකීමක් වේ. රැවටිලිකරුවන්ට හසු වෙන්නට තරම් ඔබ අඥාන විය යුතු නොවේ. ළමා
කාලය නැවත නො පැමිණේ. නිසි කල අධ්‍යාපනයේ මහඟු ඵල නෙළා නො ගත්තේ නම් අනාගතය සුබදායී
නොවේ. අනවශ්‍ය දේට පෙළඹුණේ නම් අධ්‍යාපනයට ඇති ඉඩකඩ ඇහිරේ.
නවසාර ජාතකයේ තරුණයා අපේ ළමයින්ට උපදෙස් දුන්නේ වරදක් නො කළ නිසා රජු ඉදිරියේ වුව
බිය නොවන ලෙසයි. ඔහුගේ යහපත් මග පෙන්වීම මිතුරන්ට රාජානුග්‍රහය ලැබීමට පවා හේතු
විය. යහපත් මිතුරු ඇසුර යහපතම සැලසුවේ එලෙස ය. ජීවිතයට ශක්තියක් වන යහපත් මිතුරු
මිතුරියන් පමණක් ඇසුරට යොමු වීමේ වැදගත්කමද ඉන් පැහැදිලි කරයි. |